ශ්‍රී ලාංකික තස්ලිමා සහානා

පාලම

එකල ගුවන් විදුලියේ දෙමළ සේවයේ ‘ඔලිමංජරී’ නම් සඟරාමය වැඩසටහනක් විකාශය විය. එය ඉදිරිපත් කළේ ඉතා ප්‍රකට ගුවන් විදුලි ශිල්පියකු වූ අබ්දුල් හමීඩ් ය. පොතපත කියැවීමෙන් හා ගුවන් විදුලියට සවන් දීමේ කවිය හා කෙටිකතාව බඳු සාහිත්‍යාංගයන් පිළිබඳව කිසියම් අවබෝධයකින් යුතුව සිටි සිත්ති ජහනරා දැරිය අබ්දුල්ගේ ළයාන්විත කතා විලාසය කෙරෙහි මහත් සේ පැහැදුණා ය. ‘ඔලි මංජරියට’ කවියක් ලිවිය යුතු යැයි ඇය අදිටන් කර ගත්තා ය.

සිත්තිට එවිට වයස අවුරුදු 13 කි. ඇය ඉගෙනුම ලබමින් සිටියේ කැකිරාවේ මුස්ලිම් මහා විද්‍යාලයේ 9 වන වසරේ ය. ‘ඔලි මංජරියට’ ආවාට ගියාට ලිවිය නොහැකි ය. නිර්මාණ කළ යුත්තේ වැඩසටහන් සම්පාදකයා ලබාදෙන මාතෘකා යටතේ ය. අව්ව, වැස්ස, ඉර හඳ වැනි මාතෘකා විටින් විට නම් කෙරිණ. සිත්ති ද ඒ හැම මාතෘකාවකටම කවි ලීවාය. කිවිඳියකට කවියක් වැනි ම නමක් ද තිබිය යුතු යයි ඇයට සිතිණි. සිත්ති ජහනරා නමෙහි රිද්මය කන්කලු නැත. ‘කැකිරාවේ සහනා’ නම වඩාත් ඊට ගැළපෙතියි ඇය සිතුවා ය. එතැන් සිට ඇගේ කවි පමණක් නොව කෙටිකතා, නවකතා ඇතුළු සියලුම සාහිත්‍ය නිර්මාණ එළිදුටුවේ කැකිරාවේ සහනා නමිනි.

මෙතැන් පටන් අපි ද ඇය කැකිරාවේ සහනා නමින් අමතමු. කුඩා කල පටන් ම පොත් පත් ඇසුරු කිරීමේ වරම සහනාට හිමි විය. ඇගේ දෙමවුපියන්ට දෙමළ භාෂාව පිළිබඳ සෑහෙන අවබෝධයක් තිබිණ. ‘මිත්‍රන්’ පත්තරය පමණක් නොව දකුණු ඉන්දියානු සඟරා ද නොවරදවාම ගෙදරට ආවේ ය. මේවායේ පළ වන කවි, කතා හා චිත්‍රපට විචාර ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමේ පුරුද්දක් ඔවුන්ගේ නිවෙසේ පැවතිණ. සහනාගේ නිර්මාණ කුසලතාව මෙන් ම විචාර බුද්ධිය ද මෙම සාකච්ඡා ඔස්සේ වර්ධනය විය.

දකුණු ඉන්දියානු ලේඛක ජෙයකාන්තන්ගේ ‘සිලනිරංගලිල් සිලමනි තරකල්’ නම් නවකතාව මුල් වරට කියවන විට ඇගේ වයස අවුරුදු 12 කි. කාන්තා විමුක්තිය පසුබිම් කරගත් කතාවක් සහිත මේ නවකතාව කියවූ සහනාගේ ළමා සිත සටන්කාමී හැඟීමෙන් උණුසුම් විය. මාත් කවදා හෝ ලේඛිකාවක විය යුතුය යයි ඇය සිතා ගත්තා ය. සහනාගේ පාසලේම ගුරුවරයකු වූ ෆාරුක් සර් පදිංචිව සිටියේ අල්ලපු ගෙදර ය. ඔහු ද ලේඛකයෙකි. ඔහුට මනා පුස්තකාලයක් තිබිණි. සහනාට ගැළපෙන පොත් සොයා දුන්නේ ඔහු ය. ඇගේ නිර්මාණවල අඩුපාඩුකම් පෙන්වා දීමට ද ඔහු ඉදිරිපත් විය. ෆාරුක් සර් සහනාගේ සාහිත්‍ය චාරිකාවේ ප්‍රබල මතක සටහනකි‍.

