99 අවුරුදු බදු ක්‍රමය හඳුනා ගනිමු

 දැන් සති කිහිපයක සිට ‍අපේ රටේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වන මාතෘකාවක් වී ඇත්තේ 99 අවුරුදු බදු ක්‍රමයයි. මේ බදු ක්‍රමය රට අගාධයකට ඇද දමන බවට පිරිසක් හඬ නඟා කියති. තවත් පිරිසක් කියන්නේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට මේ අයුරින් බදු දීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බවයි. මේ වාද විවාද විතර්ක හමුවේ රටේ ජනතාව බහුතරයක් අන්දමන්දව කිසිවක් වටහා ගත නොහැකිව කවුරුන් හරිද යන්න ගැන හෝ නිවැරැදි කුමක්ද යන්න ගැන හෝ නොදැන මුනිවත රකිති. එම නිසා 99 අවුරුදු බද්ද යනු කුමක්ද එහි ඇති වාසි අවාසි ගැන අප අදහස් විමසා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චන්දන අලුත්ගේ මහතාගෙනි.

රටක ආර්ථික වර්ධනයක් සිදු කර ගැනීමට නම් ඒ රට තුළ සිදු කරනු ලබන නිෂ්පාදන ධාරිතාව උපරිම ලෙසින් කාර්යක්ෂම කර ගත යුතු වේ. එසේම ඒ සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධනයද ඒ රට තුළ සැරිසැරිය යුතු වේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි තත්ත්වයකට ළඟා වීමට අපහසු වන්නේ රටේ ආර්ථික මට්ටම ඉහළ තත්ත්වය නැති නිසාය. අප රටේ බොහෝ සංවර්ධන කටයුතු සඳහා විදේශාධාර ලබා ගෙන තිබේ. මේ නිසා එම අධික ණය කන්දරාව අප විසින් පොළියද සමඟ ගෙවිය යුතු වේ. එම ණය ගෙවිමේ ක්‍රමවේදයක් නිසියාකාරව අප සතුව නැත. එම නිසා ණය ගෙවීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතුය. එහි එක් පියවරක් ලෙස අපේ රටේ ආදායමක් ලබා ගත හැකි සංවර්ධන ව්‍යාපෘති සමඟ ඒ ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා ගත හැකි විදේශීය සමාගම් හෝ විදේශීය රටවල් සමඟ අප ඒකාබද්ධ විය යුතුය.

මෙහිදි මතුවන ප්‍රශ්නය වන්නේ එම ඒකාබද්ධතාවය කෙසේ සිදු කර ගත යුතුද යන්නයි. අපේ රටේ පමණක් නොව ඕනෑම රටක ආර්ථිකය අනුව විදේශීය සමාගම් හෝ විදේශීය රටක් සමග ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලින හෝ දීර්ඝ කාලීන ආයෝජන ක්‍රම අනුගමනය කරනු ලැබේ. අපේ රටේ ක්‍රමවේදය අනුව වසර 100ක් හෝ වැඩි කාලයක් යම් ආයතනයක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ විසින් හෝ යම් භූමිභාගයක් පරිහරණය කළහොත් එහි අයිතිය හිමි වනු ඇත.

දිගු කාලීන අායෝජනය

එම නිසා රටකට දිගු කාලීනය යම් ආයෝජනයක් සිදු කර ගැන්මට අවශ්‍ය වන්නේ නම් සිදු කරනු ලබන්නේ එම භූමිභාගය වසර 99කට බදු දීමයි. මෙහිදී එම භූමිය වසර 99ක් යනතුරු බදු ගන්නා සමාගම හෝ රට විසින් පරිහරණය කරනු ලබන අතර එහිදී ඒ සඳහා‍ භූමිය අයත් රටට බදු මුදලක් ගෙවනු ලැබේ. මේ ක්‍රමවේදය න්‍යායාත්මකව විශ්ලේෂණය කළ යුත්තක් නොවන අතර එම බදු දෙන කාල සිමාව ඇතැම් විට වසර 20ක් හෝ 30ක් හෝ විය හැකිය. ඒ මධ්‍ය කාලීන හෝ කෙටි කාලීන බදු දීම් යටතේය. එහෙත් දීර්ඝ කාලීනව ආයෝජන සැලසුම් කිරීමේදී බදු දීම සිදු කෙරෙන්නේ වසර 99 ක කාලයකටය.

