අපේම නොසැලකිල්ල නිසා අපට පුතා නැති වුණා | සිළුමිණ

අපේම නොසැලකිල්ල නිසා අපට පුතා නැති වුණා

වාහන මහ මඟ නතර කර යද්දී අනිවාර්යෙන්ම දොර අගුළු දමා වසා යා යුතුයි. මෙවැනි සුළු අතපසුවීම් විශාල අනතුරුවලට හේතු වෙනවා

දෙමවුපියන් හැමවිටම දරුවන්ට ඇස ගසාගෙන සිටිය යුතුය. මන්දයත් දරුවන්ගෙන් මොහොතකට හෝ ඇස් ඉවතට ගත් විට අද කාලයේ ඔවුන් අනාරක්ෂිත වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. මේ කියන්නට යන්නේද වැඩිහිටියන්ගේ ඇස් මානයෙන් මොහොතකට ඉවත ගිය පාසල් දරුවකු රුදුරු මරුවා ඩැහැගත් ඛෙදවාචකයක් පිළිබඳය.

ඉකුත්දා අක්කරපත්තුව ගම්මානය හඬවමින් ලාෆිර් ඉන්ෂාන් දරුවා අවසන් ගමන් ගියේ මේ මිහිපිට සියලු දෙමවුපිය වැඩිහිටියන්ට පණිවිඩයක් ද ඉතිරිකරමිනි.

ඉන්ෂාන් හුරුබුහුටි කොලු පැටියෙකි. ඔහු බොහෝ විට මහ මඟ යන වාහනවලට ආශා කළේය. ඔහු නිතර අසල කඩයට ගියේ ද ඔහුට තම දෙමවුපියන් රැගෙන දී තිබූ පුංචි පාපැදියේ නැගීය. මේ සිදුවීමවූ දාද ඉන්ෂාන් නිවෙස අසල කඩයට ගියේ එම පාපැදියෙනි. නමුදු යන ගමන අතරමඟ නතර කර දමා පාරේ නවතා තිබූ මෝටර් රථයකට ඔහු නැඟුණේ ඇයිද යන්න දන්නේ ද ඉන් පසුව සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳ සෑබෑව දන්නේ ද ඉන්ෂාන්ම පමණි. ඒ සියල්ල හරිහැටි දැන ගැනීමට අද දරුවා ජීවතුන් අතර නැත. ඔහු මෝටර් රථය තුළම මියගොස් සිටියේ අවාසනාවන්ත ලෙසය.

“මගේ පුතා හරිම ආසයි කාර්වලට. ඒ නිසාම වෙන්නැති පුතා පාරේ නතර කරලා තිබුණ කාර් එකට නඟින්න ඇත්තේ. පුතා දන්නේ නැහැනේ ඊට පස්සේ මොනවා වේවිද කියලා . අපි දරුවා හැමතැනම හෙව්වා. එයා එයාගේ පුංචි සයිකලේ නැඟලා කඩේට යන්න ගියේ. මට දරුවෝ දෙන්නයි ඉන්නේ. බාල දරුවා තමයි නැති වුණේ . දරුවාගෙ මරණය ගැන මට කිසිම සැකයක් නැහැ. මොනවා වුණත් අපේම නොසැලකිල්ල නිසා අපිට අපේ පුංචි පුතා නැති වුණා කියලායි මට හිතෙන්නේ. කොහොම කියලා හිත හදා ගන්න ද ? දහසක් බලාපොරොත්තු තියාගෙන හදපු පුංචි පුතා මැරුණ එක....” ඉකුත් දා අක්කරපත්තුව පල්ලිය පාරේ පදිංචිව සිටි ඔලුවිල් අල් ජායිෂා පාසලේ පළමු ‍ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සය හැවිරිදි මොහොමඩ් ලාෆිර් ඉන්ෂාන් දරුවාගේ අනපේක්ෂිත මරණය සම්බන්ධයෙන් ඔහුගේ පියා ලාෆීර් පවසන්නේ හැඬු කඳුළෙනි.

දරුවෝ හැම විටම අත්හදා බැලිම් කිරීමට මෙන්ම යම් යම් දේ ගැන සොයා බැලීමට කැමැත්තක් දක්වති. විශේෂයෙන්ම පිරිමි දරුවන් වඩ වඩාත් අත්හදා බැලීම් කිරීමට කැමැතිය. දඟකාර වයසේ සිටි ඉන්ෂාන් දරුවාද එවැනි අයෙකු වන්නට බැරිනැත. මෝටර් රථ කෙරෙහි තිබු ආශාව ඔහු මරණය කරා ගෙන යාවි යැයි මේ පුංචි සි‍තට කිසිවිට සිතෙන්නට නැතිව ඇති. කෙහොම වුවත් දැන් සියල්ල සිදූ වී හමාරය. අපේ රටේ මෙවැනි ඛේදවාචක අවම වුවද විදෙස් රටවල බොහෝ විට විටින් විට මෙවැනි සිදු වීම් මාධ්‍ය මඟින් වාර්තා වන්නේය. එනම් මවුපියන් වැඩිහිටියන් බැහැර ගිය විට මෝටර් රථයේ දොර වසා ගැනීමෙන් හෝ අගුළු වැටීමෙන් විපතට පත් වූ දරුවන්ගේ කතා එමටය. අපේ රටේ ද මෙවැනි සිදුවීම් කිහිපයක් මීට පෙර වාර්තා වී ඇත්තේය. ඇතැම් දරුවෝ මෝටර් රථ තුළ සිරවීමෙන් අනු නවයෙන් දිවි ගලවා ගෙන ඇත්තාහ. කෙසේ හෝ ඉන්ෂාන් දරුවාගේ මරණය සිදුවීමත් සමඟම මෝටර් රථ පිළීබඳ ප්‍රවීණයකු අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.

