මුල් පත්වීම | සිළුමිණ

මුල් පත්වීම

කෙටිකතාව

“අද බස් එක නැහැනේ මහත්තයා. රෑ කෝච්චිය අල්ලන්නද?”

“ඔව්.”

“දැන් ඉතින් ආපහු යන්නයි තියෙන්නේ.”

සිරුර සෝදා පාළු වී ගියා සේ ය. අමිහිරි පුවතින් ඔහුගේ හිතට දැනුණේ අවිනිශ්චිත සන්තාපයකි.

“පයින් යන්නයි හිතුවේ.”

“පිස්සුද මහ කැලේ මේ වෙලාවට සත්තුත් ඉන්නවා.”

උභතෝකෝටිකයට මැදි වූ ඔහු හනික තීරණයක් ගත යුතු විය. රාත්‍රී තැපැල් දුම්රියෙන් නි‍ෙවසට යෑමට සිතා පැමිණි ඔහු කුමක් කළ යුතු දැයි කල්පනා කරන්නට විය. සෙට්ටිකුලම සිට උළුක්කුලම හරහා වවුනියාවට යෑමට ඇති මේ මාර්ගය අතිශයින් රෞද්‍ර සතුන්ගෙන් ගහන ඝන වනාන්තර විසල් වෙල් යායවල් මැදින් යා යුතු ගමනක් විය. සැතපුම් 13ක පමණ දුරකි. අතරමග ඇත්තේ එක් මුස්ලිම් ගම්මානයක් පමණි. රෙදි බෑගය කරේ එල්ලා ගත් ඔහු උට්ඨාන වීර්යයෙන් ගමන ආරම්භ කෙරෙණි.

“මහත්තයා බලාගෙන යන්නේ අලි කොටි වලස්සු එළි බහින වෙලාව.”

රූක්ෂ වනය මැදින් ඔහු දිව ගියේ ය. ගෙයක් දොරක් පේන තෙක් මානයක නැති අතර සවනට මුසු වන්නේ රැහැයියන්ගේ හඬ හා නොහඳුනන විවිධ සතුන්ගේ හඬ ය. අඳුර වැටී මුළු පරිසරයම ඝන අන්ධකාරයෙන් වෙලා ගනු ලැබී ය. ගල් පතුරු ගැලවී වල ගොඩැලි සහිත ගොරහැඩි පාර ය. දූවිලි තැවරුණු එක් ලංගම බස් රථයක් පමණක් උදෑසන හා සවස ධාවනය වේ. බංකු මත එකිනෙකා හිරවී ගමේ සිට නගරයට ගමන් ගන්නා වදනාගේ කබල් වෑන් රථය දහවලට පමණක් එක් වරක් ගමන් කරයි. අතරමගදී හති වැටී මග නතර වූ ඔහු රුදුරු වනය මැදින් සතුන් ගෙන් ඇති වන අන්තරාවන් හොල්මන් භූතයින් පිළිබඳ විකාර සිතුවිලි සමඟින් හනික ගමනේ යෙදේ. සිහින් ශබ්දයකින් හෝ ඇතිවන්නේ තිගැස්මකි. දෙපා නැමී වැටෙන විට කෙළින් වන්නේ මහත් ආයාසයකිනි. අඳුර මැදින් සිහින් පහන් එළියක් දර්ශනය වූ විට ඇතිවන්නේ සැනසීමකි. ඒ සුළු වේලාවකට පමණි.

“හොල්මන් ති‍යෙනව, යක්කු පෙරේතයො ඉන්නවා, අලි, කොටි, වලස්සු ඉන්නවා.”

