නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

හැංගුණු සතුට

රෝහල් සායන පෝලිමකි.

මගේ වාරය එළඹෙන තුරු බලා සිටියෙමි.

‘.... පත්තරේ! පත්තරේ!....’ පත්තර වෙළෙන්දෙක් ආයේ ය. සායන පෝලිමේ සිටි වියපත් පියෙක් නෝට්ටුවක් දිගු කර පත්තරයක් දෙන ලෙස ඉල්ලී ය.

‘ඉතුරු දෙන්ඩ 10 ක් නෑ. 20 ක් දෙන්ඩ!’ පත්තර වෙළෙන්දා කීවේ ය.

‘විස්සක් නෑනෙ’ වියපත් පියා කීවේ ය. ඒ අහිසංක කටහඬකි.

‘විස්සක් නැත්තං නිකා ඉන්නව. පත්තරේ දෙන්ඩ විදිහක් නෑ’ පත්තර වෙළෙන්දා නිස්කාරණේ කෑගෑවේය. කවුරුත් එකවර ඔහු දෙසත් වියපත් පියා දෙසත් හැරී බැලූහ. ඔහුට කෙසේ වෙතත් වියපත් පියාට ලජ්ජාවක් ඇති විය.

පත්තර වෙළෙන්දා අර අහිංසකයාට ගොරවමින් දොස් කියන්නට වූයේ හරියට ඔහු සල්ලි නොදී පත්තරයක් බලෙන් ගන්නට හැදුවාක් මෙනි.

වියපත් පියා කර බාගෙන සිටියේ ය.

මම කම්පා වීමි.

මා ළඟ විස්සේ කොළයක් ඇති බව මට මතක් විය. මම වෙළෙන්දාට එය දී අර වියපත් පියා මිලදී ගන්නට හැදූ පත්තරය ම මිල දී ගතිමි.

මා දැන් එය ඔහුට දිය යුතු ය. එහෙත් මා එය එකවර ම ඔහුට දෙන්නට නොගියේ ඔහු වෙනුවෙන් උපන් අනුකම්පාවෙන් එය මිලදී ගන්නට ඇතැ යි යන හැඟීම ඇති වී ඔහු වඩාත් අපහසුතාවට පත්වෙති’යි සිතුණු බැවිනි.

එහෙයින් කාටත් පෙනෙන පරිදි මම එය උඩින් පල්ලෙන් බලන්නට වීමි. සායන සේවිකාව මගේ නම උස් හඬින් කියනු මට ඇසුණේ එවිට ය. මම කලබලයට පත් වී නැගිට ගතිමි. ඒ අතර ද මගේ නම හඬ ගැසිණි.

මා සායන කුටියට යන්නට හදිසියෙන් ‘ආං අංකල් පත්තරේ’ යි අර වියපත් පියාට එය දිගු කළෙමි.

එය අතට ගන්නා ගමන් ම ඔහු අර රුපියල් 50 මට ද දිගු කළේ ය.

‘මට සල්ලි එපා අංකල්! ඔයා පත්තරේ තියාගන්ඩ!’ කියමින් මම හනික සායන කුටියට ගියෙමි.

මා සායන කුටියෙන් පිටතට ආවේ පැය බාගෙටත් වැඩි කලක් ගෙවුණු පසු ය. පිටතට ආ මගේ ඇස් එකවර ම දිව ගියේ වියපත් පියා දෙස. ඔහු ඒ වන විටත් පුවත්පත කියවමින් සිටියේ ය.

මම සායනයෙන් නික්ම යෑමට ඔහු ළඟින් ආවෙමි. ඔහු ඉතා සතුටින් පත්තරය කියවනු දැකීම මට මහත් සතුටක් විය.

‘අංකල් මං යනව. ඔයා පත්තරේ ගෙනියන්ඩ!’ කියන්නට කටට ආවත් මම නොකීවෙමි. එසේ කීවා නම් ඔහු ඊට මුදල් ගෙවන්නට හදන බව මට හැඟිණි. එවිට මගේ සතුට පලා යනු ඇත.

