මාත් ජනේලයෙන් පනින්ඩද?

 සිංහපාලි ගුරුතුමී වෙනදාටත් වඩා කලියෙන් පන්තියට පැමිණ සිටියේ පොත් මිටියක් ද තුරුලුකරගෙනය. කප්පරයා ඇට්ටරයා ඇතුළු ළමයින්ද කොහොමත් මේ පාඩමට ආසය. ‍ඒ “නාට්‍ය හා රංග කලාව” එදා උගන්වන්නට නියමිත නිසාය.

“ළමයිනේ, කියන්න බලන්ඩ අපේ නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍ය කීපයක් ගැන...”

ළමයි එක පොදියට අත් එසැවූහ.

“මනමේ... සිංහබාහු... හිතහොඳ අම්මණ්ඩි, ඉබිකට්ට, මුහුදු පුත්තු, ජනේලය, බෝඩිංකාරයෝ, තට්ටුගෙවල්, මධුර ජවනිකා, නරි බෑණා, හුණුවටයේ කතාව.... මරාසාද්, සොක්‍රටීස්, ගැලීලියෝ...” ළමයි එකමුරේට තවමත් කෑ ගසන්නෝ ය .

“ඒවා අතරින් ස්වතන්ත්‍ර, අනුවර්තන, පරිවර්තන මොනවාද?” ගුරුතුමී ළමයින් නිශ්ශබ්ද කැර එසේ කියා පන්තිය දෙස විපරමින් බැලුවා ය.

“එහෙම කියන්ඩ බෑ මිස්, සමහර ඒවා අනුවර්තනද පරිවර්තනද කියන්න බෑ.”

“ඒ ඇයි?”

“ඒ දෙක මාරු කරලා සම්මාන ලැබෙනවා...” ඇට්ටරයා කියයි.

“අපේ රටේ චිත්‍රපටිත් එහෙමයි...” කප්පරයා මැදින් කට දැම්මේය.

“ඒ ඇයි? එහෙම කියන්නෙ...” ගුරුතුමී ඇසුවාය.

“සමහර දෙමළ චිත්‍රපටිවල රූප රාමුවෙන් රාමුවට කොපි කරලා, භාෂාව වෙනස් කරලා, අපේ නළු නිළියන් දාලා, නමත් අමුතු කරලා, අපේ වගේ දුවනවා.... අපේ ලොකු ලොකු ඇත්තොත් මුල් චිත්‍රපට ගැන වගේ වගක් නෑ, ඒවා අපේ වගේ ම වර්ණනා කරනවා....”

“සහතික ඇත්ත.....” එක් ළමයෙක් කෑ ගැසීය. අනික් ළමෝද එයම අනුමත කරන්නෝය.

“අපි නාට්‍ය ගැන කතා කරමු. එදා ලෝක ධර්මී, නාට්‍ය ධර්මී නාට්‍ය තිබුණානේ...” ගුරුවරී ප්‍රශ්නය වෙනස් කළාය.

“අද නම් තියෙන්නෙ ටීචර් හාස්‍ය ධර්මී විතරයි. අතරින් පතර එක දෙකක් එනවා. අරමුණ සල්ලි හම්බ කරන්න විතරයි. මිනිසුන්ගෙ ජීවිතයට බුද්ධියට හදවතට මුකුත් ම නෑ....” ඇට්ටරයා නැවත ඉදිරියට පනියි.

“එහෙත් 1000, 2,000, 3000 ටිකට් එකක්වත් එදාට හොයාගන්ඩ බෑ... ශාලාව පිරිලා” කප්පරයා ද අත් හරින්නේ ම නැත.

“එදා චැප්ලින්ලා හිනා වුණේ ජීවිතයට යමක් දීලා. ග්‍රීක් නාට්‍ය අතරත් ට්‍රැජඩි වගේ ම කොමඩිත් තිබුණා...” ටීචර් කීවාය.

“ඔව් ටීචර්... චැප්ලින් හිට්ලර්ගේ ඇඳුම ඇන්දේ ඔහුගෙ ආඥාදායකත්වය විවේචනය කරන්ඩ....” ළමයෙක් කීවේය.

“කොහොම කතා කළත් මේ ළමයි චිත්‍රපට ගැනමයි කතාව. මට ඕනෑ නාට්‍ය ගැන කතා කරන්ඩ... මං චැප්ලින් ගැන ඉස්සෙල්ලා කතා කළේ ඔහු නාට්‍යයටත් සම්බන්ධ නිසයි.”

“සුගතපාල සිල්වා, මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන මේ අය තමයි අපේ නාට්‍ය කලාව ඉදිරියට ගෙනාවෙ...” ටීචර් එසේ කියා ළමයින් කුමක් කියනු ඇද්දැයි බලා සිටින්නට වූවාය.

