කසළ ගැටලු විසඳන ප්‍රතිචක්‍රීකරණය | සිළුමිණ

කසළ ගැටලු විසඳන ප්‍රතිචක්‍රීකරණය

 මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදනයන් පරිහරණය කිරීම ක්‍රමක්‍රමයෙන් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමඟම අපද්‍රව්‍ය ලෙසින් ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් හේතු කොටගෙන වර්තමාන මිනිස් හා සත්ත්ව ප්‍රජාවට එරෙහිව ගොඩනැගුන ඇති අහිතකර හා අනර්ථකාරී බලපෑම ඉතා බැරෑරුම් බව නොරහසකි. මේ ගැටලුව හමුවේ සෑම දෙනකුම අසරණවී ඇති බව පසුගිය කාලයේදී අප රටේ උද්ගතවූ කසළ ප්‍රශ්නය මෙන්ම ඒ ආශ්‍රීතව ඩෙංගු උණ රෝගය, කහ උණ රෝගය හා ගෙමැස්සන්ගේ ව්‍යාප්තිය පිළිබදව මුද්‍රිත මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ඔස්සේ දකින්නට හා අසන්නට ලැබුණි.

වර්තමානය වනවිට ප්ලාස්ටික් බෝතල හා පොලිතීන් භාවිතය ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන්ද සාජුවම බලපෑම් එල්ල කිරීමට සමත්ව ඇත. පොලිතීන් හා ප්ලාස්ටික් නිපැයුම් බහුලවම පරිහරණයට පැමිණි 70 දශකයේ අග භාගයේ සිට ප්‍රාදේශීය වශයෙන් එක්රැස්වන හා ඉවතලන ප්ලාස්ටික් බඳුන් හා පොලිතීන් ඇසුරුම් බැහැරකරලීම හෝ ප්‍රතිචක්‍රීකරණය උදෙසා ක්‍රමවත් සැලැස්මක් හෝ වැඩ පිළිවෙලක් පිළිබඳව කිසිදු ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් හෝ මහ නගර සභාවක් මඟින් ක්‍රියාත්මක කිරීමට තරම් ඥානාන්විත නොවීමේ දුර්විපාකයන්හි බැරූරැම්කම දැන් දැන් රටපුරාම අසන්නට ලැබේ.

ආසියාතික රටවල තරම් පානීය ජලය පිරවූ ප්ලාස්ටික් බෝතල හා ආහාර ද්‍රව්‍ය ඇසුරුම් සදහා පොලිතීන් භාවිතාකිරීම වසර 2016 දී ලොව වෙනත් රටවල දැකිය නොහැකි තරමට ව්‍යාප්තව ඇති බවට තොරතුරු අනාවරණයවේ. මෙ තත්ත්වය සීමා රහිතව ව්‍යාප්ත වුවහොත් වසර 2020 දී එම ප්‍රමාණය 130 -145% අතර අගයකට ළඟාවීම වළක්වාගත නොහැකි වන බවට ඇස්තමේන්තු කර ඇත. වසර 2015 දී චීනයේ ප්ලාස්ටික් බෝතල භාවිතා වූ ප්‍රමාණය ලෝකය පුරාම නිෂ්පාදිත බෝතල ප්‍රමාණයෙන් 28% කි. වසර 2016 දී එම ප්‍රමාණය බිලියන 73.8 ක් ලෙසින් වාර්තාවී ඇත. ලොව පුරාම බැහැරලන ප්ලාස්ටික් හා පොලිතීන් ගොඩබිම පමණක් නොව ජල මාර්ග ඔස්සේද සංචාරකයින් මඟින් වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතවද ධීවර කර්මාන්ත‍යේ හා නාවික ගමනාගමයේ නිරතවන්නන්ගේ නොදැනුවත්කම හා අනවබෝධය සහ විනෝදයට කරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන් සමුද්‍රය පුරාද ව්‍යාප්තවී සමස්ත පරිසර පද්ධතියම මේවනවිටදී දූෂණයට ලක්ව ඇත. උදාහරණයක් ලෙස වර්ෂ 1992 දී චීනයේ සිට සියෑටල් දක්වා නාවික ගමනක් අතරතුර කරන ලද පරීක්ෂණයකදී සලකුණු කරන ලද රබර් තාරාවන් සහිත ප්ලාස්ටික් බහාලුම් 20 ක් සමුද්‍රය වෙත මුදාහැරීය. වර්ෂ 1994 දී ඇලස්කාවෙන්ද වර්ෂ 2000 දී අයිස්ලන්තයෙන්ද එම ද්‍රව්‍ය සොයා ගැනීමෙන් තහවුරු වන්නේ කසල ප්ලාස්ටික් හෝ පොලිතින් ආශ්‍රීත නිෂ්පාදන සමුද්‍රය පුරා පැතිරයන ස්වභාවයයි. පසුගිය වසරේ පමණක් සමුද්‍රීය කටයුතු ඔස්සේ ජපානය අවට වෙරළබඩ ප්‍රදේශ වෙත පමණක් එක් රැස්වූ ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000 බව වාර්තා කරගෙන ඇත. ෙම් තත්වයේ තවත් පැතිකඩක බැරෑරුම්කම ඉස්මතුවන්නේ, ධීවර කර්මාන්තයේදී සමුද්‍රය වෙත බැහැර කරන නයිලොන් දැල් හා පොලිතීන් බෑග් හා ඉටි රෙදි හේතුවෙන් කොරල්පර වෙත සිදුකරන අහිතකර බලපෑමයි. සාගර ජල තරංග හේතුවෙන් එම දැල් කොරල්පර මත දැවටෙන අතර පොලිතීන් පටල හෝ බෑග් කොරල්පරයන්හි තුඩු මත රැදී ඒවායෙහි ස්වසන ක්‍රියාවලියට ද බධා පැමිණවීමයි.

