ඔයා ගන්න තීන්දුවලට මං ගෞරව කරනවා | සිළුමිණ

ඔයා ගන්න තීන්දුවලට මං ගෞරව කරනවා

රෝජා සඳපාණි ‍ප්‍රියදෝණිගේ දෙළුම් ගසෙන් ගෙඩි කඩා ගෙනැවිත් ඇතුවා වැනිය. ජීවිත ඉතිහාසයේ සොඳුරු සිතුවම්, මිමිනුම්, සැලකුම්, යළි යළිත් දෙනෙත් හමුවේ කරන සංචලනයට මුහුණ දීම පහසු නැත. එය දෙනෙත සියුම්ව තෙත් කරන්නකි. ‍‍‍

උදෑසන අහර කිස නිම කළ නරේන්ද්‍ර සුපුරුදු ලෙස රුක්නාද් කැඳවා ගෙන ගියේ පුස්තකාල කුටියට ය.

කැපවීමේ ධර්මතාව මත ලෝකයේ ඉදිරිගමන සිදුවේයැයි ඉන්දියානු දේශපාලන දාර්ශනිකයෙකු වූ මහත්මා ගාන්ධි පැවසූ වදන් රුක්නාද් සම්බන්ධයෙන් නම් පරිපූර්ණ සත්‍යතාවක් ඇතැයි උපන් සිතුවිල්ල නරේන්ද්‍ර සිත දුකද සතුටද හඳුනා ගත නොහැකි හැඟීමෙන් කම්පාවට පත් වෙමින් තිබිණි.

මේ තරුණ දෙමළ මන්ත්‍රිවරයාගේ උත්සාහය කුමන දේශපාලන අභිමතාර්ථයක් ඉටුකර ගැනීමටදැයි ප්‍රශ්න කිරීම හෝ සැක සංකා ඇති කර ගැනීම අනවශ්‍යය. ඔහු මිනිස්කම හඹා යන්නෙකි. පූර්ණ මානව නිදහස සොයා යන්නෙකි. මිනිසෙකුට අවශ්‍ය නිදහස මානුෂීය වන තරමට, නිදහස අර්ථවත් වන්නේ යැයි ඔහු දරන මතය, කාල්පනික සමාජ ප්‍රවණතාවක සුගතියක් නොව ප්‍රායෝගික සමාජ සංරක්ෂණයක සජීවි පැතිකඩක් වීම පිළිබඳව දේශපාලන සජීවී පැතිකඩක් වීම පිළිබඳව දේශපාලන විචාරයන් කුමන අයුරකින් අවදිවේදැයි නරේන්ද්‍ර සිතන්නට විය.

රුක්නාද් අරුණාචලම් මනුෂ්‍යාත්මභාවයේ අග්‍රඵලය ලෙස සමානාත්මතාවය හඳුන්වා දෙන්නෙකි. එය සමාජගත කිරීමට හුදකලා උත්සාහයක යෙදෙන්නෙකි. සියලු දෙමළ දේශපාලනඥයින් තරුණ මහලු භේදයකින් තොරව බලය උදුරා ගැනීමේ ලෝක ව්‍යාප්ත සටනක යෙදී සිටිද්දී තරුණ රුක්නාද් මානව නිදහස වෙනුවෙන් පෙනී සිටීම කොතරම් දුරට සාර්ථක වේදැයි කෙසේ කිව හැකිද?

රුක්නාද් නිහඬය බලා සිටියේ බරැති කල්පනාවක නිමග්නව සිටිනා නරේන්ද්‍ර මන්ත්‍රිවරයා කවර මොහොතක මුනිවත බිඳිමින් මුව දොරගුළු විවර කරන්නේ දැයි නො ඉවසිල්ලෙනි. නමුදු නරේන්ද්‍ර තවමත් රුක්නාද්ගේ ප්‍රාර්ථනා ගැන සිතුවිල්ලේය.