පැමිණ මෝඩකම නිරතුරුවම මතක් වේ. ඍජු රේඛාවක් ලෙස පිහිටා ඇති මාර්ගයේ දෙපා ආසන්නයට ඇස යොමු කරමින් ඔහු වේගයෙන් ගමන් කරයි. ගුරු නිවාසයේ ඉස්තෝප්පු කාමරයේ දුගඳ හමන කැරපොතු කුයිල සමඟ බූරු ඇඳේ නිදා ගැනීම මීට වඩා ආරක්ෂිත බව ඔහුට සිතේ. පැය දෙකහමාරක් පමණ ගත වන්නට ඇත. ඈත ඉහළින් විදුලි ආලෝක ධාරාවක් දර්ශනය වනු පෙනේ. අඳුරට කෙතෙක් පෙම් බැන්දත් එහි ඇති බියජනක බව ඔහුට පසක් වූයේ එදින ය.

“අර එන්නේ කියපු රාලහාමි මහත්තයාගේ දුව. මේ ඉස්කෝලේ උගන්වන්නේ.”

සිරිසුමන විදුහලේ ඉදිරිපිට ඇති එදත් පැවති අලෙවි සලේ වියපත් මුදලාලි කියා සිටියේ ය.

“සුරූපිනියක් නොවන නූස් ගැමි ළඳක් ඔසරියකින් සැරසී බෝල කොණ්ඩයක් බැඳ පාසල වෙත එනු දුටු ඇය වෙත ගොස් ඔහුගේ බිරිය කථා කළා ය.

“මේ අර කමලා ද?”

“ඔව්... ඔව්... මිස් කවුද?

“මම රම්‍ය ටීචර් ඔයාලගේ ගෙදර නැවතිල හිටියේ.”

“අනේ මේ අපේ ටීචර්නේ.”

ඇය විසින් රම්‍යා ටීචර් බදා ගනු ලැබුවේ මවක් කුඩා දරුවකු වැළඳ ගන්නා ආකාරයට ය.

“අපි ආවා අපේ පරණ ඉස්කෝල බලල යන්න.”

“යමු... යමු අපේ ගෙදර”

ඇය පාසල් නොගොස් ආපසු හැරී ඇගේ නි‍ෙවසට ඔවුන් කැඳවා ගෙන ගියා ය.

“අම්මේ මේ ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටපු ටීචර් ඇවිල්ලා.”

“අනේ ඇත්තද? මදැයි අපිව මතක් වෙලා හොයාගෙන ආවා.”

“අම්මාගේ ඇස් පේනවත් අඩුයි.”

ඔවුනට නොමඳව ආදර සංග්‍රහ ලැබුණි. නිවස හා පරිසරයේ වැඩි වෙනසක් ඇති වී නොමැත.

“මෙහේ මිනිස්සු කොයි තරම් හොඳ ද?”

“කෝ රාලහාමි මහත්තයා.”

“අනේ ටීචර් තාත්තා මළා. තාත්තා ඉන්නකොට ටීචර්වයි සර්වයි නිතර මතක් කළා.”

පළමු පත්වීමට සිරිසුමන විදුහලට පැමිණි රම්‍යා ටීචර් හට රැකවරණය ලබාදුන් ගමේ සිටි ප්‍රභූ වරයා‍ණන් අද මිය ගොස් ය. ටීචර් පාසල් යෑමට සූදානම් වන විට දොළොස් හැවිරිදි වයසේ එදා සිටි ඒ දැරිය කරන ලද සත්කාර පිළිබඳ කමලා සිහිපත් කළා ය. ටීචර්ගේ හැඩ රුව, සාරියේ කටු ගැසූ ආකාරය, පවුඩර්, සබන්, ගමන බිමන ඒ ඔක්කොම මම දැන් අනුගමනය කරනවා.

“ධර්මපාල ඉස්කෝලෙ පැත්තෙත් යන්න හිතාගෙනයි ආවේ.”

“ඒකෙ ඉන්න ප්‍රින්සිපල් සර් හිටිය කාලේ කෙනෙක් වෙන්න ඕන.”

