ආදර්ශයට ගතහැකි චරිත හිඟ වීම කාන්තාවන්ගේ ඉදිරි ගමනට බාධාවක්

SDB බැංකුවේ සභාපතිනි සාමදානී කිරිවන්දෙණිය

යහපත් සමාජ සංස්කෘතික හා ආර්ථීක පරිසරයක් ගොඩනැංවීමට නම් යහපත් වෘත්තීය හා සමාජයීය ජීවිතයක් ඇති පුරවැසියන් පිරිසක් බිහිවිය යුතුයි.

ව්‍යාපාර ලෝකය තුළ මෙන්ම සමස්තයක් ලෙස සමාජය තුළ කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි චරිත හිඟ වීම සහ, සාර්ථකත්වය ළඟා කරගත් කාන්තාවන් තම අත්දැකීම් බෙදාහදා ගැනීමට මැලිවීම, කාන්තාවන්ගේ ඉදිරි ගමනට බාධාවක් බව සණස සංවර්ධන බැංකුවේ සභාපතිනිය වන සාමදානී කිරිවන්දෙණිය මහත්මිය පසුගියදා පැවති සංවාදයකදී පැවසුවා ය. ඇය පෙන්වා දුන්නේ පෞද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිතය සමබරව පවත්වාගෙන යාමේදී කාන්තාවන් දුෂ්කරතා රාශියකට මුහුණ දෙන බවයි.

සාමදානී කිරිවන්දෙ‚ය මහත්මිය 2011 වසරේදී සණස සංවර්ධන බැංකුවේ සභාපතිනිය ලෙස පත්වූවා ය. සහභාගීත්ව සංවර්ධනය, ස්ත්‍රීපුරුෂ භූමිකාවන්, ක්ෂුද්‍ර මූල්‍ය සේවා සහ ගැටුම් නිරාකරණය වැනි ක්ෂේත්‍ර වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව අත්දැකීම් ලබා ඇති ඇය 2013 වසරේදී Echelon සඟරාව විසින් ශ්‍රී ලංකාවේ බලවත්ම කාන්තාවන් 50 දෙනා අතරට නම්කරන ලදි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යා ප්‍රථම උපාධිය ලැබූ කිරිවන්දෙණිය මහත්මිය කැනඩාවේ Saskatchewan විශ්ව විද්‍යාලයෙන් එම විෂය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

ව්‍යාපාරික ලෝකය තවමත් පිරිමින්ට වඩාත් නැඹුරු ස්ථානයක් ලෙස පවතින බව පෙන්වා දුන් කිරිවන්දෙණිය මහත්මිය කියා සිටියේ කාන්තාවන්ටද පහසුවෙන් අනුගත වීමට හැකි සාංගමික සංස්කෘතියක් නිර්මාණය කිරීම වැදගත් වන බවයි. එමෙන්ම පෞද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිතය අතර සංහිඳියාව පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහත්මිය නිරෝගී ජීවන රටාවකට අනුගත වීමේ වැදගත්කමද පෙන්වා දුන්නා ය. අද දවසේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවන්ට හුරු වෙලා. ඒ වගේම ඔවුන් කුඩා අවකාශ තුළ සිරවී, ආතතියෙන් පිරි වාතාවරණයන් යටතේ වැඩ කරමින් සිටිනවා. මෙය ඉතාමත් අහිතකර ප්‍රවණතාවක්. වඩාත් යහපත් සමාජ, සංස්කෘතික හා ආර්ථීක පරිසරයක් ගොඩනැංවීමට නම් යහපත් වෘත්තීය හා සමාජයීය ජීවිතයක් ඇති පුරවැසියන් පිරිසක් බිහිවිය යුතුයි. කිරිවන්දෙණිය මහත්මිය පැවසුවා ය.