බුදු දහමින් පෝෂණය වූ සංස්කෘතික හර පද්ධතීන් හි හිමිකරුවන්ව සිටින සිංහල බෞද්ධ ජනතාව සමඟ උදාර මිනිස් ගුණයක් වූ සමානාත්මතාවය සහජීවනය පරානුකම්පාව බෙදා ගැනීම අපහසු නොවන බව රුක්නාද් ගේ අදහසයි.

මෙතෙක් ලොව පහළ වූ ශාස්තෘන් අතරින් ඔහු වඩාත් ගරු කරන්නේත්, ප්‍රායෝගිකව මිනිසා සදාචාරසම්පන්න කිරීමේ විස්මිත බලයක් ඇත්තේත් බුදු දහමට යැයි රුක්නාද් පවසන්න නොසලකා හැරිය නොහැකි ප්‍රතික්ෂේප කළ නොහැකි මහා සත්‍යයකි.

බුදු දහම, මිනිස් සිත කය වචනය තරව වෙලා ගත් තෘෂ්ණා රැහැන් සිඳ බිඳ නිවී පහන්වන චිත්ත සංකල්පය ඇති කරමින්ම, මිනිසාගේ භෞතික දියුණුව කෙරෙහි ද නුවණැස යොමු කිරීම තුළ මානව සංහිඳියාව උද්දීපනය වන බව විශ්වාස කරයි.

මවුපියන් නිසා හින්දු භක්තිකයෙකු ලෙස උපත ලබා සිටිය ද රුක්නාද් මෙරට ශිෂ්ටාචාරයේ සහ පැවැත්මේ පදනම බුදු දහම බව විශ්වාස කරන්නෙකි.

රුක්නාද් අරුණාචලම් ඉතිහාසයේ පහන් තරුවක් සේ බැබළෙන්නට උත්සාහ කරන දේශපාලනඥයෙක් නොවේ. දුකින් පිරුණු ජීවිත පැවැත්ම ඔහුට අණ කර සිටින්නේ “මිනිසෙකු” වීමට හා “මිනිසාගේ සැබෑ නිදහස” අර්ථවත් කරන්නට විය හැක.

ඔහුට උපකාර කිරීම මිනිසෙකු වශයෙන් තමාගේ ද යුතුකම යැයි නරේන්ද්‍ර සිතුවේ රුක්නාද් පිළිබඳව දලු ලමින් වැඩෙන දයාර්ද්‍ර කාරුණික සිතුවිලි සිත ඇතිවය.

“රුක්නාද්”

නරේන්ද්‍ර මෙතෙක් පැවති මුනිවත බිඳ හෙළීම තරුණ මන්ත්‍රිවරයා තිගැස්මකට නතු කරන්නක් ද විය.

“නේෂන් දොස්තර මහත්තයා මට ඔයා ගැන හුඟක් විස්තර කිව්වා. මනුෂ්‍යයෙක් විදිහට ඔයා ගන්න තීරණ තීන්දුවලට මං ගෞරව කරනවා. ස්තුති කරනවා. නමුත් රුක්නාද් ඔයාගෙ ගමන ලේසි නැහැ.”

“දන්නවා සර්. මට ඕන සිංහල දෙමළ මුස්ලිම් හැමදෙන‍ාගෙම උදව්. මට දේශපාලන පක්ෂයක් නැහැ. පාටක් නැහැ. මං කිසිම දේශපාලන සංවිධානයක සාමාජිකයෙක් නෙමේ. මං නිදහස් මනුෂ්‍යයෙක්. ස්වාධීන මන්ත්‍රි කෙනෙක්..”

