බර වැඩි බබා සුවෙන් | Page 2 | සිළුමිණ

බර වැඩි බබා සුවෙන්

‍ලෝකයේ 11 වැනි බරින් වැඩිම බිලිඳා ලංකාවේ උපත ලද පුවත පසුගියදා බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. බලපිටිය මූලික රෝහලේ සිදුවූ එම උපතින් පසු එයද යම් තරමක හෝ වාර්තාවක් බව අසන්නට ලැබිණි. අපේ රටේ විවිධාකාර අය විවිධ වාර්තා තැබූවද මෙවන් වාර්තාවක් අපේ රටෙන් අසන්නට ලැබූණේ මුල්ම වතාවට බවයි වෛද්‍යවරුන් පැවැසූයේ. සාමාන්‍ය දරු උපතකදී පුංචි දරුවෙකුගේ උපත් බර රාත්තල් 3.2 ක් 5.5 ත් අතර වුවත් මේ බිලිඳාගේ උපත් බර ඊට බොහෝ සෙයින් වෙනස් වුණා‍. පිරිමි දරුවකු වන මේ දරුවාගේ උපත් බර රාත්තල් 13.1 ක් බව දැනගත් මේ රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම රටේ සැවෝමද පුදුමයෙන් පුදුමයට පත්වුණා‍.

නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ටත් සිය වෛද්‍ය ජීවිතයේ සුවිශේෂි අමරණීය සිදුවීමක් වූ මේ දරුවාගේ උපත ගිනස් වාර්තා පොතට එක්වීමක්ද වුණා. ගිනස් වාර්තා පොතට එක්වූ ලෝකයේ බරින් වැඩිම දරුවන් ඉපිද ඇත්තේ ඇමෙරිකාවේ හා ඉතාලියේ බවයි වාර්තා වන්නේ. ඒ රාත්තල් 22 ක දරු දෙදෙනෙක්. ඉන් අනතුරුව විදේශ රටවල් ගණනාවක රාත්තල් 19, 17, 16 හා රාත්තල් 15 යන බරින් වැඩිම දරු උපත් සිදු වු බවටයි වාර්තා වන්නේ.

බෙන්තොට හඹුරුගල නදීෂා නිල්මිණි මවටයි මේ සුවිශේෂි දරු උපත සිදුවී ඇත්තේ‍. ඒ ඇගේ මුල්ම දරු උපත ලෙස. ඇය පරීක්ෂා කළ බලපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල විතානච්චි මහතාට මෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය දමිත නලින් මහතා ඇගේ මේ අසාමාන්‍ය බරින් යුත් දරු උපත මුලින්ම හඳුනාගත් බවයි පවසන්නේ.

" මේ මවගේ කුසේ සිටින දරුවාගේ බර බොහෝ සෙයින් වැඩි බව අපිට මාස 7 යන විට තේරුම් ගියා. එදා ඉඳලා මේ අම්මයි කුසේ සිටින දරුවයි අපි සෑහෙන්න පරිස්සම් කළා. මේ මවගේ දරු ගැබට සති 38 වන විට අපි සීසර් සැත්කමක් මඟින් දරුවා එළියට ගත්තා. අපිට මේ සැත්කම සුවිශේෂියි. අපේ වෛද්‍ය ජීවිතයේ මෙවැනි දෙයක් මීට පෙර සිදුවි නැහැ. මේ සිදුවීමෙන් බලපිටිය මූලික රෝහල ඉතිහාසගත වෙනවා..." එලෙස පැවැසුවේ දරුවාට මෙලොවට එන්න මඟ පෑදූ වෛද්‍යවරුන්.

පුංචි බිලිඳා දැන් පසුවන්නේ හොඳ නිරෝගි සුවයෙන්. ඔහුට ජීවය දුන් මවත් පියාත් දෙදෙනාම පොලිස් සේවයේ නිරත වූවන්. ඔවුන් හෙට අනිද්දාම මේ පුංචි පැටියා සිය නිවෙසට අරගෙන යාවි. ඒත් ඉතින් මුළු රටම මේ දරුවා නිරෝගීව හැදෙන වැඩෙන අයුරු දැක ගැනීමටත් කැමැති වේවි.

සුභාෂිණි
සේයාරුව - විමල් කරුණාතිලක 

Comments