පුදුමයි හිතාගන්නවත් බෑ ගොඩක් සතුටුයි පාසල් ක්‍රිකට් පිටියේ රන්සිළුව

චමින්ද වාස් ශ්‍රී ලංකාව ක්‍රිකට් ලොවට දායාද කළ සුපිරි වමත් වේග පන්දු යවන්නෙක්. නුවන් කුලසේකරට වාස් තරම් දිගු ගමනක් ක්‍රිකට් ලොව සැරිසන්න වරම් අහිමි වුණත් ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ දකුණත් මඳවේග පන්දු යවන්නෙක්. වාස් හෝ කුලේ පන්දු යවන දසුන් රූපවාහිනි තිරය මත දිස්වෙන ඕනෑම මොහොතක පුංචි කොලුගැටයෙක් කොහෙන් හරි ඔලුව දාලා මේ දිහා මහත් ආසාවෙන් බලන් ඉන්නවා. හැමදාම වාස්ලට කුලේලට ක්‍රිකට් තරග නැතිවෙන කොට පොඩි එකාගේ ඇස් දිව යන්නේ ගමේ තම වැඩිහිටි අයියලා ටෙනිස් බෝලවලින් ක්‍රිකට් ගහන දිහාවට.

අයියලා ක්‍රිකට් ගහනකොට මම ආසාවෙන් බලන් හිටියේ. ඉබේටම මගෙත් හිත ඇදිලා ගියා ක්‍රිකට්වලට.

ඒත් ඒ ආසාව කියන්නේ කාටද? පොඩි එකා අහස පොළොව ගැට ගහන තරමට ම කල්පනා කරනවා. අම්මා - තාත්තාවත් ළඟ හිටියා නම්, පොඩි එකාට එහෙම හිතෙන කොට අර වාස්ගේ - කුලේගේ පන්දුවල මනරම් දසුන් මවා ගෙන හිටපු ඇස් කඳුළින් පිරෙනවා.

ජීවන බර කරවටක් ගිල ගන්නකොට පොඩිඑකාගේ අම්මයි - තාත්තයි, අක්කයි පොඩි එකාවයි නැන්දා ළඟ නතර කරලා විදේශගත වෙනවා. එතැන් පටන් දෙන්නා තම ඇස් දෙකවගේ බලාකියා ගන්නා නැන්දා, ඔවුන්ගේ හැම දුකේදී - සැපේදීත් ළගින්ම ඉන්නවා. පොඩි එකා මේක දන්නවා. විඳිනවා.

පොඩි එකාගේ ආසාව අක්කට කියලා වැඩක් නෑ. පොඩි එකා ම තීරණය කරනවා. නැන්දාට හැර වෙන කියන්න කෙනෙක් නැති තැන පොඩි එකා තීරණයකට එනවා.

වෙව්ල වෙව්ල වගේ පොඩි එකා තම ආසාව නැන්දාට කියනවා.

බොහෝම උනන්දුවෙන් පොඩි එකාගේ කතාව අහගෙන හිටපු නැන්දා ටික වෙලාවක් පොඩි එකාගේ මුහුණ දිහා බලාගෙන ඉඳලා,

යමු ගමනක්...

අම්බලන්ගොඩ, පොල්වත්ත සුන්දර ගම් පියස තමයි මොවුන්ගේ නවාතැන්පොළ වුණේ. නැන්දාගේ කතාවට පොඩි එකාට කිසි දෙයක් හිතා ගන්න බෑ. නැන්දාගේ පස්සේ වැටුණේ පොඩි එකා මේ යන්නේ තම අනාගත ඉරණම තීන්දු තීරණය කරන ගමනක් යැයි සිහිනයකින්වත් නොසිතයි. නැන්දා පොඩි එකා සමඟ ඊළඟට නතර වෙන්නේ අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයේ කුසුම් නන්දසිරි ඉදිරියේ. නන්දසිරි ඉදිරියේ පන්දු කිහිපයක් යැවීමට පොඩි එකාට අවස්ථාව උදා වෙනවා.

සර් මම බෝල් කරපු විදිය දැකලා හුඟක් දේවල් කතා කළා. දිගට ම එන්න කිව්වා.

පොඩි එකා ගෙදර ආවේ නිමක් නැති සතුටකින්. අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ සිවුවැනි වසරේ පටන්ම හෙතෙම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළේය.

මට තිබ්බේ ක්‍රිකටර් කෙනෙක් වෙන ආසාව. ඒ ආසාව නිසාම දිගටම ක්‍රිකට්වල එල්ලිලා හිටියා. පොඩි කාලේම අම්මා තාත්තා රට ගියා. ඊට පස්සේ මායි අක්කයි හැදුණේ වැඩුණේ නැන්දා ළඟ. අක්කා මොන්ටිසෝරි ගුරුවරියක්.

පොඩි එකා හත වසරේ ඉගෙන ගන්නකොට, ඔහුගේ ක්‍රීඩා වීරයා, ඔහුගේ හිතේ ඇඳෙන්නට පටන් ගනියි. අනෙක් වේග පන්දු යවන්නන් තරම් උස - මහත නැති, කිසිදු නිදහස් පන්දු යැවීම් ඉරියව්වක් නොපෙන්නවන, සීරුමාරුවට පන්දු යවන හෙතෙම,

හත වසරේ ඉගෙන ගන්නකොට තමයි වාස් මගේ වීරයා වෙන්නේ. එතැන ඉඳලා අනුගමනය කළේ එයාව. එයා දිහා බලාගෙන තමයි මම මෙච්චර දුර ආවේ. මගේ විරයා ඉදිරියේ මට මගේ හපන්කම් පෙන්වන්න පුළුවන්වෙයි කියලා හිතුවේ නෑ. ඒක එහෙම වෙයි කියලා මම කිසිම දවසක හිතුවේත් නෑ.