උසස් පෙළ සඳහා ගම්පොළ සහිරා විදුහලට යාමට අවස්ථාවක් ලැබීම ද ලැබීම ද සහනාගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විය. කැකිරාව බඳු ඉතා ග්‍රාමීය පසුගාමී සමාජයක් හමුවේ කොටු වී සිටි ඇයට නව ලෝකය දැකගන්නට වරම් ලැබුණේ ගම්පොළදී ය. ඇගේ සමාජ දේශපාලන දෘෂ්ටියේ වර්ධනයක් ඇති කර ගන්නට එහි ගත කළ දෙවසර තුළදී ඇය සමත් වූවා ය‍. මුස්ලිම් කාන්තාව යනු දැඩි සමාජ හා ආගමික නීති රීති සමුදායකින් ගැටගසන ලද තැනැත්තියකි‍. සහනාගේ ඉදිරි ගමනට මෙම සීමා බන්ධන හරස් විය‍. ඇගේ පියා වන අබු රහුමාන් මෙන් ම මෑණියන් වන කයිරොන් මියා ද මෙහිදී අසරණ වූහ. ඇගේ පියා දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි අයෙකි. මවගේ පරපුර ද දකුණු ඉන්දියානු සම්භවයකින් යුතු අයවූහ. කැකිරාවේ මරදන්කඩවල මුස්ලිම් ගම්මානයේ සෙසු ජනයා මේ පවුල දෙස උකුසු බැලුම් හෙලමින් සිටියෝ ය.

සහනා මෙන් ම ඇගේ නැගණිය වන කැකිර‍ාවේ සුලෙයියා ද ඉගෙනුමෙහි මෙන් ම ලේඛනයෙහි ද දස්කම් පාමින් සාම්ප්‍රදායික මුස්ලිම් සීමා මායිම් අතික්‍රමණය කරන්නට වූවා ය‍. ඔවුන් ලාංකික තස්ලිමා හෝ මලාලා හෝ බවට පත්වනු ඇතැයි බිය වූ ගතානුගතික මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ මෙම පෙරළිකාරී චින්තන ධාරාවන්ට එරෙහිව අවි අමෝරන්නට වූවෝ ය. සහනාගේ උසස් අධ්‍යාපනය හා සාහිත්‍ය චාරිකාව හමුවේ මතු ව‍ූ මෙම සම්බාධක හේතුවෙන් ඇයට ටික කලකට තාවකාලිකව පසු බැසීමට සිදු විය. ඇය ඒ වෙනුවට කළේ ඉංග්‍රීසි ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වීම හා ඉංග්‍රීසි ටියුෂන් පන්තියක් ඇරඹීම ය‍.

යාපනයේ සිට ඩොමිනික් ජීවා සංස්කරණය කරන ‘මල්ලිකෛ’ සඟරාව සහනාට දකින්න ලැබුණේ මේ අතරතුර කාලයේ ය. එය ඇගේ නිර්මාණ කටයුතු වලට නව දිශානතියක් පෙන්නුම් කළේ ය. සමාජ අසාධාරණය, කුල පීඩනය වැනි සමාජ ප්‍රශ්න කවි කෙටිකතා සඳහා තේමා කරගන්නේ කෙසේ දැයි කියා සහනා උගත්තේ මල්ලිකෛයි හරහා ය. ඇය ඊට ලියන්න පටන් ගත්තා ය. රජරටින් මතුවන තරුණ මුස්ලිම් ලේඛිකාවගේ සටන්කාමී නිර්මාණාවේශය දුටු ඩොමිනික් ජීවා ඇය දිරිමත් කළේ ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කලා උපාධි පාඨමාලාව සම්පූර්ණ කරගත් සහනා ඉන් නොනැවතී ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමි කර ගත්තා ය.

සහනාගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය නිකුත් වූයේ 1997 දී ය. ඩොමිනික් ජීවාගේ ‘මල්ලිකෛයි’ ප්‍රකාශනයන් වශයෙන් නිකුත් වූ එහි නම ‘ඔරු ඩෙවඩියක් කනවු’ ය. සුරදූතියකගේ සිහින නම් අරුතින් යුතු එම කතා සංග්‍රහයත් සමඟ කැකිරාවේ සහනා නම දෙමළ සාහිත්‍ය ක්ෂේත්‍රයේ රැව් නඟන්නට විය. ඉන් ලද ජනප්‍රියත්වයත් සමඟ කෙමෙන් ඇය වටා බැඳී තිබූ බාධක බැමි ලිහිල් වන්නට විය. එදා මෙදාතුර කැකිරාවේ සහනා අතින් ලියවුණු පොත් මෙසේ ය.

