මා දුටු භයංකාර සිහිනයක්!

එදින මා රාත්‍රී ආහාර ගෙන නින්දට ගියේ දහසකුත් සිතුම් පැතුම් සිතේ රඳවාගෙනය. නින්දේදී මා දුටුවේ භයංකර සිහිනයකි. ඒ මම පාසල නිමවී මාගේ මිතුරන් සමඟ වනයක් බැලීමට ගියෙමි. වනය ඇතුළට ගියවිට මගේ සිත ඩිග්ඩිග් ගෑවේ හරියට ඔර‍ලෝසු කටුවෙන් ඇසෙන හඬ වගේය. සතුන්ගේ ශබ්ද නිසා මගේ තිබූ බය තව දෙගුණ තෙගුණ විය. මම මගේ යහළුවන්ගේ අත අල්ලා ගත්තෙමි. එමනිසා මගේ සිතේ තිබූ බය හා කුහුල ටිකෙන් ටික අඩු විය. ටික වේලාවකින් නිල් පැහැව තිබූ අහස් ගැබ කළු‍වලාවලින් වැසී ගස් ඒ මේ අත ඇඹරී වැස්ස පටන් ගත්තේය. කුඩා පිනිබිඳු වැනි වැහි බිඳු අපේ ඇඟට වැටෙන විට වැස්සෙන් ආරක්ෂා වීමට මුළු වනය පීරමින්, දුවමින් සිටි වේලාවේ හා මගේ මිතුරන් අසල තිබූ ගුහාවකට රිංගා ගත්තේ එය පාළු ගුහාවක් බව සිතමින්ය. ගුහාව තුළ අපි ගිනි මැළයක් ගසාගෙන තෙත බරිත වී තිබූ ඇඳුම් වේළා ගත්තෙමු. වැස්ස නිමවූ පසු අපි ගෙදර යෑමට සූදානම් වූයෙමු. අප ගුහාවෙන් එළියට පා තබත්ම මින් පෙර අසා නොපුරුදු හඬක් ගුහාවෙන් ඇසිණි. ගුහාව දෙස බැලූ අපට දක්නට ලැබුණේ කළුවයිරං ඇති කොටියෙක්ය.

කොටියා දුටු අපගේ කකුල් වෙවුලන්නට විය. මම යහළුවන්ට වඩා වේගයෙන් දිව්වෙමි. කොටියා මා දුවනවා දැක කලබල වී මා පසුපස පන්නා ආවේය. කොටියා දැක තවත් බියවූ මගේ කකුල් හා අත්ද අප්‍රාණික වී වෙව්ලන්නට පටන් ගත්තේය. එමෙන් ම මට පවුලේ අයද මතක් විය. එමෙන්ම මා සමඟ ආ මිතුරන් මා දමාගෙස් ඇතැයි මට සිතිණි. එනමුත් මා මගේ උපරිම වේගයෙන් යන විට පය ලිස්සා බිම වැටී මඩ වළක එරුණි. මම බියවී නැගිටින විටදී මා සිටියේ ඇ‍ඳෙන් බිම පෙරළීය. මගේ ඇඳුම් ද තෙත බරිත වී තිබුණේ වතුරෙන් නොව දහඩියෙන්ය. මගේ හඬ ඇසී අම්මා දුවගෙන ආවාය. අම්මා මට වතුර ටිකක් බොන්නට දී ඇ‍ඳෙන් වාඩි කරවීය. මම මා දුටු භයානක සිහිනය ගැන අම්මාට ද පැවසුවෙමි. අම්මා සිනාසී මගේ ඔළුව අතගා මුහුණ සෝදවා පාසල් යන්නට සූදානම් කරවූවාය. මම පාසලට ගොස් මෙම භයංකාර සිහිනය ගැන යහළුවන්ට ද පැවසුවෙමි. ඔවුන්ට ද මෙම සිහිනය ගැන ඇති වූයේ කුහුලකි.

හිරුණි යසෝදරා දෙව්මිණි
7 ශ්‍රේණිය ‘බී’,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කළුතර.


ඉන්දුනීසියාවේ ‘ගයියා,

‘ගයියා, යනු පරිසරය රැක ගැනීමේ අදහසින් ඉන්දුනීසියාවේ ගොඩනැඟුණු සංකල්පයකි. පෘථිවිය සජීවී වස්තුවක් ලෙස සැලකීම මෙම සංකල්පය ඔස්සේ සිදුවිය.

