පයින් ගමන කඩිනම් කරන බේරේ වැවේ මංතීරු

* කොළඹ ඇවිදින එක මින්පසු වදයක් වෙන එකක් නෑ
* වැහී ගිය උමං ළඟදීම ගමනට  
* කොළඹ තදබදයට විසඳුමක් ව්‍යාපාරවලට හිතකර පරිසරයක්
* එදා බේරේ ගිය බෝට්ටු කොටස් තවමත් වැව් පතුලේ

හැමදාමත් වගේ කොළඹ කොටුවට ඔබ යන එනවා නිසැකයි. එහෙත් මේ ඉපැරණි කොළඹ නගරය ගැන බොහෝ සොඳුරු ඓතිහාසික කතා පෙළගැහෙන බව ඔබ දන්නවාද?‍ ඔබ දකින්නට යායුතු එවැනි ස්ථාන රැසක්ම කොළඹ නගරය පුරා විසිරී පවතිනවා. මේ වන විට බේරේ වැව ආශ්‍රිතව නාගරික සංවර්ධන අධිකාරිය ඔස්සේ දියත්වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය නිසාම මෙම සොඳුරු ස්ථාන පිළිබඳ කතාබහ යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඔබ එලෙස නැරැඹීමට යා යුතුම එවන් ස්ථාන කිහිපයක්ම කොළඹ කොටුවේ බේරේ වැව අවට තිබෙනවා. ඒ අතර කොළඹ කොටුවේ ඇති මැක්ලම් ගේට්,මැක්ලම් උද්‍යානය සහ එහි ස්ථාපනය කොට ඇති මැක්ලම් කෞතුකාගාරය බේ‍රේ වැව ආශ්‍රිත ඉතිහාස කතා ඔබේ මතකයට ගෙන ඒවි. එමෙන්ම බේරේ වැව මූලීක කොටගෙන ඉදිවෙන රේඛීය උද්‍යානය පිළිබඳවත් ඔබ දැනගත යුතුම වෙනවා. ඉදින් එන්න යන්න මේ ගැන තොරතුරු දැන ගන්න මාත් එක්ක. ඔබට එය අපූරු අත්දැකීමක් ගෙන දේවි.

• මැකලම් ගේට්ටු සහ උද්‍යානය

ලේක් හවුස් ඉදිරිපිට ඇති බේරේ වැවේ නැගෙනහිර දෙසට වන්නට වරායට මුහුණ ලා බේරේ වැවත් වරායත් යා කරමින් ඉදි වූ මැක්ලම් ගේට්ටු ද්වාරයත් (Mccallm lock gates) එම උද්‍යානයත් එහි පිහිටි කෞතුකාගාරයත් මැක්ලම් පාර (වර්තමානයේ ඩී.ආර්.විජයවර්ධන මාවත) ඔස්සේ ගමන්ගන්නා ඕනෑම අයෙකුට දැකගත හැකියි. නාගරික සංවර්ධන අධිකාරිය ඔස්සේ දියත් කෙරුණු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවීකරණයට බඳුන් වූ මෙම මැක්ලම් ගේට්ටු සහ නිර්මාණය වුණු උද්‍යානයත් එහි වු කෞතුකාගාරය පිළිබඳ තොරතුරු සොයා යත්දී ඒ පිළිබඳ බොහෝ දේ අපට දැනගන්නට ලැබුණේ නාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලැසුම් අංශයෙන්. නගර සැලැසුම් ශිල්පී ලසන්ත සමීර මහතා මේ පිළිබඳ අප සමඟ අදහස් දැක්වූවා.

“බේරේ වැව නිර්මාණය වීමේ ඉතිහාසය සියවස් ගණනක ඉතිහාසයකට දිව ගියත් මැක්ලම් ගේට්ටු ද්වාරය 1850ත් 1956ත් කාලය අතර නිර්මාණය වූ බවට විවිධ මත පවතිනවා.ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ මෙය නිර්මාණය වු බවටත් 1956 දී කොළඹ වැඩ දෙපාර්තමේන්තුවෙන් මෙම මැක්ලම් ගේට්ටු ද්වාරය සකස් කර සර් ජෝන් කොතලාවල මහතා විසින් විවෘත කරන ලද බවත් සඳහන් වෙනවා. එලෙස වැඩි දියුණු වූ මැක්ලම් ගේට්ටු ද්වාරය වර්තමානයේ ඓතිහාසික කරුණු කාරණා රැසක් කරළියට ගෙන එන්නට සමත්ව තිබෙනවා.”