එහෙයින් මම ඒ සතුට එසේ ම හිතේ රඳවාගෙන රෝහලින් පිටතට ආවෙමි.

දර්ශිකා වීරකෝන් මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. ලිපිනය සඳහන් කර නැත.

ගුණසිංහ හෙට්ටිආරච්චි

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.


ගෑස් කෝලාහලය

උදෑසන දහයට පමණ මම දරුවාට බේත් ගන්නට දොස්තර මහතා ‍සොයා නගරයට ගියෙමි.

එහි වූයේ මහා කෝලාහලයකි. ගෑස් කෝලාහලයකි. ඩිස්පැන්සරියට වම් පැත්තේ වූයේ කළු පාට (සැබෑ පාට නොවේ) ගෑස් ටැංකි පේළියකි. ඒ මැද තිබුණේ කළු පාට ගෑස් ප්‍රචාරක රියකි. එහි කළු පාට වේදිකාවකි.

කළු පාට හැඳගත් විස්තර ප්‍රචාරකයෙක් කළු පාට වේදිකාවට නැග, කළු පාට ගෑස් ටැංකියේ අනර්ඝත්වය වර්ණනා කරන්නට වූයේ ය. ඒ බෆල් ගිගුරුමෙන් නගරය කැලඹී ගියේ ය.

ඩිස්පැන්සරියට දකුණු පැත්තේ ව‍ූයේ සුදු පාට (සැබෑ පාට නොවේ) ගෑස් ටැංකි පේළියකි. ඒ මැද තිබුණේ සුදු පාට ගෑස් ප්‍රචාරක රියකි. එහි සුදු පාට වේදිකාවකි.

සුදු පාට හැඳ ගත් විස්තර ප්‍රචාරකයෙක් සුදු පාට වේදිකාවට නැග, සුදු පාට ගෑස් ටැංකියේ අනර්ඝත්වය වර්ණනා කරන්නට වූයේ ය. ඒ බෆල් ගිගිරුමෙන් ද නගරය තව තවත් කැලඹී ගියේ ය. මේ ගෝරනාඩුවෙන් අමාරුව වැඩි වූ දරුවා කෙඳිරිගාන්නට පටන් ගත්තේ ය. ටිකකින් අපේ වාරය ආවෙන් මම දරුවා ද රැගෙන දොස්තර කුටියට පිවිසියෙමි. දොස්තර මහතා සිටියේ නොසන්සුන්ව ය.

‘බලන්ඩකො මේ සද්දෙ හින්ද මොකවත් කරගන්ඩ විදිහක් නෑනෙ. මේ මිනිස්සුන්ට පිස්සුදැ?’ යි අසමින් ඔහු දරුවා ගේ පපුවට නළාව තිබ්බේ ය.

‘සද්දෙ හින්ද දරුවගෙ හර්ද ස්පන්දනය හරියකට ඇහෙන්නෙත් නෑ, මේක පුදුම සමාජයක්නෙ’ කී දොස්තර මහතා සිය කාර්යය කෙරෙහි අවධානය තීව්‍ර කළේ ය.

බේත් ගෙන දරුවා ද රැගෙන පිටතට ආ මා වෙත ආවේ සුදු පාට හැඳි තරුණියකි.

‘සර් අපේ ගෑස් ටැංකියක් ගත්තොත් ගෑස් ළිපත් නොමිලේ දෙනව. ඒකට කමැති නැත්තං වෙන තෑග්ගක් දෙනව. දැන් ම ගත්තොත් සර්ට වාසියි’ ඇය මට සුදු පාට ප්‍රචාරක පත්‍රිකාවක් දුන්නා ය.

‘තාත්තෙ යං’ දරුවා කෙඳිරි ගෑවේ ය. අපි එහා පැත්තට ගියෙමු.