මේ ක්‍රමය අපගේ වත්තක් බදු දිමට හා සමාන කළ හැකියි. අප සතුව වත්තක් ඇතත් එහි ගොවි‍ොපළක් ස්ථාපිත කිරිමට හෝ වගාබිමක් ඇති කිරීමට හෝ අපට හැකියාවක් නැත. එහිදි අප ඒ සඳහා ආයෝජකයකු සොයා ගන්නවා. ඒ ආයෝජකයා වගාබිමත් හෝ ‍සත්ත්ව ගොවිපොළක් හෝ ස්ථාපිත කර ආදායමක් උපයා ගන්නවා. භූමියට එසේත් නැත්නම් භූමියේ ඇති අනෙකුත් සම්පත් සඳහා අපට ගෙවීමක් සිදු කරනවා. මේ වසර 99ක බදු දිමත් ඒ හා සමානයි. වෙනත් විශේෂිත ක්‍රියාදාමයක් නැහැ. මෙය සාමාන්‍ය ජීවිතයේ නිවසක අතිරේකව ඇති කාමර දෙකක් තුනක් ‍කුළියට දීම හා සමාන කළ හැකියි. මෙහිදී ඉඩම හෝ නිවස බදු දෙන්නා හැමවිටම උත්සාහ කරන්නේ තම භූමිය උපරිම මුදලක් යටතේ ලබා දීමටයි. එසේම ආයෝජකයාද උත්සාහ කරන්නේ තමන්ට උපරිම ලාභයක් ලබා ගැනීමට හැකියාවක් ඇති ක්‍රියාදාමයන් කෙරෙහිය. මේ නිසා දෙදෙනාම සාකච්ඡා කිරීමෙන් අනතුරුව එකගතාවයකට පැමිණේ.

අවසන් තීන්දුව ගැනීමේදි දෙපාර්ශ්වයටම එකඟවීමට සිදුවන ක්‍රමවේදයක් සකස් වනු ඇත. මෙහිදි විශේෂයෙන්ම භූමිය බදු දෙනු ලබන තැනැත්තා තම අවශ්‍යතාවය ගැන ‍පැහැදිලිව කල්පනා කළ යුතුය. තමන් විසින් අධික ලෙස බැංකු ණය ලබාගෙන තනන ලද නිවෙසක කාමර රැසක් කිසිදු පාවිච්චියකට ‍නොගෙන වසා දමා තබාගෙන තමන් විසින් තවත් අයගෙන් ‍මුදල් ලබාගෙන හෝ අධික ණය මුදල් ගෙවනවාද? එසේ නැත්නම් කිසිවකුට හෝ එම කාමර කිහිපයක් යම් කාලයකට කුලියට ලබා දී එයින් ලැබෙන ආදායමෙන් ණය මුදල පියවීමට යම් ඉතුරුවක් සිදු කර ගන්නවාද යන්න ගැන තීරණය කළ යුතුය.

විශේෂයෙන්ම අධික ණය ලබා ගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාව වැනි රටක තම ණය බර නිදහස් කර ගැනීමට ‍99 අවුරුදු බදු ක්‍රමය වැනි ක්‍රමවේදයක් ගැලපෙන බවත් මෙහිදි පෙන්වා දිය යුතුයි. එසේ නොමැති නම් අපගේ අයිතිය යන්න ස්ථාපිත කරගෙන අදාළ ව්‍යාපෘති පාඩු ලබමින් පවත්වාගෙන යාම වුවද කළ හැකියි.