මෙම මැක්ලම් ගේට්ටු ද්වාරය ඉංග්‍රීසීන් විසින් ගොඩනඟන්නට හේතු වූයේ බේරේ වැවත් වරායත් අතර ජල මට්ටම සමබරව පවත්වා ගැනීම උදෙසා බවත් එමෙන්ම මේ ඔස්සේ කොළඹට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ඇති වන ගංවතුර තත්ත්වය ද පාලනය වූ බවට ද සාක්ෂි පවතිනවා. කොළඹ කොටුවේ ගංවතුර පාලනයේ දී බේරේ වැව විශාල දායකත්වයක් අදට ද ලබා දෙන බව එය ගොඩනඟා ඇති තාක්ෂණය ඔස්සේ සිතිය හැකියි. කොපමණ වර්ෂාවක් ඇඳහැළුණ ද එහි වතුර මම්ටම සමබරව පවතියි. වැඩිවන වතුර ප්‍රමාණය මැක්ලම් ගේට්ටු ඔස්සේ මුහුදට එක්වීම සිදු වන අතර ඒ සඳහා මෙම ගේට්ටු ද්වාරය සුළං බලයෙන් ක්‍රියාත්මක කිරීම සිදුවේ. මුහුදු මට්ටමේ සිට අඩි අටක් පමණ උසකින් පවතින බේරේ වැවේ ජල මට්ටම වර්ෂාව නිසා අඟල් කිහිපයකින් ඉහළ ගිය විට වැඩි වන ජල කඳ මෙලෙස මුහුදට එක් වීම සිදුවේ. සාම­ාන්‍යයෙන් ගත් කල බේරේ වැව නිර්මාණය වී ඇත්තේ වගුරු ආශ්‍රිත බිම් පෙදෙසකයි. එය ගොඩකිරීමෙන් විවිධ ගොඩනැඟිලි නිර්මාණය කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. අදටත් ගොඩනැගෙන ගොඩනැඟිලි මේ අතර වෙනවා. පෘතුගීසි - ලන්දේසි -ඉංග්‍රීසි ආක්‍රමණික යුගයේ බේරේ වැව හෙක්ටයාර 164 ක වපසරියකින් යුක්ත වූවද වර්තමානයේ එය හෙක්ටයාර 65ක් දක්වා අඩුවී තිබෙන බවත් සඳහන් වෙනවා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ ප්‍රධානීන්ගේ මතය වන්නේ යටත් විජිත යුගයේ බේ‍රේ වැව දෙපස ගොඩ කර තනන්ට ඇත්තේ යටත් විජිත යුගයට අයත් ගබඩා සංකීර්ණ බවයි.

“මෙම ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා බේරේ වැව අවසන්වරට ගොඩකර ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. මේ වන විටත් ඉංග්‍රීසීන් තනවන ලද ගබඩා සංකීර්ණ අතුරෙන් අදටත් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා. ඒවා විවිධ ආයතන සඳහා මේ වන විටත් නවීකරණය කර පරිහරණයට ගෙන තිබෙනවා. මෙහි නිර්මාණය කර ඇති මැක්ලම් කෞතුකාගාරයේ එකල භාවිතා කළ නැව් වලට යොදාගත් බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙනවා. එයත් ඓතිහාසික වටිනාකම්වලින් යුත් විවිධ දෑහි එකතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. කෙසේ නමුත් වරායත් බේරේ වැවත් එක්කර ඉදිකෙරණු මෙම මැක්ලම් ගේට්ටු ද්වාරය එකල වඩාත් ප්‍රයෝජනවත් ගමන් මාර්ගයක් වී තිබූ බවට සාක්ෂි ලැබෙනවා.