වැව් කණ්ඩිය මතින් ඇති ගුරු පාරේ ‍ඔවුහු කිලෝමීටරයක් පමණ ගම තුළට ඇවිද ගියහ. පාලමකින් ඇළෙන් එගොඩ වී එතැන් සිට ගමන් කළේ වනවදුලකිනි. එදා ඒ දණ්ඩකින් එගොඩ වී ගියා ඔහුට මතකය. එදා පරිදිම ජල කඳ නිසලව ගලා යයි.

පාසල වෙත ඔවුහු පැමිණියහ. L අකුරේ හැඩයට ගොඩ නඟා තිබූ ගොඩනැගිලි දෙක අදත් ඒ විදියටම පවතී. විශාල පිට්ටනියේ එදා දරුවන් සමඟ පාපන්දු ක්‍රීඩා කළා ඔහුට මතකය. පිට්ටනියට යාබද පාසල් ඉඩමේ වරක් තල වගා කරවූ අතර එයින් ගෝනියක් තැපැල් දුම්රියේ ගෙදර ගෙන ගියේ ය. ඉගෙන ගත් හැඩ වැඩ නැති තරුණ දරු දැරියන් සේ ම, කුරහන් රොටියෙන් දවස ගත කරමින් බොහෝ දිනවල සාගින්නේ පෙළුණු ඔවුන් සිහිසුන්ව ක්ලාන්තව ඇද වැටුණු අවස්ථා කොතෙකුත් ඔහුට සිහිපත් වේ. ඉතිහාසය, ප්‍රජාචාරය, භූගෝලය, සිංහල වැනි බොහෝ විෂයන් බහුශ්‍රැතයකු වූ ‘ඇරිස්ටෝටල්’ පරිද්දෙන් සාමාන්‍ය පෙළට ඉගැන්වූ ආකාරය මතක් වූ විට ඇතිවන්නේ උතුරා යන සෙනෙහසකි.

“මේ නෝනයි මහත්තයයි කවුද? කොහෙද?”

“අපි ආවා අපේ ඉස්කෝලේ බලල යන්න.”

“හොඳයි හොඳයි කොච්චර එකක්ද? වෙන කවුරුවත් ඔහොම එන්නේ නැහැනේ...”

‍’මගේ පළමු පත්වීම ලැබුණේ මේ ඉස්කෝලෙට. දැනට අවුරුදු 40 කට විතර ඉස්සෙල්ලා.”

“කවුද ඒ කාලේ හිටියේ.”

“තිලක් මහත්තයා තමයි ප්‍රින්සිපල්. තව හිටිය සුගුණපාල මහත්තයා, ආරියදාස මහත්තයා‍, කරුණාදාස මහත්තයා, සිරිමා ටීචර්.”

“හරි හරි මමත් ඒ කාලේ හිටියා මේ ඉස්කෝලෙ. ඒ කියපු ඔක්කොම වගේ මැරිල සිරිමා ටීචර් ගැන නම් ආරංචියක් නෑ.”

“ඔය සර්ගේ නම?”

“මම පෙරේරා.”

“ආ මට හොඳට මතකයි. මේ පෙරේරා සර්ද? එතකොට මම තුනේ හතර පන්තිවල හිටියේ. මට හොඳට මතකයි සර්ව. අර ලස්සන පෑනක් සාක්කුවේ ගහගෙන හිටියේ. ඒ පෑන රත්තරං පාටයි. හරි ගාම්භීරව හිටියේ ඒ කාලේ.”

“වෙන්නැති”

“එන්න එන්න සර් ඇතුළට අපිට හරි ආඩම්බරයි.”

“මමත් ඉගෙන ගත් ඉස්කෝලෙටම ආවා පත්වීම අරගෙන ගමේ ළමයින්ට උගන්වන්න.”

“අර අපි ඉස්සර නාන්න ගිය උඩයාරුව වැව කොහොමද”

“අදත් තියනවා.”

