ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනදුන් හය වැනි ලෝක ඉදිකිරීම් සමුළුව | සිළුමිණ

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනදුන් හය වැනි ලෝක ඉදිකිරීම් සමුළුව

 ලෝක ඉදිකිරීම් සමුළුව පසුගියදා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි. තිරසාර ඉදිකිරීම් ඉලක්ක කරගනිමින් මෙම ලෝක ඉදිකිරීම් සමුළුව වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර මෙවර එය පවත්වනු ලැබුවේ හය වැනි වරටය .මෙවර සමුළුවේ තේමාව වුයේ ,පාරිසරික න්‍යාය පත්‍රයට අලුතෙන් එක් වූ දෑ සහ ඊළඟ අදියර, යන්නය.

මෙවර පැවැති ලෝක ඉදිකිරීම් සමුළුවට විදේශ නියෝජිතයන් 100ක් පමණද දේශීය නියෝජිතයන් 200 ක් පමණද සහභාගී වූහ.

ලොව පුරා සිටින තිරසාර ඉදිකිරීම් පිළිබඳ පර්යේෂකයන්ට සහ එහි නියැලෙන්නන්ට ඔවුන්ගේ අත්දැකීම්ල නව සොයා ගැනීම් හා පර්යේෂණ සඳහා මෙම සමුළුව විශේෂ අවස්ථා ලබා දෙයි. ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය හා මොරටුව විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලි ආර්ථික දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ආර්ථික කළමනාකරණ ඒකකය එක්ව මෙම සමුළුව සංවිධානය කරන ලදී. මෙම සමුළුවේ තාක්ෂණික වැඩසටහනේ දී ශ්‍රී ලංකාව තුර්කිය ,ඕමානය, ඉන්දියාව,ඔස්ට්රේලියාව,හොංකොං, හා මලයාසියාව යන රටවල ශාස්ත්‍රඥයන් හා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදින් උප තේමාවන් 26ක් යටතේ පර්යේෂණ පත්‍රිකා 50 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළහ.

මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දීම වීරක්කොඩි මහතායි. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන ශ්‍රිමිකයන් හිඟයට පිළියම් සෙවීමට තම අමාත්‍යාංශය සූදානම් බව සමුළුවේ ආරම්භක සැසිය ඇමතු අැමැතිවරයා පැවසීය. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු කිරීමටත් දැනට සිටින ශ්‍රිමිකයන් ගේ නිපුණතා වර්ධනයට අවශ්‍ය වන පාඨමාලා ආරම්භ කිරීමටත් සහය වීමට තම අමාත්‍යාංශය සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

හය වැනි ලෝක ඉදිකිරීම් සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ එංගලන්තයේ මධ්‍යම ලැන්කෂයර් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Akinto laAkintoye හා ඔස්ට්රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ්‍රිනාත් පෙරේරා යන මහත්වරුන් විසිනි. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හා පරිසරය ගොඩ නැගීමේ ව්‍යාපෘතිය සහ දේපල කළමනාකරණ සඟරාවේ සංස්කාරක මහාචාර්ය මොහාන් කුමාරස්වාමි යන මහත්වරුද ප්‍රමුඛ දේශනා පැවැත්වූහ. මීට අමතරව ලිවර්පූල් ජෝන් මූවර් විශ්වවිද්‍යාලය ,මදුරාසිය ඉන්දීය තාක්ෂණික ආයතනය ,හොංකොං විශ්වවිද්‍යාලය , බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලය නොතුම්බ්රියා විශ්වවිද්‍යාලය ,රොබට් ගෝඩන් විශ්වවිද්‍යාලය යන ආයතනවල පර්යේෂකයන් ද සමුළුවට සිය දායකත්වය දක්වා තිබුණි.

ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න හා උප සභාපතිවරුන් වන රුවන් ද සිල්වා හා ජයිකිෂ් තුඩාවේ යන මහත්වරුන් මෙවර ලෝක ඉදිකිරීම් සමුළුව අවසන් වීමෙන් පසු මෙලෙස අදහස් පළ කළහ .හයවැනි වරටත් මෙම සමුළුව පැවැත්වීමට හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටට පත්වෙනවා. අද වන විට මෙම සමුළුව ක්ෂේත්‍රයේ ශාස්ත්‍රඥයන් හා පර්යේෂකයන් බලාපොරොත්තුවෙන් සිටින ඉසව්වක් බවට පත්ව තිබෙනවා.ඒ අනුව මෙම සමුළුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව අදහස් හා සංකල්ප සඳහා අවස්ථාව සලසනු ඇති.,

මෙම අන්තර්ජාතික සමුළුව සාර්ථක කරගැනීම සඳහා සමුළු සභාපති මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, සමුළුවේ සංවිධාන සම සභාපතිවරුන් වූ සාගර ගුණවර්ධන ,හා කලණ අල්විස්, විද්‍යාත්මක කමිටු සම සභාපතිවරුන්,මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික දෙපාර්තමේන්තුවේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා ගත් උත්සාහයන් සම්බන්ධවතම ස්තූතිය ඒ අය වෙත පිරිනමන බවද ඔව්හූ පැවසූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික අංශයේ අංශාධිපති ආචාර්ය යසංගිකා සන්දනායක අදහස් පළකරමින්, මෙම ගෞරවනීය වාර්ෂික ඉසව්වේ සම සංවිධායක ලෙස කටයුතු කිරීමට ලැබීම සම්බන්ධ අප විශ්වවිද්‍යාලය ඉතාමත් සතුටට පත් වෙනවා. තිරසාර සංවර්ධනයේදී ඉදිකිරීම් කර්මාන්තයට මුහුණ දීමට සිදුවන දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහාමෙම සමුළුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුවෙනවා, යයි පැවසුවාය.

මෙම සමුළුවට සමගාමීව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ 2017හරිත ලකුණු ගොඩනැගිලි සම්මාන ප්‍රදානය ද මහත් හරසරින් යුතුව පැවැත්විණ. ඉතාමත් සැලකිලීමත් හා තියුණු ඇගයීමේ ක්‍රියාවලියකින් පසු ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ හරිත ඉලක්ක සපුරාලූ සංවිධාන නිෂ්පාදන හා ගොඩනැගිලි වෙනුවෙන් සම්මාන හා සහතික පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරණි. එසේම හරිත කළමනාකරුවන් සඳහා වන ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ උසස් පාඨමාලාව සාර්ථකව නිමා කළ වෘත්තීකයන් සඳහා ද මෙහිදී සහතික පත් පිරිනැමුණි.

2017 හරිත ලකුණු ගොඩනැගිලි සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල්ප්‍රේමජයන්ත මහතා යි.මෙම ලෝක ඉදිකිරීම් සමුළුව සමුළුව සංවිධාන කිරීම සම්බන්ධයෙන් ලංකා ඉදිකිරීම්කරුවන් ගේ ආයතනයට හා මොරටුව විශ්ව විද්‍යාලයට අැමැතිවරයා ගේ ප්‍රසාදය පළ කෙරුණි.වසර 2030 වන විට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කසපුරා ගැනීම සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා අපේක්ෂා කරන බවද අැමැතිවරයා මෙහිදී සදහන් කළේය. නැනෝ තාක්ෂණයේ වර්ධනය පිළිබඳ අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා එම තාක්ෂණණය ඉදිකිරීම් කර්මාන්තයට යොදා ගත හැකි අන්දම සම්බන්ධයෙන්ද කරුණු දැක්වීය. තිරසාර ඉදිකිරීම් සඳහා නැනෝ තාක්ෂ ණය භාවිත කිරීමට අදාළ පර්යේෂණ සඳහා ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයට හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතන දෙකටම විද්‍යාල තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ උපරිම සහය ලබා දෙන බවද අැමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.