එකල බේරේ වැවේ ප්‍රවාහන කටයුතු සිදු කළ බෝට්ටු සහ පාරුවල කොටස් අද වන විට ද බේරේ වැව පතුලේ තියෙනවා. බේරේ වැවේ නාවික හෝ බෝට්ටු යාත්‍රා කරන විට මෙම කොටස් අද ද එම යාත්‍රාවන්ගේ ගැටෙන අවස්ථා වාර්තා වෙනවා. එනිසා ඉදිරියේ දී නාගරික සංවර්ධන අධිකාරිය දියත් කිරීමට බලාපොරොත්තු වන බේරේ වැව ප්‍රතිසංස්කරණ යෝජනාවල එක් අදියරක් වන බෝට්ටු ප්‍රවාහන ක්‍රමය ඇති කිරීම සඳහා වැවේ පවතින පැරැණි කැඩී බීදී ගිය යාත්‍රා කොටස් ඉවත් කළයුතුයි. ඒවා ඉවත් කර ඉදිරියේ දී මෙකී ප්‍රවාහන ක්‍රම දියත් කිරීමට කටයුතු සූදානම් වෙනවා. එය කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතුවලට පිටුවහලක් වේවි කියා අපි සිතනවා.”

ලේක්හවුසිය අසලින් ගලා යන බේරේ වැව සහ මැක්ලම් ගේට් දක්වා උමං මාර්ග භාවිත වු බවට සාධක මේ වන විට නාගරික සංවර්ධන ආධිකාරිය විසන් කළ ගවේෂණයන් හි ප්‍රතිළුලයක් ලෙස හමු වී තිබෙනවා. මැක්ලම් පාර යටින් දිව යන මේ උමං මාර්ග පසුගිය කාල වකවානුව මුළුල්ලේ පස්වලින් සහ වෙනත් අපද්‍රව්‍යවලින් මෙන්ම විවධ ගොඩනැඟිලි ඉදිකිරීම් නිසා විනාශයට මෙන්ම වැළලීයෑමකට ලක්ව තිබෙනවා. මෙයින් එක් උමං මාර්ගයක් මතුවන්නේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ තාප්පයක් යටින්. අද එම උමං මාර්ගයේ නටබුන් එම තාප්පයේ ද දක්නට ලැබෙනවා.

• බේරේ වැව අවටින් හමුවන ‍ඓතිහාසික උමං

විශේෂයෙන්ම වරායට යුරෝපයෙන් හා අවට රටවලින් ගෙන ආ බඩු භාණ්ඩ වරාය හරහා කොළඹට රැගෙන ඒම මැක්ලම් ගේට්ටුව ඔස්සේ සිදු කර ඇති බවත් ඒවා තොග ගබඩාවලට පහසුවෙන් ගෙන යෑමට මෙම උමං මාර්ග භාවිතා කරන්නට ඇති බවත් සිතන්නට පුළුවන්. ඒ කාල වකවානුවේ භාවිතා වු කුඩා බෝට්ටු හා පාරු ඔස්සේ බඩු භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කර ඇති බවට හේතු සාධක පවතිනවා. පාරු ,බෝට්ටු මඟින් ගෙන එන බඩු භාණ්ඩ උමං මාර්ග ඔස්සේ මිනිසුන් කරේ තබාගෙන හෝ අත් කරත්තවල තබාගෙන ගෙන යන්නට ඇති බවට සිතිය හැකියි. මෙම උමගක් අඩි හයකට වඩා උසින් යුක්තයි.මෙම උමං බේ‍රේ වැවේ සීමාවෙන් පිටත සකසා ඇති අතර ජලය ඇතුළට නොයන පරිදි නිර්මාණය කර ඇත. උමං ඔස්සේ ගෙන ගිය බඩු භාණ්ඩ කෝච්චි පාර ඔස්සේත් මහපාර ඔස්සේත් ගබඩා සංකීර්ණවලට ගෙන ගොස් ඒවා මඟින් කොළඹ ‍කොම්පැණි වීදිය හෙවත් කොම්පඤ්ඤ වීදියට වෙළහෙළදාම් කටයුතු සඳහා ගෙන යන්නට ඇති බව සිතිය හැකියි.

ඉදිරියේ දී මෙම උමං මාර්ග පාදා සංවර්ධනය කර ඒවා මහජනයාගේ ගමනාගමන භාවිතාව සඳහා යොදා ගන්නට පහසුකම් සැලැසීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලැසුම් කර තිබෙනවා. මේ කටයුතු බේරේ වැව අශ්‍රිත සංවර්ධන යෝජනා සමඟ පියවරෙන් පියවර ඉදිරියට සිදුකරන්නට නාගරික සංවර්ධන අධිකාරිය බලා පොරොත්තු වෙනවා.” යනුවෙන් මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වන ලසන්ත මහතා පවසයි.