ප්ලාස්ටික් බෝතලවල අසුරන ලද ලොව පුරා ප්‍රචලිත බීම වර්ගයක් චීන වෙළදපොළට පැමිණි මුල් වකවානුවේදී ඒ කෙරෙහි චීන ජාතිකයන් දැක්වූයේ ඉතා අඩු අවධානයකි. එසේ වුවද වර්තමානයේදී පානීය ජලය හා බීම වර්ග ඇසිරීම සදහා ඒතරම් විශ්වසනීයත්වයෙන් යුතු ඇසුරුමක් නොමැති තරමට චීන ජන සමාජයේ ප්ලාස්ටික් ප්‍රචලිතවී තිබේ. මේ තත්ත්වය තවදුරටත් ව්‍යාප්තවීම වළකා ගැනීම සදහා චීන ජාතිකයින් හා විවිධ නිෂ්පාදන සහ සේවා ආයතන සාමාජිකයින් පෙළඹවීමට එම රජය දැනටමත් කටයුතු කිරීම අරඹා ඇත.

ඒ අනුව චීන රජය විසින් එම රටට බැහැරින් අපද්‍රව්‍ය ලෙස ඉවතලන ප්ලාස්ටික් ඇසුරුම් සහ අනෙකුත් කසළ පොලිතීන් චීනය තුළට රැගෙන ඒම හා එසේ ආනයනයකර එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම පසුගිය ජුලි මස 01 දින සිට සපුරා තහනම් කර ඇති අතර ඒ පිළිබඳව විමර්ශනය සදහා පරීක්ෂක නිලධාරීන් 1700 කින් යුතු බලකායක් ද ස්ථාපිතකර සක්‍රීය ලෙසින් ඊට දායකවීමට යොමුකර ඇත. චීනය විසින් මේ පිළිබඳව ලෝක වෙළෙඳ සංගමය ද දැනුවත්කර ඇත්තේ තම රටේ මහජන සෞඛ්‍යාරක්ෂාව හා පරිසර සංරක්ෂණය උදෙසා මේ ක්‍රියාමාර්ගය ගන්නා බවයි. එහෙයින්ම මෙකී විශේෂ කාර්ය බලකාය චීන ජනාධිපති ෂී ජින්පෙන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. එසේම චීන පරිසර සංරක්ෂණය පිළිබද අමාත්‍යවරයාද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ මෙවැනි ඝණ අපද්‍රව්‍ය තම රටට ආනයනයේදී ඒ සමඟ අපිරිසුදු වූ කසළ ප්ලාස්ටික් බඳුන් සහ සෘජුවම මහජනයාට අනතුරුදායක ලෙස බලපෑම් කළ හැකි කසළ ද ඒ සමඟ තම රටේ පැමිණීමත් එවැනි දෑ වෙනත් නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙස උපයෝගීකරගැනීමට හැකියාව ඇති හෙයින් තහනම තදින්ම ක්‍රියාත්මක කරන බවයි.