මෙවැනි වෙනසක් ඇතිකිරීම සඳහා පියවර තැබීමේදී ජනතාව තම ජීවිතය හා වෘත්තිය තුළ තමන්ට අවශ්‍ය කුමක්ද යන්න මුලින්ම වටහාගත යුතු වේ. සාර්ථකත්වය යන්න තමන් අර්ථ දක්වන ආකාරය හඳුනාගෙන, එම සාර්ථකත්වය හඹා යාම සඳහා නිවැරදි මාවත තෝරාගැනීම කාගේත් ජීවිත සුඛිත මුදිත වීමට හේතුවකි. අතීතයට සාපේක්ෂව අද තිබෙන ප්‍රධාන ගැටලූවක් ලෙස, සමාජ මාධ්‍ය වැනි දේවල් ඔස්සේ අනුන්ගේ මතයට අනුව ජීවත් වීමට සිදුවීම පෙන්වා දෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස මා කුඩා කාලයේදී මට මගේ පෙනුම ගැන අදහසක් තිබුණත්, ඒ ගැන අන් අය දරන මතය සම්බන්ධයෙන් කරදර වීමට අවශ්‍ය වුණේ නැහැ. ඒත් අද දවසේ සමාජ මාධ්‍ය වැනි දේවල් නිසා මේ තත්ත්වය වෙනස් වෙලා. ලැබෙන “ලයික්ස්“ ප්‍රමාණය අනුව තමන්ගේ සාර්ථකත්වය මැනීමට තරම් සමහරු මීට ඇබ්බැහි වී තිඛෙන බව රහසක් නොවෙයි. මෙය මිනිසුන්ගේ නිදහස සීමා වීමට හේතුවක් වී ඇති බව මම දකිනවා. කිරිවන්දෙණිය මහත්මිය පෙන්වා දුන්නා ය.

කෙසේ වෙතත් තමන් අවුරුදු විස්සකට පමණ පෙර සිදුකරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල සමඟ අද තත්ත්වය සංසන්දනය කරන විට යම් යම් සතුටුදායක ප්‍රවණතා නිරීක්ෂණය වන බව කිරිවන්දෙ‚ය මහත්මියගේ අදහස වේ.

මේ වනවිට කාන්තාවන් වැඩි වැඩියෙන් සමාගම් හා ආයතනවල ඉහළ තනතුරු දරනවා. ඒ වගේම සමාජයේ විවිධ සංවිධාන මෙහෙයවීම සිදුකරනවා. ඔවුන් සමස්තයක් ලෙස සමාජයේ කැපීපෙනෙන චරිත බවට පත්වී සිටිනවා. මා සිතන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය වන දේශපාලන තලය තුළත් වැඩි කාන්තා නියෝජනයක් අවශ්‍යයි. එය අපට වඩාත් පුළුල් දියුණුවක් වෙත දොරටු විවර කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. සාමදානී කිරිවන්දෙණිය මහත්මිය පැවසුවා ය.

කාන්තාවන්ට සිය වෘත්තීය හා සමාජයීය දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා දරුවන් රැකබලාගැනීමේ සේවාවන්, දරුවන් ලොකුමහත් කිරීමේදී ආධාර සහ මාතෘ නිවාඩු වැනි පහසුකම්ද තිබීම ඉතාමත් වැදගත් ය. මෙවැනි ව්‍යුහයක් නොමැති නම් ඉහළ තනතුරු දරන කාන්තාවන්ට පවා පූර්ණ දායකත්වයක් රටට ආයතනයට ලබාදීම දුෂ්කර වේ. එම නිසා සමස්තයක් ලෙස එවැනි සම්ප්‍රදායන් හා ක්‍රමවේද නිර්මාණය වීම අත්‍යවශ්‍ය ය.

කෙසේ වුවත් පසුගිය දශකයක කාලය තුළ කාන්තාවන්ට වෘත්තීය තලය සහ සමාජයීය තලය තුළ ඇති ඉඩකඩ පුළුල් වෙමින් පවතිනවා. එය ඉතාමත් සුභවාදී දෙයක්. අනාගතයේදී මෙම කාන්තාවන්ගේ දක්ෂතා ඇගයීමට පදනම් සකස් කිරීම, වැඩි වැඩියෙන් ආදර්ශමත් චරිත සම්බන්ධයෙන් සංවාද නිර්මාණය කරගැනීම සහ එම ආදර්ශ තුළින් කාටත් ප්‍රයෝගිකව භාවිතා කළ හැකි මාවත් සොයාගැනීම වැනි ක්‍රම ඔස්සේ කාන්තාවන් වෙනුවෙන් මෙන්ම සමස්තයක් ලෙස සියලූම දෙනා වෙනුවෙන් වඩාත් යහපත් හෙට දවසක් ගොඩනැංවීමට අපට හැකියාව ලැබේවි. යැයි කිරිවන්දෙණිය මහත්මිය අවසන් වශයෙන් පැවසුවා ය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.