‘ඔරු කූඩම් ඉරු මුට්ටයිකුලම්’ හා ‘අන්නායින් මාකන්’ යන නව කතා, ‘මුඩිවිල් තොඩංගුම් කතාහල්’ හා ‘උමායින් බෂායි’ යන කෙටිකතා, ‘ඉන්ඩ්‍රායා වන්නක්තුප් පුච්චිකල්’ හා ‘ඉරුත්තර්’ යන කාව්‍ය සංග්‍රහ ද ‘සෝලා ඕඩුම් නාත්හි’ දෙමළ ලේඛක ජයකාන්තන් පිළිබඳ ඇගැයුමක්, ‘මානා සංග්‍රම්’ නම් ස්වයංචරිතාපදානය ඇතුළු කෘති 9 ක් මේ වනවිට කැකිරාවේ සහනා අතින් ලියවී ඇත.

මෙම කෘති සඳහා ඇය සම්මාන රැසක් ද දිනා තිබේ. යාපනය සාහිත්‍ය කවය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් ලේඛක ජෙයකාන්තන් පිළිබඳ ඇය ලියූ කෘතියට සම්මාන ප්‍රදානය කරනු ලැබීය. ඊට අමතරව සහනාගේ සාහිත්‍ය මෙහෙවර අගය කරමින් මඩකලපුවේ ලේඛන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඇයට විශේෂ සම්මානයක් පිරිනැමුවේ ය. 2016 දී ඕස්ට්‍රේලියාවේ පැවැති අන්තර්ජාතික දෙමළ කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් ව‍ූයේ ද සහනා ය. අන්ධු ජවහර්ෂ නම් ප්‍රකට විචාරකයා ඇය හඳුන්වන්නේ ඇගේ සමාජ පසුබිම, ආගම, ජීවන අවස්ථාවන් මෙන් ම පවුල මෙන් ම රැකියාව ද අභියෝගයට ලක් කරමින් නිර්මාණකරණයේ යෙදෙන අභීත මුස්ලිම් ලේඛිකාව වශයෙනි.

1968 දී කැකිරාවේ මරදන්කඩවල උපත ලැබූ සිත්ති ජහනරා හෙවත් කැකිරාවේ සහනා සහෝදරයන් හා සහෝදරියන් හතර දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් සාමාජිකාව වූවා ය. සම්මත සමාජ සිරිත් විරිත්වලට අබමල් රේණුවක තරමින් වත් පිටුපෑමට අවකාශයක් නොතිබුණු නූගත් ආධානග්‍රාහී සමාජ පසුබිමක උපත ලබා එම සමාජ කුඩතුරා සිඳ බිඳ දමමින් අඩ සියවසක පමණ කාලයක් පුරා සහනා පැමිණි ගමන කිසිසේත් ම විප්ලවවාදී දිරිය කතකගේ අභියෝගාත්මක චරිකාවකට නොදෙවැනි වනු ඇත.

ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් කළ දශක කිහිපයක සේවයෙන් ඉක්බිතිව සහනා 2014 වසරේදී විශ්‍රාම දිවියට පිවිසියා ය. පුතකුගේ හා දියණියන් තිදෙනකුගේ මවක් වන ඇය තම විශ්‍රාම දිවිය ඒ දරුවන් වෙනුවෙන් සේම අදටත් පුරුෂාධිපත්‍යයේ මෙන් ම ආගමික හා සංස්කෘතික විලංගු වල සිරවී සිටින තම සහෝදරියන් මෙන් ම දැරියන් යනුවෙන් ද කැප කර සිටින්නීය. ලේඛිකාවක වශයෙන් සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට දිය හැකි පණිවිඩය කුමක්දැයි විමස‍ූ විට සහනා මෙසේ කීවා ය.

“අපේ රටේ ඉන්න සිංහල, දෙමළ හා මුස්ලිම් කියන ප්‍රධාන ජන කොටස් තුන තමන්ගේ භාෂාවට, ආගමට හා සංස්කෘතයට වගේ ම අනිත් අයගේත් වටිනාකම්වලට ගරු කරනවා නම් අනවශ්‍ය ගැටුම් ඇති වෙන්නේ නැහැ. අනිත් එක තමා රටේ නායකයෝ, සාහිත්‍යයට ගරු කරන්න ඕනෑ. හොඳට පොත් පත් කියවන්න ඕනා. පිදෙල් කස්ත්‍රෝ, අබ්දූල් කලාම් වැනි නායකයන් වගේ හොඳ පාඨකයො වුණොත් ඒ අයට රටේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වෙයි.”

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.