ආයෝජකයාගේ තීරණය

එහෙත් එවිට එම අධික ණය මුදල් ගෙවන්නේ කෙසේද යන්න ගැන කල්පනා කළ යුතු වේ. මෙය කලින් පෙන්වා දුන් උදාහරණයේ පරිදි අධික ණය මුදලක් රැගෙන නිවසක් ඉඳි කළ පුද්ගලයා නිවසේ සියලු කාමර තමන් වෙත තබාගෙන අධික ණය බරින් මිරිකී සිටීම වැනි කාර්යයකට සම්බන්ධ කළ හැකිය. එමෙන්ම ආයෝජකයාට ඇති එකම ආයෝජනය එය නොවන බව භූමිය හිමිකරුවා දැන ගත යුතුය. එම නිසා ඇතැම් විට ආයෝජකයාගේ යම් යම් අඩුකිරීම් සඳහා එකඟවීමට සිදු විය හැකිය. සාමාන්‍ය ජිවිතයේ උදාහරණයක් මඟින් මෙවන් කරුණක් පෙන්වා දෙන්නේ නම් යම් නිවසකට ඇති මාර්ගය අඩි 8ක් පමණ පළලකින් යුක්ත වේ නම් එම නිවෙස කුලියට ලබා දීම තරමක් අපහසු වනු ඇත. එහෙත් යතුරු පැදියක් ඇති අයෙක් එම නිවෙස කුලියට ලබා ගැනීමට ඉදිරිපත් වන්නේ සාමාන්‍ය මුදලට වඩා අඩු මුදලකටයි. ඒ බවද අප සිහි තබා ගත යුතුය.

හම්බන්තොට වරාය සම්බන්ධව වුවද අපට කීමට ඇත්තේ එවැන්නක් පමණකි. අපට අනෙක් රටවල් හා සමානව තරග කරන්නට නොහැකි බව අප තේරුම් ගත යුතුයි. මේ නිසා එම වරාය හෝ වෙනත් භූමියක මේ ආකාරයේ තත්ත්වයකට පත් වුවහොත් අපට සිදු වන්නේ එහිදී නිසි තීරණය ගැනීම පමණයි. හම්බන්තොට වරාය ගැන පමණයි අද බොහෝ දෙනා කතා කරන්නේ. ශ්‍රී ලන්කන් අායතනයත් මේ තත්ත්වයට පත්ව ඇති බව බොහෝ දෙනා නොදන්නා තත්ත්වයකි.

ගුවන් යානා සමාගම්

ලෝකයේ බොහෝ ගුවන්යානා සමාගම් අද පවත්වාගෙන යන්නේ මේ ආකාරයේ සහයෝගිතාවෙනි. එම නිසා යානා අයිති සමාගම් මෙන්ම යානා මෙහෙයවන සමාගම් යන දෙකම එක්ව ආදායමක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. මේ තත්ත්වය අද ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනය කරා යාමට සඳහා උපකාරී කර ගෙන තිබෙන්නකි. එය මහා පුදුමයක් හෝ අප රටට පමණක් ආ‍වේණිකව ඇති ක්‍රමවේදයක් හෝ නොවේ.

මේ ක්‍රමවේදය පෞද්ගලික අංශයේ සිදුවන විට කිසිවකු ඒ ගැන කතා නොකළත් රජය මුල් වී ඒ සම්බන්ධව කටයුතු කරන විට එක් පාර්ශ්වයක් ඒ සම්බන්ධව දැඩි විවේචන එල්ල කිරී‍ම අප ‍රටේ සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්ව ඇත.

එම විවේචන එල්ල කිරීම ජනතාව නමින් සිදු කරන්නේ දේශපාලන පක්ෂ විසිනි. එ‍ම අවස්ථාවන්හිදී තම දේශපාලන න්‍යාය පත්‍රයන්ද එම හඬට ඈදා ගැනීම අප රටේ දේශපාලන ක්‍රමවේදයයි. මේ තත්ත්වය අප විසින් අවබෝධ කර ගත යුතු වේ.

99 අවුරුදු බදු ක්‍රමය යටතේ රට සංවර්ධනය කරනවාද එසේත් නැත්නම් අධික ණය බරත් සමඟ රට ඉදිරියට යනවාද යන්න ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.