රූස්ස ගසක් යට පිහිටි ඒ කුඩා වැවේ මඩ වතුරේ නාන්න ගිය මතකය කිසිදා අමතක නොවේ. මුරුංගා හොද්දයි වැව් මාළුයි සමඟ බඩපුරා බත් කෑ ගුරු නිවාසයට ඇතුළු වීය. පෙරේරා සර්ට සෙවණ දුන් කාමරය අදත් එසේම පවතී. ඒ දිලින්දන් සමඟ ගත කළ ඉසුරුමත් සමය මෙනෙහි කරන විට අද ඇතිවන්නේ නිස්සාර දිවියේ අර්ථ ශුන්‍ය බවයි. පොල්ලතු සෙවිලි කළ ඒ මැටි නිවෙස් තුළ ඇති ශාන්තිය පිළිබඳ ඇත්තේ සතුටකි.

“මහත්තයා මෙහේ යන්න වෙන තැනක් නැහැ. හැන්දෑවට එන්න තියෙන්නේ මෙහේ විතරයි. අපේ සංගීත ටීචර් ඉන්නවානේ, ඒත් වැඩිය යන්න එන්න ඕන නැහැ. සර් සිටි ගුරු නිවාසයේ අයිතිකරු වූ කරුණාදාස මහත්තයා ඔහු කැටුව ආපසු එන අතර පැවසුවේය. සංගීත ටීචර් වත පුරා සිනාවෙන් නිති සැරසී සිටි කාටත් ප්‍රිය මනාප කාන්තාවක් වූවා ය. පාසල සිත් ගත් ස්ථානයක් බවට පත් කළේ සංගීත ටීචර් යැයි පෙරේරා සර්ට සිතිණි. කාඩ් සෙල්ලමින්, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්, කැරම් ක්‍රීඩාවෙන් ඔවුහු සවස් වරුව ගත කළෝ ය. විදුලි පන්දම් එළියෙන් ආපසු ගුරු නිවාසයට සේන්දු වන අතර නයි පොළඟුන් වැනි විසකූරු සර්පයන් හා ඉදිඹුවන් කොතෙකුත් මුණ ගැසී ඇත.

“එහාට ආවට කමක් නෑ. පරිස්සම් වෙන්න ඕන. ඒ ගෑනි හරි නූල් සූත්තරකාරි” සිනහ සදිසි වතින් සිරිමා ටීචර් නිතර පැවසුවා ය.

“අද කුරක්කන් රොටී හැදුවා.”

“අද තලප හැදුවා.”

“අද හැලප හැදුවා.”

පෙරේරා සර් වෙත සංග්‍රහ කිරීමට අම්මණ්ඩිය දුව පෙලඹ වීය. ක්‍රීඩා කරන විට ඇතැම් විට දෙඅත් ගැටේ. පාද ස්පර්ශ වේ. ඇය නොදැනෙන ගානට සිටී. එයින් සර්ට කිසියම් මිහිරියාවක් දැනුණි. අනිත් අයට හොරා ඇය දෙස බලා සිනාසෙන විට දඟකාර හැසිරීමෙන් යුතු ප්‍රතිචාරවලින් ඔහු සසල විය. ඒ උරචක්‍රමාලාව සමඟ නිදහසේ අවිනීත ලෙස ළං වන්නට ඇත්නම් යැයි ඔහුට කීපවාරයක්ම සිතුණි.

“හැබැයි මචං උඹ පරිස්සම් වෙයන්, ඒ අම්මණ්ඩි බලන්නේ කාට හරි දුව මාට්ටු කරන්න. එහි ඔහොම හිටියට සල්ලං වුණු එකියක්.”

ආරියදාස මහතා සර්ට ඉතාමත් ළෙන්ගතු ය.

“අර ටීචර් අල්ලපු පාසලට ආවෙ නැත්නම් මිනිහා ඉවරයි.”

පසුව පෙරේරා සර්ටම සිතුණ වාර අනන්ත ය.

පළමු පත්වීම ජීවිතය පිළිබඳ බොහෝ දේ උගැන්වූවා නොවේ ද?

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.