ඔබට ඕන ලස්සන වෙන්නද? | සිළුමිණ

ඔබට ඕන ලස්සන වෙන්නද?

ලස්සන කියන්නේ නීරෝගී දිවියක පැවැත්මයි. කෙනෙක් ලස්සනට සිටිමට උත්සහ ගනිද්දී ඔහුගේ දිවිය නීරෝගීවේ. පියකරු නීරෝගී සමක් ලස්සන වෙන්න හිතන කාගේත් බලාපොරොත්තුවක්. උපතින් හිමි වූ නිරෝගී සම බොහෝ දෙනෙක් රෝගී කරගන්නේ ලස්සන වෙන්න ගිහිල්ලා. ඊට අපගේ හැසිරීම්, ක්‍රියාකාකම් හා සමෙහි ආලේප කරනු ලබන ආලේපනයන්ද හේතුවේ. සම ආරක්ෂා කර ගැනීම සඳහා උපතින් උරුම වූ සමෙහි ස්වභාවය විනාශ කර නොගෙන පවත්වා ගත යුතුයි.

දැනට පවත්නා සම පැහැපත් පියකරු කරගැනීම සඳහා ස්වභාව ධර්මයේ පිහිට පැතීම යෝග්‍යය. එසඳහා අමු හෝ වියළිකහ ගලගා සිරුරේ තැවැරීම යෝග්‍ය වේ.ඉන් සමෙහි ඇති විශරසායන ඉවත්වී යයි. ස්වභාව ධර්මය ඉක්මවා යන දේ කිරීම සමෙහි පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියන්ද හානියට පමුණුවයි. ඝර්ම කලාපීය රටක වෙසෙන අපි දහදිය වැළැක්වීමට හා සමෙහි තෙල් ගතිය පෙන්වීමට හෝ වියළි සමෙහි ජලය පිටවීම වැළැක්වීමට හෝ අපි සම මතුපිට හෝ මුහුණෙහි වැස්ලින් ආලේප කිරිමට හුරු වී සිටිමු. ඉන් ශරීරයේ උෂ්ණත්ව පාලනයට හා සමේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. විශේෂයෙන් රාත්‍රි කාලයේ ආලේපන භාවිතයෙන් තොර වීම, මුහුණ හා සම පිරිසිදුව තබා ගැනීම සමේ පැහැපත් භාවයට හා ලප කැළැල් මැකීයාමට අත්‍යාවශ්‍යවේ. ඒ සඳහා සම පිරිසුදු කොට මද උණුසුමින් යුත් වාශ්පය ස්වල්පයක් අල්ලා ගැනීමෙන් මුහුණට නැවුම් ගතියක් හා මුහුණෙහි සමට රුධිරය නිසි ලෙස සැපැයීමෙන් සම වර්ණවත් වීම හා සමෙහි ඇති ලප කැළැල් සිදුරු වැසීගොස් සම පියකරුවේ.

සමෙහි පවත්නා තෙල් ගතිය පවතින්නේ යෞවන හා තරුණ අවධියේ පමණි. මැදිවිය ඉක්මයාමට පෙර සමෙහි තෙල්ගතිය ඉවත් වී වයසට යෑම ඉක්මන්වීම තරුණවියේදී සමෙහි ඇති තෙල් ස්වභාවය ඉවත් කරගැනීමට යම් යම් පිළියම් යෙදීමෙන් සිදුවේ. සමෙහි ඇති ස්වභාවික තෙල් ගතිය ඇති කරවනු ලබන ග්‍රන්ථි හානියට පත්වීමෙන් විය පත් වීමට පෙර සම වියලී රැළි වැටීම සිදුවේ. එබැවින් තරුණ වියේදී සමෙහි තෙල් ඉවත් වනසේ පිළියම් යෙදීමට ඉක්මන් විය යුතු නැත. ඒ සඳහා ඖෂධීය කොළ තම්බා සිරුරට (මුහුණට) වාශ්ප ඇල්විම ඉතා යොග්‍යය. ඒ සඳහා පහසුවෙන් සොයාගත හැකි පාවට්ටා කොළ හොඳ ඖෂධයකි. සමෙහි තෙල් අධිකනම් සම සේදීම කළ හැකීය. එහිදී ඕනෑම සමකට උචිත සේදුම් කාරක වන නුග,බෝ, අට්ටික්කා, ගංසූරිය කොළපොතු තම්බා සම සේදිම කළ හැක. මේ ද්‍රව්‍යන්ගෙන් සම සේදීමෙන් හොරි, දද, කුෂ්ට, හා වන සුවවේ. සම පැහැපත්වේ.

ඔබේ සමෙහි කුරුළෑ ඇත්නම් ඒවා ඉවත් කර ගැනීම සඳහා දිය නෑමට විනාඩි විස්සකට පෙර “හරන්කහඅල“ ඇල්දියෙන් අඹරා මුහුණ බෙල්ල පිට අත් ආදී ස්ථානවල ආලේප කොට දිය නා පිරිසිදු විය යුතුයි. ඔබ ස්නානයේ දී මෘදු සබන් වර්ගයක් භාවිතය වැදගත්ය. කිසිලෙසකින් හෝ විෂබීජ නාශක සබන් සම පිරිසිදු කිරිමට භාවිත කිරීම යෝග්‍ය නොවේ. සම මතුපිට ඇති ස්වභාවික බැක්ටීරියා විනාශනොවී පැවැතීම සමේ ගුණාත්මක භාවයට හා පැහැපත් බවට හේතුවේ. හොඳ සමක් සඳහා අප ගන්නා ආහාර වේල පෝෂදායී විය යුතුය. ඒකාකාරී ආහර වේලකින් මිදී සමේ ජෛව රසායන ක්‍රියාකාරීත්වය මනා ලෙස ඉටුවනසේ පලාවර්ග සහිත ආහාරයක් ගත යුතුවේ. සමට පෝෂණය දෙන කොළ වර්ග අතර ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න ප්‍රධානය.

ඔබට ලස්සන සමක් ඔනෑ නම් ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා ගත යුතුවේ. ඒ සඳහා ජලය ම පානය කළ යුතු නැත. පළතුරුබීම (ස්වභාවික), සුප්, කැඳවර්ග, හොදි සහිත ව්‍යංජන ආහාරයට එක්කර ගතයුතු වේ. සමේ පැහැය ගැන සිතන ඔබ පොකුරු වද මලක් උණුවතුරට දමා එය තැම්බුණුපසු ඉවත් කර දෙහි ඇඹුල් බින්දුවක් දමා පානය කරන්න. ඔබට පියකරු සමක් ලැබේ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරුව - සුදම් ගුණසිංහ

Comments