“ඔය සේරම තොරතුරු මං දන්නවා රුක්නාද්. නැවත නැවත කියන්න ඕනෙ නැහැ. මං දන්න හැටියට උපතින් නෙමේ අවබෝධයෙන් ගවේෂණයෙන් බෞද්ධයෙක් වෙන මිනිහෙකුට හැබෑ මනුෂ්‍යයෙක් වෙන එක අපහසු කාරණයක් නෙමේ. ඉස්සර මගෙ යාළුවෙක් හිටියා එයත් ඔයා වගේ ම සාමූහික ජනාවාස ගැන ලොකු විශ්වාසයකින් කතා කළා. ඔයාට ඔය කියන සාමූහික ජනාවාස “ජනතා ජනපද” වුණාට එයාට මිනිස් ජනපද වුණා.”

“සර්ගෙ යාළුවා කවුද කියලා මං දන්නවා.”

රුක්නාද් කීවේ මඳ ශෝකී හඬකිනි. නරේන්ද්‍ර හිස සැළුවේය.

“බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා ලෝකය පවතින්නෙ දුක මත කියලා. ඒක ඇත්ත. සතුට මේ තිබුණා, මේ නැති වුණා. දුක අපිට ජීවිතය ගැන කියලා දෙනවා. අපේක්ෂා භංගත්වය, බලාපොරොත්තු කඩවීම්, විශ්වාසය බිඳ වැටීම්, දරා ගන්න අපහසුයි. ඇස් දෙකට කඳුළු ගේනවා. හදවතට සුසුම් ‍ගේනවා. ඒත් මිනිස්සු ජීවත් වෙන්න ඕන. තමාගේ දුකට සංවේදී වෙන මිනිහා අනුන්ගෙ දුකට වඩාත් සංවේදී වෙනවා...”

“රුක්නාද් වගේ?”

“වෙන්න පුළුවන්.”

“ඇයි රුක්නාද් මහණ වෙන්නෙ නැත්තෙ?”

නරේන්ද්‍ර ඇසුවේ හිනැහෙමිනි.

“හොඳට බුදු බණ දන්නවා. අර්ථවත් විදිහට මිනිස්සුන්ට දැනෙන විදිහට කතා කරන්න දන්නවා. මහණ වුණා නම් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බණ කියන්න දක්ෂ සුමධුර ධර්ම දේශකයෙක් වෙයි.”

නරේන්ද්‍ර‍ගේ සිනාමුසු අගැයුමකට සවන් දෙමින් ම‍නෝහාරි පුස්තකාල කුටියට ආවාය. ඇය අත රතුවන් පැහැයෙන් දිදුලන දෙළුම් ඇට සහිත සුදු දීසියක් විය. නරේන්ද්‍ර එ දෙස බැලුවේ අඩ බැල්මකිනි.

“මනෝ අපිට දෙළුම් ගෙනත්”

අනතුරුව ඔහු කීවේ මෙතෙක් පැවැති කතා බහේ ගැඹුර අවම කරන්නට මෙන් සැහැල්ලුවෙනි.

“නෑ මං නෙමේ ගෙනාවෙ.”

“එහෙනම්?”

“රෝජා. ශල්‍යකර්ම කරපු හදවත් ඇත්තන්ට දෙළුම් හොඳයි කියලා එදා පොල්ගෙඩි තරම් ලොකු දෙළුම් ගෙනත්.”

නරේන්ද්‍ර තිගැස්සුණේය. ප්‍රියදෝණි මහමායා රෝජා සඳපාණි සමඟ නැවත මේ මොහොතේත් තමා ඉදිරියට පැමිණ සිටින්නීය. මනෝහාරි තමා ඉදිරිපිට මේසය මත තැබූ දෙළුම් ඇට බඳුන ඔහු රුක්නාද් වෙතට දෑඟිලි තුඩකින් තල්ලු කළේය.

“මනෝ තව දීසියක් ගේන්න. හැන්දකුත් ඕන.”

එසේ කී නරේන්ද්‍ර පුටුවෙන් නැගිට කුටියේ ජනෙල් පියනක් විවෘත කිරීමේ ව්‍යාජයෙන් රුක්නාද්ගෙන් මුහුණ සඟවා ගත්තේය.