• Pedestrian web හෙවත් මඟී මං තීරු ජාලය

“බේරේ වැව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඔස්සේ මඟී මං තීරු ජාලයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ වන විට එහි පළමු අදියර අපි නිම කළා. බේරේ වැව් තාවල්ල වටා මැක්ලම් මාවතත් ( ඩී. ආර්. විජයවර්ධන මාවත) ඕල්කට් මාවතත් යා කරමින් තැනූ මගී මං තීරුවේ වැඩ කටයුතු මේ වන විට නිමයි. එය නුදුරේ දීම ජනතා අයිතියට පැවැරෙනවා. ඉන් පසු එහි දෙවන අදියර ලෙස ඕල්කට් මාවතත් පිටකොටුව කෙළින් වීදියත් (මේන් ස්ට්‍රීට්)යා කරමින් බේරේ වැව් තාවල්ල වටා මඟී මං තීරුවක් ඉදිවෙනවා. මේ ආකාරයට බේරේ වැව වටාම මගී මං තීරු ඉදිකිරීම ඉදිරියේ සිදු වෙනවා. විශේෂයෙන්ම මෙම මඟී මං තීරු ජාලය ඔස්සේ අපි දියත් කිරීමට බලාපොරොත්තු වන්නේ කොළඹට යන එන ජනතාවට අවශ්‍ය පහසුකම් සපයන ප්‍රමුඛතම සේවා මධ්‍යස්ථානයක් බවට කොළඔ පත් කිරීමයි. වෙන දා බස්රථයකින්, වාහනයකින් -වැඩිකාලයක් ගත කරමින් රථවාහන තදබදයේ කෝචිචියට, බස්නැවතුම් පොළට ආ ගිය ජනතාවට ඉතා කෙටි කලෙකින් ඇවිදගෙන එම ස්ථාන කරා යාමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයෙන් කොළඹ නගරය වටා ඇති බේරේ වැව අවට පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සිදු වෙත් දී ඉබේම සුන්දර වටපිටාවක් බේරේ වැව වටා ඇති වෙනවා. එය සිදුවන්නේ කොළඹ නගරය ප්‍රිය ජනක නගරයක් බවට පත්කරන ප්‍රධාන ව්‍යාපෘතිය වන රේඛීය උද්‍යානයක් බවට පත් කිරීමෙන්. නාගරික සංවර්ධන අධිකාරිය ඔස්සේ සිදුවන මෙම දැවැන්ත සංවර්ධන කර්තව්‍යය නිසා කොළඹ නගරය ප්‍රියජනක පරිසරයක් බවට පත්වෙනවා වාගේම බේරේ වැව ආශ්‍රිතව පවතින ඉඩම් සහ ගොඩනැඟිලි ද මේ ඔස්සේ නවීකරණයකට, සංරක්ෂණයකට ලක් වෙනවා. ඒ අතර ලේක් හවුස් ආයතනය හා පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සංරක්ෂණය කළ යුතු ස්ථාන බවට හඳුනාගෙන තිබෙනවා. අනෙක් අතින් සංචාරක කටයුතු සහ හෝටල් සඳහා අවශ්‍ය වටපිටාව සැකසෙනවා. එලෙසම නවීකරණය කළ යුතු ගොඩනැඟිලි, මිශ්‍ර සංවර්ධන කටයුතුවලට ලක් කළයුතු ඉඩම් හඳුනාගෙන කොළඹ නගරය ව්‍යාපාරවලට හිතකර පරිසරයක් බවට පත් කිරීම බේරේ සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ සිදුවෙනවා. එලෙසම ජල සම්පතක් වන බේරේ වැවට විවිධ ස්ථානවලින් අපද්‍රව්‍ය එක්කාසු වෙනවා. මේ තැන් මේ සංවර්ධන කටයුතු ඔස්සේ හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දීමට හැකියාව ලැබෙනවා. බේරේ වැව නමැති වටිනා ජල මූලාශ්‍රයෙන් කොළඹ නගරය අලංකාරවත් කර බේරේ වැවත් කොළඹ ව්‍යාපාරවලට හිතකර පරිසරයක් ඇතිකිරීමට යොදා ගැනිමයි අපේ අරමුණ.”

විශේෂ ස්තූතිය- නාගරික සංවර්ධන අධිකාරියේ නගර සැලැසුම් අංශයේ නගර නිර්මාණ සැලැසුම් ශිල්පී ලසන්ත බණ්ඩාර මහතාට.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.