සැලසුම් අනුව බොහෝ දේවල් සිදු වුවද, ඒ අතරින් පතර අහඹු දේවල්ද එකක් දෙකක් හෝ සිදුවිය හැකිය.

මටත් මාව වීරයෙක් විදියට දැනුණු අවස්ථා තියෙනවා. පහුගිය දකුණු අප්‍රිකානු තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා වුණා. තරගාවලියේ වීරයා වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. මට මගේ වීරයා ඉදිරියේ වීරයෙක් වෙන්න පුළුවන් වුණා.

චමින්ද වාස් සිම්බාබ්වේද එක්වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ උපදේශකයකු ලෙස කටයුතු කළේය.

ඒ තරගාවලිය මට හුගක් හොඳට ඉවර කරන්න පුළුවන් වුණා. ගිය අවුරුද්දේ අපේ රටේ තිබුණේ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හරහා තමයි ඉදිරියට ආවේ.

ඔහුට ඉලක්ක තිබුණේය. එකී ඉලක්කවලට යාමට කෙටි මං සෙවීමට අවැසි නොවීය. ක්‍රමානුකූලව අඩියෙන් අඩිය ඉහළට යාමට අරමුණ කරගත් හෙතෙම ඒ සඳහා වෙහෙසුණේය. අදටත් එහි වෙනසක් නෑ. ගෙවෙන සෑම නිමේෂයකදීම ඔහු ඒ සඳහා වෙහෙසෙයි. කැපවෙයි. ඒ ගැන හිතයි.

තරගයෙන් තරගය ඉදිරියට එනකොට ඉස්සෙල්ලාම ටාගට් එක් වුණේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන එක එහෙම හිතපු දවසේ ඉඳලම මහන්සි වුණේ හොඳට පුහුණුවීම් කරලා එතැන්ට එන්න.

සෑම ගමනකටම නිවැරැදි දැක්මක් සහ මඟපෙන්වන්නන් ඇවැසිය. ඔහුට උපදේශකයන් ගෙන් ද අඩුවක් නැත. ඒ නිසා තම ඉලක්ක වෙත යාමට ඔහුට අවැසි වන්නේ උත්සාහය, කැපවීම පමණි.

විදුහල්පතිතුමා ඇතුළු පුහුණුකරුවන් දෙදෙනා කුසුම් නන්දසිරි සහ දැන් දිගටම පුහුණුවීම් කරන ජයන්ත ජයවීර සර්ලා තමයි මගේ ගමනේ හැම තැනම වගේ ඉන්නේ. කොටින්ම තරගයකට යනකොට ග්‍රවුන්ඩ් එකට අඩිය තියන තැන ඉඳලම කරන්නේ ඕනා මොනවද කියලා එකින් එක කියලා දෙනවා.

මේ හැම කතාවක් තුළම තම වීරයා වන වාස්ට ඉඩකඩක් වෙන් කිරීමට ද හෙතෙම අමතක නොකරයි.

වාස් සර් නිතරම කියන්නේ හරි තැනට හරි විදියට බෝලේ දාන්න කියලා තමයි. ඒ වගේම වාස් සර් කියනවා පන්දු යවන විදිය ගැන හැම වෙලාවේම හොඳට හිතන්න කියලා.

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයට හරිහමන් ක්‍රීඩා පිටියක්වත් නොමැතිව විදුහල්පතිවරයා මෙන්ම ජයන්ත ජයවීර පුුහුණුකරුවා තම විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහකයන් බිහි කරන බිමක් කර ගැනීමට නොගන්නා උත්සාහයක්ද නැත.

අපිට ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් නෑ. නගර සභාවට වෙනම ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එකේ තමයි පුහුණුවීම් කරන්නේ. සුපිරිම විදියට පහසුකම් නෑ. ඉස්කෝලෙන් පවා පුළුවන් විදියට උදව් කරනවා.

දැන් ඔහුගේ ජීවිතයේ සියල්ල ක්‍රිකට් වන විට සිය නැන්දා ද ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල වී සිටින්නීය.

අම්මා - තාත්තා රටේ නැති අඩුව නැන්දා තමයි පුරවන්නේ. දැන් නම් මට ක්‍රිකට්වලින් තොර ජීවිතයක් හිතා ගන්නවත් බෑ.

ඔහුගේ අරමුණ පැහැදිලිය. එමෙන්ම නිරවුල්ය.

ලොකුම ඉලක්කය ලැබෙන හැම තරගයක්ම හොඳට ඉවර කරන්නයි. වෙන ඉස්කෝලවලින් කතා කරනවා. තව අවුරුද්දක් තියෙන නිසා. ඒ අවුරුද්දත් මේ ඉස්කෝලේටම ක්‍රීඩා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි තවමත් දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ.

පුදුමයි.

හිතාගන්නවත් බෑ.

ගොඩක් සතුටුයි

2017 සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් මෙන්ම වසරේ පන්දු යවන්නා සහ මේ වසරේ පැවැති තවත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උළෙලක වසරේ ක්‍රීඩකයා සහ නැගී එන පන්දුයවන්නා වූ ලාංකේය පාසල් ක්‍රිකට් පිටියේ රන්සිළුව වූ, නිපුන් රන්සික අපේ කතාබහ නිමා කළේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.