ප්‍රියදෝණි නිවෙසේ දෙළුම් ගස පළමුවරට මල් දැරූ සමය හා බැඳුණ සොඳුරු සිහිනයක මතකය ඔහු සිතට පිවිසුණේ ආශ්වාද ජනක මිහිරි ශෝක සිතුවිල්ලකට මුසුවය.

“නරේන්”

සාහසික ලෙස ගෙවී ගොස් ඇති අතීතයේ එක් රාත්‍රියක ඇය තමා හා දුරකථන සංවාදයක යෙදී සිටියදී හදිසියේ ම බැරෑරුම් ස්වරූපයක් හඬට එක් කර ගත්තෙන් ඔහු ද වඩා විමසිලිමත් විය.

“නරේන් මගෙ දෙළුම් ගහේ මල් පිපිලා. අද උදේ බලන කොට මල් තුන හතරක් බිම වැටිලා. ඇයි ඒ?”

“පණුවෙක් ඇති?”

“මොකද කරන්නෙ?”

“දෙළුම් යායක් නම් බෙහෙත් ගහන්න පුළුවන්. එක ගහක් නිසා මල්වල ඉන්න පණුවා අරන් දාන්න.”

“අනේ මං උස නැහැනෙ.”

“එහෙනම් උස යනකන් ගහ යටට වෙලා ඉන්න.”

“ඔන්න උපදෙසක් දුන්න හැටි.”

ඉන් දෙසතියකට පමණ පසු ඔහුට හදිසියේ ම ඇගේ දෙළුම් ගස මතකයට ආවේය.

“ප්‍රියදෝණි මොකද දෙළුම් මල්වලට වුණේ?” ඔහු ඇසුවේය.

“ඔයා කිව්ව විදිහට මං ගහ යටට වෙලා හිටියා. ගහ උස ගියා. මං මිටි වුණා.”

“මං අහන්නෙ ගහ ගැන නෙ‍ෙම් මල් ගැන.”

ඇය කීවේ මල් දෙකක සිටි පණුවන් දෙදෙනෙකු ඉවත් කර පැඟිරි තෙලින් පෙඟවූ පුළුන් කැබැල්ල ඒ මල් අසල සිහින් අත්තක රැඳ වූ බවයි. එම උපාය සාර්ථකව තිබිණි. මාස කීපයකට පසු ඇය ඔහුට දෙළුම් ගෙඩියක් පරිත්‍යාග කළාය.

“ඔයාට තියෙනවද?”

ඔහු ඇසුවේ නැත. පැසී ඉදුණු අනිත් ගෙඩිය ලේනෙකු කා දැමීමේ කතාවක් ඇය ඔහුට කීවේ ද නැත. ඔහු එය දැන ගත්තේ තවත් දෙතුන් දිනක් ඉක්ම ගිය පසුවය.

“මීට පස්සෙ ඔය වගේ මිනිස්සුන්ගෙ හිත් රිදෙන වැඩ කරන්න එපා.”

ඔහු කීවේ තරවටුවක හඬිනි. සැබවින් ම ඔහු, ඔහු පිළිබඳව ලජ්ජාවට පත් විය.

“නරේන් දෙළුම් හොඳ ඔයාට.”

“ඔව්. මැරෙන්න යන මිනිස්සුන්ටත් දෙළුම් යුෂ පොවනවා කියලා කතාවක් මං අහලා තියෙනවා. පහසුවෙන් අවසාන හුස්ම ටික හෙළන්න.”

“කිව්වොත් කියන්නෙ ඔහොම මූසල කතාවක්.”

ඇය තරහෙන් කීවාය. නරේන්ද්‍ර ඔහුගේ සුපුරුදු හඩ නැංවෙන සිනාව පෑවේ ඇය තවත් අඳුරු කරවමිනි.