මෙය ලක්වාසීන්ට නම් තුන් තේරවිල්ලක් නොවනු ඇත. මන්ද ‘ගයියා, යන වචනය නුපුරුදු වුවද, ඒ හා සමාන අදහසක් දුරාතීතයේ පැරැණියන් අතර ප්‍රචලිතව තිබීමය. එනම් පොළොව මහී කාන්තාව යන සංකල්පයයි.

එහෙත් වර්තමාන පරම්පරාවට නම්, මෙය නුපුරුදු වන්නට ද පුළුවන. සංවර්ධනයේ අතුරු ඵල පරිසරය විසින් අප වෙත හිමි කරන මෙවන් සමයකවත් වළලා දැමූ පැරැණි වටිනා ජනමත යළිත් වරක් අප සිත් තුළ රෝපණය කර ගැනීමට හැකි වන්නේ නම්, රුදුරු වූ පරිසරයේ කෝප ගිනි අල්පමාත්‍රයකුදු හෝ නිවන්නට අපට හැකි වනු ඇත.

එදා පැරැණියන් පොළෝ තලයට ගරු බුහුමන් දැක්වූ ආකාරය හරි අපූරුය. වගා කටයුතු කර ජීවිතය ගැට ගසා ගත් ගොවියෝ තම පළමු උදලු පහර පොළෝතලය මත හෙළන්නට මත්තෙන් ‍මහී කාන්තාවගෙන් සමාව යදින්නට පසුබට නොවූහ. ජනයා එකල පොළොවට දැක්වූ ඒ අසීමිත ගෞරවය නිසා සෑම බිම් අඟලක්ම රැක ගැනීමට සැවොම පෙලඹුණහ. පරිසරය ද වැසියනට දුකක් කරදරයක් නොවන ලෙස හැඩ ගැසිණි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා සෑම මොහොතකම පුංචි බිම් අඟලකට පවා ඇන කොටා ගෙන හැකි තරම් මහී කාන්තාව කම්පා කරවන කටයුතු කිරීමට පෙලඹී සිටිති. ඇයගේ නීල හරිත තුරු වියන් විනාශ කර දමන්නේ හිතක් පපුවක් නැති ගුණ මකුවන් මෙනි.

මෙලෙස යහපත් සංකල්ප වලින් තොර වූ සමාජයක් මහී කාන්තාවගෙන් තවදුරටත් රැකවරණය පතන්නේ කෙලෙස ද? මේ මහා කුණාටු නායයෑම්වල වරද ඇය අත නොව, අප අතය.

මහී කාන්තාව රැකගෙන ඇය සනසන්නට අපේ සංකල්පනා යහපත් කර ගැනීමට තවමත් අපට කල් ඇත්තේය. පොත් පිටු අතරට කොටු වූ ගයියා වැනි සංකල්ප ද ඒ සඳහා උපයෝගී කරගත හැකිය.

එරන්දි සෞභාග්‍යා
13 ශ්‍රේණිය ‘විද්‍යා’,
දේවි බාලිකා විද්‍යාලය, කොළඹ.


අපේ ගම

අප ඉපදුණු ගම අප ජීවත්වන ගම වැලිපතයායයි. ඒ ගම පිහිටා තිබෙන්නේ කූරගල නම් ලස්සන කඳුවැටිය පාමුල ය. ඒ සුන්දර පරිසරය ගස් කොළන්වලින් ගහනයි. අපේ ගම මල් හා වෙල්යායෙන් මෙන්ම දිය කඳුරුවලින් ද යුක්තයි.

ගම වටේටම වන පෙතෙයි. ඒ වන පෙ‍ෙත් කුරුලු කෙවිල්ලෝ නිරතුරුව නාද කරති. අපේ ගමට ආලෝකයක් හා අසිරියක් ගෙන එන්නේ වෙල්යායි. අපේ ගම අපට වටී.

ටී.වී. ප්‍රියභාණි එරන්දති
6 ශ්‍රේණිය,
කල්තොට දකුණු ඉවුර විද්‍යාලය,
වැලිපතයාය,
බළන්ගොඩ.


අහෝ දෙවියනි!

රස්නය සැම තැන විහිදෙයි
සූරිය දෙවි කෝප වී....
මිනිසුන්ගේ කෑ මොරයට දැන්
දිව්‍ය ලොවත් සෙලවේ...
“අහෝ දෙවියනි?”
දිය පිපාසිත අසරණයෝ
වතුර ඉල්ලා හඬ නගති
දෙවියනි වැස්ස වලාහක
දෙනු මැන අපට දිය බිඳක්!

නුවන් දුමිදු රණසිංහ
11 ශ්‍රේණිය,
සාන්ත මයිකල් විද්‍යාලය,
ගලවිලවත්ත, හෝමාගම. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.