ඔසප් චක්‍රයයි අමතක වීමයි අතර සම්බන්ධයක් නැතිලු | සිළුමිණ

ඔසප් චක්‍රයයි අමතක වීමයි අතර සම්බන්ධයක් නැතිලු

ඔසප් දිනවල කාන්තාවන් ගේ සිතට දැඩි අසහනයක් ඇතිවන බවට කලක පටන් පැවැති මතය මිත්‍යාවක් වන බව නවීන වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා. සුරිච්හි හැනෝවර් වෛද්‍ය විද්‍යාලයීය රෝහල මඟින් කරන ලද පර්යේෂණයක් ඇසුරින් මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙනවා.

කලකට පෙර කාන්තා ඔසප් චක්‍රය ආශ්‍රිතව කළ පර්යේෂණ ඇසුරින් කියැවුණේ ඔසප් චක්‍රය ඇරැඹීමට දින කිහිපකට පෙර කතුන් තරමක් ආවේගශීලී වන අතර ඔසප් සමය අවසාන වීමත් සමඟ ඔවුන් වඩාත් සබුද්ධික ආකාරයෙන් කටයුතු කරන බවයි. ඔසප් දිනවල කාන්තාවන් මොළයට වැඩි වෙහෙසකර බවක් දැනෙන බවට ද එකල මතයක් තිබුණා. එහෙත් මහාචාර්ය බ්‍රිෂ්ට් ලීනර්ස් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ඔසප් චක්‍රය හා කාන්තාවන්ගේ බුද්ධිමය ක්‍රියාකාරීත්වය අතර විශේෂ සම්බන්ධතාවක් ඇතැයි විද්‍යාත්මකව තහවුරු වී නැති බවයි.

කාන්තා සිරුරෙහි හෝමෝන මට්ටම නිතර අඩුවැඩි වුවත් එමඟින් ඇයගේ තීරණ ගැනීමේ ශක්තිය හෝ බුද්ධි මට්ටමට කිසියම් බලපෑමක් සිදු නොවන බව පර්යේෂණයෙන් පෙනී ගොස් තිබෙනවා. ඔසප් කාලසීමාවේදී කාන්තාවන් අසහනයට හා අපහසුතාවයට පත් වීමට වෙනත් හේතු බලපානවා ඇතැයි ද පර්යේෂකයන් සැක කරනවා.

ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් හා ටෙස්ටොස්ටරෝන් වැනි ‍හෝමෝන මඟින් වෘත්තීය ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව මෙම පර්යේෂණයෙන් හෙළි වී තිබෙනවා. ඔසප් දිනවල කාන්තාවන් යම් කටයුත්තක නියැළෙන විට අමතක වීමේ ඉඩක් මෙම හෝමෝන මඟින් ඇති වෙන්නේ ද යන්නත් මෙම පර්යේෂණයේදී සොයා බලා තිබෙනවා. එවැනි බලපෑමක් නැති අතරම බුද්ධිමය බාධාවක් ද සිදු නොවන බව හෙළිවී තිබෙනවා.

මෙම පර්යේෂණයෙන් හෙළිවූ තවත් වටිනා කාරණයක් වන්නේ කාන්තාවන්ට කිසිදු අපහසුවකින් තොරව එකවර කාර්යයන් දෙකක සාර්ථකව නියැළෙන්නට හැකි බවයි. හෝමෝන හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යයකින් චින්තනයට බාධා නොවන බවත් ඉන් හෙළි වී තිබෙනවා.

ප්‍රජනක වෛද්‍ය විද්‍යාව හා මනෝ චිකිත්සකවරියක වන මහාචාර්ය ලීනර්ස් පවසන්නේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිය ඔසප් සමය ඔවුන්ගේ බුද්ධිමය ක්‍රියාශීලී බවට හා යහ පැවැත්මට බාධාවක් වන බවට තමා වෙත පැමිණිලි කර සිටින බවය. කාන්තාවන් 68 දෙනකු සම්බන්ධ කරගෙන ඔවුන් ගේ ඔසප් චක්‍ර කිහිපයක් අධ්‍යයනයට ලක් කරමින් සිදු කළ මේ පර්යේෂණයේදී කතුන් ගේ ඔසප් චක්‍රය මඟින් ඔවුන්ගේ බුද්ධිමය ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් නොකරන බවයි. ඇතැම්විට එක් එක් කාන්තාවගේ අත්දැකීම් විවිධ වීමට ඉඩ තිබුණ ද ඒවා මතක ශක්තිය හෝ බුද්ධියට බලපාන්නේ නැතැයි ද ඇය කියයි. ඔසප්වීමෙන් මොළයට කිසියම් බලපෑමක් එල්ලවේදැයි පරීක්ෂා කිරීමට තවදුරටත් පුළුල් පර්යේෂණ කළ යුතු යැයි ද ඇය කියයි.

බොහෝ කාන්තාවන් ඔසප් කාලය සිය සිතට අසහනයක් දනවන අමතක වීම් බහුල කාලයක් බව පැවසුවාය. ඒ සඳහා අධික ගමන් වෙහෙස, ශාරීරික වෙහෙස මෙන් ම ඇතැම්විට දේශගුණික විපර්යාසද බලපෑ හැකි බවද පර්යේෂකයෝ කියති. මේ පර්යේෂණ පත්‍රිකාව චර්යාත්මක ස්නායු විද්‍යාව නමැති සඟරාවෙහි පළවී තිබිණ.

සාගරිකා

Comments