පරිහරණය කරන ලදුව ඉවතලන ප්ලාස්ටික් බඳුන් කොතැනකට හෝ වීසිකර දැමීම හෝ බැහැර කිරීම දකුණු ආසියාතික මෙන්ම ඇතැම් බටහිර හා ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල ජනසමාජ තුළ දක්නට ලැබුණද චීනයේ එය තහනම් ක්‍රියාවකි. චීන වැසියන් සිය රටේ ආර්ථික ක්‍රියා පිළිවෙතටත් වඩා වැඩි අවධානයකින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි දැන් අවධානය යොමුකර ඇත. ඒ සදහා සෑම දිනකම පෙරවරු 7.00 සිට 9.00 දක්වා නිවෙස් ආශ්‍රිතව ප්ලාස්ටික් හා පොලිතීන් වර්ගීකරණය මත එක්රැස්කර නිර්දේශිත ස්ථාන වෙත බාරදීමට ජනතාව යොමුකර ඇත. ඒ අනුව අනාගතයේදී එවැනි අපද්‍රව්‍ය උපයෝගීකරගෙන වගුරු බිම් හෝ පහත් බිම් ගොඩකිරීමද එම රටේ අතිශයින්ම දුර්ලභ දසුනක්වනු ඇත. එරට කසළ ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය සදහා වූ පිළිවෙතේ අදියර කිහිපයක් දැකිය හැකිය.

එක්රැස් කිරීම Collection

පරිහරණයෙන් පසුව බැහැරලන ප්ලාස්ටික් බදුන් බෝතල, පෙට්ටි, බෑග්, ඇසුරුම් මළු, නූල්, ඇසුරුම් තට්ටු,දැල් හා තුනී තහඩු ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් දැකිය හැක. දියුණු යැයි සම්මත රටවල මෙම ද්‍රව්‍ය එක්රැස් කිරීමට පුද්ගලික ව්‍යාපාරික ආයතන ඇති අතර අතිරේක හෝ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින්ම හෝ වෙනත් ආයතන වෙත එකී ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කෙරේ. අනතුරුව එම ආයතන විසින් නැවත භාවිතයට ගත හැකි ආකාරයට කසළ ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කර අමුද්‍රව්‍ය ලෙසින් නැවතත් අවශ්‍ය අනෙකුත් ආයතන වෙත සැපයීම සිදුකරයි. ලොව අනෙකුත් බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ කසළ ප්ලාස්ටික් හා පොලිතීන් එක්රැස්කර තවත් රටකට අපනයනය කිරීමයි. ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍යයක් ලෙසින් ගැටළු නිර්මාණය කිරීමට හේතුකාරකය වී ඇත්තේ මේ ක්‍රියාදාමය සදහා ප්‍රමාණවත් පහසුකම් අන් රටවලට නොමැතිවීම හෝ ඒ පිළිබදව අවධානයක් යොමු නොකිරීමයි.

තේරීම Sorting

බඳුන් වටා ඇති ලේබල ඉවත් කිරීමෙන් අනතුරුව සියලුම ආකාරයේ ප්ලාස්ටික් ද්‍රව්‍ය වර්ග ඒවායෙහි රේසින සංඝටක හා වර්ණ අනුව පළමුව වෙන්කර ගනු ලැබේ. ඒ සදහා එකී ද්‍රව්‍ය ප්‍රථමවරට නිෂ්පාදනයේදී සඳහන්කර ඇති සංකේතයන් උපයෝගීකරගනු ලැබේ. මේ අනුව යම්කිසි දුෂ්‍යකාරක ඇතොත් ප්‍රතිචක්‍රීකරණ පිළිවෙතේ පළමු පියවරේදීම පහසුවෙන්ම බැහැර කළ හැකිය.

කැබලි කිරීම Shredding

ඉන් අනතුරුව බෝතල, පටල, බෑග් හා පතුරු ආකාරයේ කසළ ප්ලාස්ටික් ද්‍රව්‍ය කුඩා කැබලි වලට කපාගනු ලැබේ. එහිදී ද බර හා සැහැල්ලු කැබලි වෙන් වෙන් වශයෙන් යන්ත්‍රානුසාරයෙන්ම තෝරා ගැනේ. ඒ අනුව විවිධ ප්‍රමාණයේ කැබලි එකට මිශ්‍රවීම වළකා ගනු ලැබේ.

ඉතිරි කොටස ලබන සතියේ

පාලිත මහින්ද මුණසිංහ
ගොවිපල් යාන්ත්‍රික උපදේශක දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හෝමාගම

Comments