“මූසලයා මූසල කතා නොකියා සීදේවි කතා කියන්නද?”.

ඇය ඔහුට පිළිතුරු දුන්නේ නැත. දුරකථනය විසන්ධි කළේ ඔහු‍ගේ කතාවට විරෝධය පාන්නටය. ඔහු නැවතත් ඇය සොයා ගත්තේය.

“මෝඩ ළමා මේ අහන්න ටිකක්. මට වෙලාවකට මං කෑවෙ බිව්වෙ මොනවද අමතක වෙනවා. ඇත්තටම මං කෑවද බිව්වද කියන එකත් මට අමතක වෙනවා. මේ වගෙ බාල වැඩ කරන්න එපා. දහ අටේ විස්සෙ කොල්ලෙක් නූනට මාත් ජීවිතය විඳින්න කැමතියි. දෙළුම් ගහේ මුල්ම ගෙඩිය? හිතන්න මං ඔයාගෙ කව්ද?”

“දෙළුම් ගෙඩියක් ගැන ඔච්චර හිතන්න එපා නරේන්. තව ගෙඩි හැදෙන්නෙ නැතෑ. ඒක අමතක කරලා දාන්න දරුවා. දෙළුම් ඔයාට ඖෂධීය පලතුරක්.”

ඇය තමාට “දරුවා” යැයි අමතන්නේ අතිශයින් ප්‍රේමණීය වූ හැඟුම්බර දරා ගත නොහැකි වූ සිතහි පහන් සංවේගයේ දෝංකාරයක් ලෙසින් බව කෙසේ නම් සිතින් ගලවා ඉවත දමන්නට ද?

රෝජා සඳපාණි ‍ප්‍රියදෝණිගේ දෙළුම් ගසෙන් ගෙඩි කඩා ගෙනැවිත් ඇතුවා වැනිය. ජීවිත ඉතිහාසයේ සොඳුරු සිතුවම්, මිමිනුම්, සැලකුම්, යළි යළිත් දෙනෙත් හමුවේ කරන සංචලනයට මුහුණ දීම පහසු නැත. එය දෙනෙත සියුම්ව තෙත් කරන්නකි. ‍‍‍

“නරේන් මාමා..”

මනෝහාරි කුඩා දීසියක් තේ හැඳි දෙකක් අත ඇතිව නැවත පුස්තකාලකුටියට ආවාය. නරේන්ද්‍ර වහා ආපසු හැරී මේසයට ආවේ කිසිදු අයුරකින් අමුත්තක් නොපෙන්වීමේ උත්සාහය ද සමඟය.

ප්‍රියදෝණි පිළිබඳව විවෘත මනසින් සංවාදශීලී විය හැක්කේ රෝජා සඳපාණි සමඟ පමණි. ඒ අහංකාර තරුණියගේ සිත මිනිස් බල දුබල තාවන්ට සංවේදී වෙයි.

“මනෝ අපි ළඟදි යාපනේ යනවා. ඔයත් එනවද?”

ඔහු ඇසුවේ මෙතෙක් සිත කැලඹවූ ස්ත්‍රිය සහ ඇගේ භූතාත්මය යැයි සරදම් කරන තරුණියට සිතින් ඉවත්ව යන්නට මං සලසා දෙමිනි.

“අපි කිව්වෙ?”

“රුක්නාද් නේෂන් රෝජා මම. රාහුලත් එනවා කිව්වා.”

මනෝහාරි සිතන්නට වූවාය. නැඟණියටත් තමාටත් මවගෙන් අවසර ලබා ගැනීමට පුළුවන. එහෙත් රාජඍෂිට ලොකු අම්මාගෙන් අවසරයක් නොලැබෙනු ඇත.

සෝමා ජයකොඩි ලියයි
හර්ෂ ගුණවර්ධන අඳියි

ලබන සතියට...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.