“දරුවන් අත්හදා බැලීම් කිරීමට කැමැතියි. මේ පුංචි දරුවා මෝටර් රථයට ගොඩ වුණාට පස්සේ එහි ඇතුළේ තිබූ යම් යම් බොත්තම් ඔබන්නට කරකවන්නට ඇති. එසේ වීමේ දී මෝටර් රථය අගුළු වැටෙන්නට ඇති. කොහොම වුණත් නිවෙසක මෝටර් රථයක් තියෙන දරුවෙක් නම් සාමාන්‍යයෙන් එය පරිහරණය කරන විදිහ දන්නවා. මේ දරුවාට මීට පෙර එවැනි අත්දැකීම් නැති වෙන්නට ඇති. කෙහොම වුණත් මේ දරුවා නැගුණේ මහමඟ නතරකර තිබූ රථයකට. හැම විටම වාහනයක හිමිකරු හෝ එහි රියැදුරු තම වාහන මහ මඟ නතර කර යන විට හැම විටම එහි‍ දොර අගුළු දමා වසා යෑම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. මෙය අනතුරු වළකා ගැනීමට මඟක්. ඒ වගේම එය වාහනයේ ආරක්ෂාවටත් හොඳයි. අපේ අතින් සිදුවන පුංචි අතපසුවීම් අපි නොසිතන විදිහේ අනතුරු කරා අප කැඳවාගෙන යනවා. ”

කෙහොම වුවත් පුංචි ඉන්ෂාන් දැන් අප අතර නැත. ඉකුත් දා මරණ පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණි. මේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය මතය මෙසේය.

“මේකට කියන්නේ Heat Stroke කියලා. ඒ කියන්නේ තාප ආඝාතය කියලා. වසා තිබූ කාරයකට වාතය ඇතුළු වීමට බැරි නිසා ඒ තුළ ඉන්න කෙනාගේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීමෙන් එය දරුවාට දරා ගන්නට බැරි වෙන්ට පුළුවන්. ඒ වගේම අප පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ්. නමුත් ඔක්සිජන් වායුව හිඟ තැන්වලදි ප්‍රාශ්වාසය සමඟ කාබන් මොනොක්සයිඩ් පිටවී යම් කාලයකදී එම මොනොක්සයිඩ් වායුව විෂ වීම සිදු වෙනවා. මේ විෂ වීමෙන් තමයි වාහනය ඇතුළේ සිර වූ කෙනෙකු මරණයට පත් වෙන්නේ. ”

මේ වන විට සියල්ල සිදුවී හමාරය. තවත් දින දෙක තුනක් යන විට මේ සියල්ල සමාජ කතාබහෙන් ඈත් වී යනු ඇත. නමුදු මෙවැනි අත් වැරදීම් නිසා ලෝකය නොදැකම මිය යන දරුවන්ගේ ජීවිත පිළිබඳ වග කියන්නේ කවුද? දරුවන් ලෝකය හඳුනන්නේ නැත. සිදු වන්නේ කුමක්දැයි දන්නේ නැත . එනිසා හැම විටම දෙමවුපිය වැඩිහිටියන් තම දරුවන් පිළිබඳ මීට වඩා අවධානය යොමු කළ යුතුය. දරුවන් යන එන තැන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සේම තම ඇස් මානයෙන් එපිට දරුවා කොතැනක සිටින්නේ ද යන්න පිළිබඳ වගකීමෙන් බැලිය යුතුය. එවිට දරුවන්ට සිදුවන අනතුරු අවම කර ගැනීමට පුළුවන්. දෙයක් සිදු වීමෙන් පසු ඒ පිළිබඳ හඩා වැලපීම හෝ අන් අය මත වරද පටවනවාට වඩා හැම විටම දරුවන්ට ඇස් ගසාගෙන සිටිම වටින්නේ එබැවිනි.

ඡායාරූප හා පසුබිම් තොරතුරු
අක්කරපත්තුව බටහිර තිනකරන් වාර්තාකරු
එස්. ටී. ජමල්ඩීන්

Comments