ඔබේ පැනයට අපෙන් පිළිතුරු | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

අමා

වළස්මුල්ලේ විනෝදනී

ප්‍රශ්නය:-

මම පෞද්ගලික ඇඟළුම් කම්හලක සේවය කරනවා. අවුරුදු 04 ක ඉඳන් මගේ ආයතනයේම වැඩ කරන පිරිමි ළමයෙකු සමඟ එකට ජීවත් වෙනවා. මේ සම්බන්ධය නිසා මට අවුරුදු 03ක විතර පිරිමි දරුවෙකුත් ඉන්නවා. මගේ සහකරුවා විවාහ වුණු කෙනෙක්. ඔහුට ඒ විවාහයෙන් දරුවෙක් ඉන්නවාලු. බිරිඳ මැදපෙරදිග රැකියාවකට ගිහින්. මෑතකදි ලංකාවට ආවිට ඇය ඔහුව මුණගැහෙන්න ඇවිත්. ඔවුන් දෙදෙනා දෙතුන් සැරයක්ම කැලණිය පැත්තේ අවන්හලකදි මුණ ගැහිලා තියෙනවා. කතරගම ගිහිල්ලත් ඇය සමඟ දින දෙක තුනක් ඉඳලා තියෙනවා. ඔය අතර මගේ දරුවා නතර කර එන ගෙදර ආසන්නයේ සැමියා විදේශගතවූ බිරිඳක් සිටින ගෙදරකට මගේ පෙම්වතා යන බව මට ආරංචි වුණා. මම ඒ නිසා කාලයක්ම මේ ගැන හොයලා බලලා ඔහුගේ මේ සම්බන්ධය අතටම අල්ලා ගත්තා. මම ඇහුවා ඇය වෙත මෙලෙස යන්නට හේතුව කුමක්ද කියා. ඔහු නිතර මට කිව්වේ මම අධික ලෙස කෘෂ නිසාත්, මගේ හම ගොරෝසු නිසාත් මගෙන් සතුටක් නොලැබෙන බවයි. මම ඇඟළුම් කම්හලක දුකසේ උපයන සියලුම මුදල් ඔහුට තිළිණ කරනවා. ඔහු නිතරම රැකියාවට නොගොස් නිවාඩු දමනවා. මම දරුවාගේත් මගේත් වැඩ කරගන්නේ ඉතා අපහසුවෙන්. මා කළ යුත්තේ කුමක්ද? මගේ පවුලේ අයත් මට ගෙදරට එන්න දෙන්නේ නැහැ. මම ඉතා අසරණ තත්වයක ඉන්නේ. මමත් කතරගම ගිහින් බාර වෙන්නද? මට මේ අවස්ථාවේ සල්ලිත් නැහැ. මම කරන්න ඕන මොකක්ද?

පිළිතුර:-

නම විනෝදනී වුවත් ඔබ ඉතාම දුකින් ඉන්න බව පේනවා. ඔබේ දීර්ඝ ලිපියේ එක් පැනයකට නම් මම කඩිනම් පිළිතුරක් දෙන්න කැමතියි. කතරගම දෙවියන්ට දුක කියන්නට යෑම තේරුමක් ඇති දෙයක් ලෙස මම හිතන්නෙ නැහැ. කතරගම දෙවියන්ටත් දේවින් වහන්සේලා දෙදෙනෙක් හිටියා. වල්ලි අම්මා සහ තේවානි අම්මා නමින්. අදටත් ඒ පෙරහැර පහන් නිවා, බෙර සද්ද නොකර යන බව ඔබ දන්නවා නේද? ඕනෑම පිරිමියෙකු අනියම් බිරිඳ මුණ ගැහෙන්න යන විදිහට තමයි මේ සියල්ල සංවිධානය වෙන්නෙ. තමන්ගේ දුප්පත් ජීවිතෙන් මිදෙන්න හිතාගෙන ඈත ගොවි ගම්මානවලින් එන ගැහැනු දරුවන් නිතර මේ වගේ අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ලක් වෙනවා. මගේ අදහස නම් ඔබ වහාම ඔබේ චපල ලිංගික සහකරුගෙන් වහාම ඈත් විය යුතු බවයි. ඔබට අයත් ඔබගේ සිරුර ආදරයක් නැති සල්ලාල මිනිසකුට දන් දෙන්නට හදන්නේ ඇයි? මේ වන විටත් ඔබත් දැනුවත්ව ඔහු කාන්තාවන් තිදෙනෙකු රවටනවා. තව කී දෙනෙක් ඔහුගේ ව්‍යාජ ප්‍රේම දැලේ පැටලී ඇත්දැයි දන්නේ කොහොමද? ඒ නිසා වහාම ඔහුගෙන් ඈත් වන්න. ඔබට රැකියාවක් තියෙන නිසා දැන් ඔබේ දරුවා හදාගන්න පුළුවන්. ඔබ නීත්‍යානුකූල විවාහයක බැඳිලත් නැහැ. ඒ වගේම තවත් ක්‍රමයක් නම් ඔහුට දික්කසාද වී ඔබව විවාහ කරගන්නට කියන්න. වඩාත්ම සුදුසු වන්නේ ඉවත්වීමයි. ඔහු යන යන තැන නිදහස් මල් වලින් පැණි උරන්නට සිතන සළෙල විහ‍ඟෙක් බවයි පෙනෙන්නේ. ඒ අතර දරුවා වෙනුවෙන් නඩත්තු නඩුවක් දමන්නටත් ඔබට පුළුවන්. දරුවාගේ පීතෘ භාවය පිළිගන්නා නිසා එය පහසුවෙන් කරන්නට පුළුවන්. නොපෙනෙන දෙවිවරුන් පසුපස යනවාට වඩා එය ඵලදායී බව මගේ විශ්වාසයයි.

ඔබ වැනි අයට පිහිට වීමට තමයි කාන්තා පිහිට වැනි ආයතන තියෙන්නෙ. ඒ වගේ තැනකදි ඔබට පුළුවන් මුදලක් නැතිවම ඔබ වෙනුවෙන් කතා කරන්නට නීතිඥයකු හොයා ගන්න. නැත්තං මේ සමාජයේ සියලුම දේ නිර්මාණය වෙලා තියෙන්නේ බලය තියන‍ කෙනාට ආ වඩන්නයි. අහිංසක සහ අසරණ ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින්නට කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ නොදන්නා පිරිමින්ගෙන් උදව් ගන්නට එපා.

ඔබට ගරහන අය, ඔබට අවලාද නගන අය ඔබට පාවඩ දාන දවසක් ඒවි. ඒ දවස වනතුරු බලාගෙන ඉඳිමු. ඔබේ දරුවාට හොඳට උගන්වන්න. ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙකු මුණ ගැහුණොත් විවාහ වන්න. විවාහ වනතුරු ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන්න එපා. එවිට එක එක අය ඔබව පාවිච්චි කර අතහැර දමන්න උත්සහ කරයි. ඔබ එසේ විය යුතු කෙනෙක් නොවෙයි. ඒ නිසා දිරියෙන් සහ අවබෝධයෙන් හෙට දවසට මුහුණ දෙන්න.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.