භාෂා සාහිත්‍ය සම්ප්‍රදායේ යතිවර වත

සාහිත්‍ය අටුවාව

 ගෝණදෙණියේ හිමියන් අතින් මේ වන විට දහම් පොත් අටක් ද, සාහිත්‍ය කෘති අටක් ද සංයුක්ත තැටි හයක් ද නිර්මාණය වී තිබේ. යතිවර වත යනු අභිනව කාව්‍යයයි. එම කාව්‍යය රස විඳින විට හැඟී යනුයේ සිංහල භාෂාව සාහිත්‍යයේ යතිවර සම්ප්‍රදාය හමු වන බව ය. මේ කාව්‍යයෙහි එක් විශේෂත්වයක් වනුයේ සම්භාව්‍ය සාහිත්‍ය සහ නූතන සාහිත්‍ය මනා ශික්ෂණයකින් යුතු ව හැදෑරීම ඔස්සේ ලබාගත් හික්මීම ය.

“සිංහල භාෂා සාහිත්‍යයේ යතිවර සම්ප්‍රදාය” පාඨය ඇතුළත් දැන්වීමක් තාප්පයක අලවා තිබෙනු දැක එය නිරීක්ෂණය සඳහා මගේ ඇස් යොමු විය. බස් රථයේ යනෙනතර මඟ දෙපස දැන්වීම්වල ඇතුළත් දේවල් කියවීමට මාගේ සිරිත ය. මා සිතුවේ භික්ෂුන්ගේ මැදිහත් වීමෙන් භාෂා සාහිත්‍ය සංගායනාවක් පවත්වන්නට යන බවකි. එහෙත් මගේ අදහස වැරදි ය. එය උපකාරක පන්ති පවත්වන භික්ෂුවකගේ වෙළෙඳ දැන්වීමකි. ඒ භික්ෂුව කොට්ටාව නගරාසන්නයේ විදුහලක සේවය කරන බව පසු ව දැනගන්නට ලැබිණ.

පාසල් ගුරුවරුන් උපකාරක පන්ති පවත්වන්නන් බවට පත් ව ඇති යුගයක භික්ෂුන් ද එම කුලකයට ම ඇතුළත් වීම අරුමයක් නොවේ. එසේ වුව ද භාෂා සාහිත්‍යය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීම යතිවර සම්ප්‍රදාය ලෙස හැඳින්වීම මසිත කනගාටුවක් ඇති කළේ ය. මගේ අදහස් අතීතකාමී හෝ පසුගාමී යැයි ටියුෂන් සංස්කෘතිය නඩත්තු කරන මතවාදීන් කියන්නට ඉඩ තිබේ. දැන්වීම දැකීමෙන් සති කිහිපයකට පසු ව තැපෑලෙන් පොත් දෙකක් ලැබිණ. රචකයා යතිවරයෙකි. “දිවි තරණය” කාව්‍යයෙහි දෙවෙනි මුද්‍රණයෙහි පිටපතක් සහ “යතිවර වත” කාව්‍යයෙහි පිටපතක් එසේ එවා තිබිණ. රචකයාෙණා් ගෝණදෙණියේ විමලජෝති හිමියෝ ය. එක් භික්ෂුවක් රජයේ ගුරු වෘත්තියට නිගා දෙවමින් ටියුෂන් සඳහා යතිවර සම්ප්‍රදාය මස්තබාල්දු කරන අතරතුර තවත් භික්ෂුවක් භාෂා සාහිත්‍යයේ යතිවර සම්ප්‍රදාය ආරක්ෂා කිරීම හා දියුණු කිරීම වෙනුවෙන් ඉමහත් කැපවීමෙන් යුක්ත ව කටයුතු කරති.

මීට වසර හත අටකට පෙර විශ්ව ජයම්පති බණ්ඩාර තරුණ කවියාගේ ඉල්ලීමකට අනුව ඌව පැලවත්ත ප්‍රදේශයේ පාසල් දෙකක සාහිත්‍ය රස වින්දන වැඩ සටහන් සඳහා සහභාගි වීමේ අවස්ථාව අප හට ලැබිණ.

කුකුරම්පොළ කකුළුවා විහාරයෙහි වැඩ වසන ගෝණදෙණියේ විමලජෝති හිමියන් හමු වූයේ ඒ ගමනේදී ය. විහාරයට යාබද පාසලේ ගුරුවරයකු හා සාහිත්‍ය නිර්මාණකරුවකු හැටියට රස වින්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා උන්වහන්සේ වෙහෙස ගත්හ.

දුෂ්කර පෙදෙසක ජීවත් වෙමින් දරුවන්ගේ හද මනස විකසිත කිරීමට වෙහෙස වන අතරතුර සාහිත්‍යකරණයෙහි යෙදීම උන්වහන්සේගේ සිරිත බව පෙනිණ. ගෝනදෙණියේ හිමියන් අතින් මේ වන විට දහම් පොත් අටක් ද, සාහිත්‍ය කෘති අටක් ද සංයුක්ත තැටි හයක් ද නිර්මාණය වී තිබේ. යතිවර වත යනු අභිනව කාව්‍යයයි. එම කාව්‍යය රස විඳින විට හැඟී යනුයේ සිංහල භාෂාව සාහිත්‍යයේ යතිවර සම්ප්‍රදාය හමු වන බව ය. මේ කාව්‍යයෙහි එක් විශේෂත්වයක් වනුයේ සම්භාව්‍ය සාහිත්‍ය සහ නූතන සාහිත්‍ය මනා ශික්ෂණයකින් යුතු ව හැදෑරීම ඔස්සේ ලබාගත් හික්මීම ය. දෙවැන්න ලෞකිකත්වය සහ ආධ්‍යාත්මික ජීවිතය අතර ඇතිවන ගැටුම ය. තෙවැන්න සමකාලීන අත්දැකීමක් කලාත්මක බස් වහරක් ඔස්සේ කාව්‍යමය අත්දැකීමක් බවට පත් කිරීමේ සමත්කම ය.