කළු පාට හැඳගත් ඉලන්දාරියෙක් අප ඉදිරියට විත් කළු පාට ගෑස් ටැංකියක් ගැනීමේ වාසිය ගැන කියන්නට වූයේ ය.දරුවා යළිත් නාහෙන් ඇඬුවේ ය. මා අසල තිබූ පේස්ට්‍රි කඩයට ගොඩ වුණේ දරුවාට බේත් දුන් පසු ඔහු කැමති කෑමක් දිය යුතු යැයි සිතුණ බැවිනි.

‘අනේ මහත්තයො බලන්ඩකො කොහොමද අපි මෙතන ඉන්නෙ? උදේ ඉඳන් දෙපැත්තට වෙලා කෑගහ ගන්නව. කවුද මේවට අවසර දෙන්නෙ? මට නං විකාර වගේ’ වෙළෙඳ සේවිකාව නාහෙන් ඇඬුවා ය.

දරුවා ද යළිත් නාහෙන් අඬන්නට විය. මම යමක් මිලදී ගෙන දරුවා කැටුව කහ ඉර පනින්නට වීමි.

‘එන්ඩ සර් දැන්ම ගත්තොත් වාසියි’ සුදු පාට හැඳි තරුණිය ද අප සමඟ කහ ඉර පනින්නට වූ‍වා ය.

‘ඒක නෙමේ මොකද දරුවො ඔය දෙගොල්ලො මෙතන හැප්පෙන්නෙ?’ මම ඇගෙන් ඇසීමි.

‘අපි හැප්පෙන්නෙ නෑ සර්. ඒ ගොල්ලොයි හැප්පෙන්නෙ. අපි යන යන තැන්වලට ඒ‍ගොල්ලොත් එනව. අපි ................ ට ගියා. ඒ ගොල්ලොත් ආව. අපි ................ ට ගියා. එහාටත් ආව.’

‘හැබැයි ඒ අය කියන්නෙත් ඔය කතාවමයි’

‘මොන බොරු ද? අපිනෙ ටී වී ඇඩ් එහෙම දාල වැඩේ පටන් ගත්තෙ. අපිනෙ මාසෙකට කාර් එක ගානෙ තෑගි දෙන්නෙ’

පාර පැන්න තැන ම කුලී ත්‍රිරෝද රථ ගාල තිබිණ. දරුවා අමාරුවට ම ඉන් එකකට නැග ඉඳ ගත්තේ ය.

‘එන්ඩ සර් මේ ගමන් ම එකක් අරං යන්ඩ. සර්ට වාසියි’ තරුණිය මා සිය වෙළෙඳාම කෙරෙහි ම පෙලඹුවා ය.

‘මං පොඩි ප්‍රශ්නයක් අහන්ඩ ද? දුවේ. හැබැයි ඒක දූගෙං අහන එක සාධාරණ නොවෙන්ඩ පුළුවනි. මොකද දූත් මෙතන රස්සාවක්නෙ කරන්නෙ’ මම කීමි.

‘කමක් නෑ සර් අහන්ඩ!’ ඇය මවෙත අවධානය දැඩි කළා ය.

‘ගෑස් කියන්නෙ අද අත්‍යවශ්‍ය ම දෙයක්නේ. ගෑස් කොච්චර මිල ඉහළ ගියත් විකිණෙනවනේ. ටැංකිත් එහෙමනේ. ඇයි ඉතිං ඒකට ඔච්චර කලබල‍ කරන්නෙ? මේවට යන අනවශ්‍ය වියදං නැති කරනව නං ඕව තව කොච්චර අඩුවට දෙන්ඩ පුළුවන් ද? එතකොට ඔය කාටත් පාරිභෝගිකයො හොය හොයා පාරට බහින්ඩ ඕනෑ නෑ නේද? මේ ඕන්නැති කලබලත් ඉබේ ම නැවතියිනේ’

ඇගේ මුහුණ වෙනස් විය.

ත්‍රිරෝද රිය ඉදිරියට ඇදුණේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.