උන්වහන්සේ කාව්‍යය සඳහා ප්‍රස්තුත වූ අත්දැකීම මෙසේ විස්තර කරති.

“බොහෝ දෙනකු බුදු සසුනෙහි පැවිදි වන්නේ කුඩා කාලයේ දී ය. අවබෝධයකින් නොව ආශාවට ය. එහෙයින් ඔවුහු ගිහි ජීවිතය ගැන හෝ පැවිදි ජීවිතය ගැන හෝ කිසිවක් නොදනිති. වයසින් වැඩෙත් ම තමන් ගත කරන ජීවිතය සිරගත වූවක් සේ සලකන ඔවුන් බොහෝ දෙනෙක් සසුනෙහි උකටලී ව සිවුරු හැර යති. තව කෙනෙක් බුදු දහම පිළිබඳ ව හෝ ජීවිතය පිළිබඳ ව ගැඹුරු අවබෝධයක් නොලබා යෞවන මදයෙන් හා උගත්කමෙන් මත් ව බුදු දහමත් සඟ සසුනත් නිර්දය ලෙස විවේචනය කරති.

ඔවුන්ගෙන් ඇතැමෙක් පසුව දුක් කරදර ගැහැට පිරි ජීවන ගැල කරින් ඇද හෙම්බත් ව ආපසු හැරී බලා ජීවිතය නමැති තක්සලාවෙන් ම ලෝකයෙහි සැබෑ තතු අවබෝධ කොටගෙන තමා විසින් අවඥාවෙන් බැහැර කරන ලද ධර්මයෙන් ම ජීවිතයට සුවය සොයති. යතිවර වත කාව්‍ය ආඛ්‍යානයෙන් උත්සාහ කරන්නේ මෙකී සත්‍යයෙන් බිඳුවක් කියනු පිණිස ය.”

කතුවරයාගේ අරමුණ පැහැදිලි ය. “හරකෙකුගේ මවිල් තරමට දරුවන් මහණ කළ විට අඟක් පමණක් අවසන ඉතිරි වේ” යැයි යක්කඩුවේ ප්‍රඥාරම හිමියෝ වරක් පැවසූ හ. මේ අනුව දරුවන් මහණ කිරීම සහ ඉන් වැඩි හරියක් සිවුරු හැර යෑම එදත් සිදු විය. අදත් සිදු වේ. විමලජෝති හිමියන් පුද්ගලානුභූතියක් හැටියට ඉදිරිපත් කරනුයේ පොදු සත්තාවකි.

පුදබිමෙහි සොබාදම් මිහිරියාව යතිවර මනස ප්‍රබෝධයට පත් කරයි.

ආරාම රෝපා
යන බුදු වදන ගෙන පා
තුරුලියට මෙත පා
පැන් වඩයි නිති මද සිනා පා

නිල් නදී ඉවුරේ
මහ නෙල් පොකුණු තීරේ
පිපි තුරුලිය කෙරේ
පෙනෙත කහවත බැතිය ඉතිරේ

විමලජෝති හිමියන් මෙහිදී ගී ආකෘතිය යොදාගෙන ඇත. වනරෝප සූත්‍රය ඇතුළු ව පිටක සාහිත්‍යයෙන් උන්වහන්සේ ආලෝකයක් ලබා තිබේ. කාව්‍යය පුරා ගී සිලෝ ආකෘති රිසි සේ භාවිතයට ගැනීම මෙහි වෙසෙස් ලකුණකි.

කටු මැටි බිත්තිය පොල් අතු ගෙපැලෙහි
පොල් තෙල් පහන ය පොඩි බුදු කුටියෙහි
ඉන් එන සහනය සෙනෙහස මනසෙහි
කිසි විට නොමැති ය මෙ සොඳුරු අරණෙහි

සාමණේර හිමියන්ගේ මානසික ගැටුම ඇතිවන අයුරු මෙහි පෙනේ. කතුවරයා මෙහි දී ව්‍යවහාරික භාෂාවට නැඹුරු වෙයි.

මෙය ආඛ්‍යාන කාව්‍යයකි. එහි අවසන් පරිච්ඡේදයෙහි දී දෙපද ආකෘතිය භාවිතයට ගෙන ඇත.

භවේ දුක් රැස ලෙසින් දිස් වන සුව දසුන් සැදු කඳු වැටී
ලොවේ දුක දැක එයින් මිදෙනුව සිත දැහැන් වඩමින් සිටී

ගෝණදෙණියේ විමලජෝති හිමියන්ගේ “යතිවර වත” කාව්‍ය විද්වත් පර්ෂදවල අවධානයට ‍ලක් විය යුතු කෘතියක් බවට හඳුන්වා දෙනු කැමැත්තෙමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.