“වැඩක් නෑ ටීචර්, අපේ මිනිසුන්ගෙ රස වින්දනය දැන් නිර්වින්දනය වෙලා... මිනිස්සු හොඳ නාට්‍ය බලන්නෙ නෑ. මේ නිසා සංවිධායකයො මේ නාට්‍ය ගෙනියන්නෙ නෑ. නළි නිළියන් කාලයක් පුහුණු කරවන්නෙ නෑ. රිහසල් දෙක තුනයි. නාට්‍ය එනවා. අනෙක තුට්ටු දෙකේ දෙපිට කැපෙන විහිළු තියෙන කුණු නාට්‍ය...” කප්පරයා මැසිවිල්ලක් නැඟුවේ ඔළුවත් කසමිනි.

“එහෙම කියන්ඩ එපා. තවමත් හොඳ නාට්‍යකරුවො ඉන්නවා. ඒවත් මිනිස්සු බලනවා. පරණ නාට්‍ය කොයි තරම්වත් පෙන්නන්නෙ...” ගුරුතුමී ඒ කතාවට හරස් වූවාය.

“ඒ පෙන්වන්නෙ පෙස්ටිවල්වල... නැත්නම් පාසල් දර්ශන. මහජන දර්ශන අ‍ඩුයි....” ඇට්ටරයා ද කතාවට එක් විය.

“සමහරු නම් කරන්නෙ පහත් ම පෙළේ ගරානා වැඩ... ඒ අතරත් ගිලී මලෙත් දත සුද්දෝ ඉන්නවා වගේ වැදගත් නාට්‍යකාරයොත් ඉන්නවා... බලන්ඩකො තියෙන නම් ටික වුණත් කොතරම් ආතල් ද....” එවර සංවාදගත වුණේ කටකාර හැඩකාර සිසුවියකි.

“බල්ලොත් එක්ක බෑ” “සුද්දෙක් ඔබ අමතයි” “අං ආ‍වෝ” “තොත්ත බබාලා... “නරි බුරති” “මල්වඩම් අනවශ්‍යයි” “මනාළ යුවළක් ඕනෑ කැර තිබේ” “අලුත් හොරෙක් ඕනෑ” “ලෝරන්ස්ගෙ මනමාලි” “බකමූණා වීදි බසියි” “දෙබිඩ්ඩෝ” ගැබ්බර මිනිසා” “ඇසිඩ් වැස්ස” බලන්න මොනතරම් සුන්දර නම්ද?”

“ඒ කතාවට ඇට්ටරයාට ද කතා නොකර ඉන්නට ම බැරිය. ඇයි බං ඒ කාලෙ විධාන කරන නාට්‍ය කීයක් නම් තිබුණ ද?” ඔහු ඇසුවේ ය.

“ඒ මොනවාද?”

“මෙතැනින් මාරුවෙනු?”, “මිනිසුන් උඩ වැඩ” වගේ ඒවා...

“ඔය මොනවා කිව්වත් අද තියෙන වටිනාම නාට්‍ය ටික ඕක නොවෙයි.” ඇට්ටරයා තවදුරටත් පැහැදිලි කරයි.

“එහෙනම්, ඒ මොනවාද?” ළමයි අසති.

“ ‘බැංකු වීරයා’, ‘රජා මං වහලා’, ‘රූකඩ රාජ්ජේ’, ‘දෙයියොත් දන්නෙ නෑ’, ‘දුටු තැන අල්ලනු’, ‘හංකිති දහ තුන’, ‘බූරුවා මහත්තයා’ ‘මීයො නැතුව බෑ’

හරිම අපූරු නාට්‍ය ටිකක්. එහෙත් මේවාට බොරුවට බණින හිටපු (කැබිනට්) වැරදීමක්... (නාට්‍ය ප්‍රකාශකයොත් ඉන්නවා)

“ඒ අයට ගැළපෙන නාට්‍ය දෙකකුත් තියෙනවා...” කප්පරයා මැදින් පැන්නේය.

“ඒ මොකක්ද බං”

“අන්තඃපුරය හොරු කඩයි” ජනේලයෙන් පනින්නද?”

“තමන්ගෙ අන්තඃපුරයට කඩා පනින විට ජනේලයෙන් පැන යන්නට ගොස් අමාරුවෙ වැටුණු චරිතයක් ගැන ඇට්ටරයාට සිහි වුණේ එවිට ය. එදා කට්ටියට පමණක් නොව අද කට්ටිය අතරින් සමහරුනට ද මෙය නොගැළපෙන්නේ නැතැයි ඔහු හඬ ගා පන්තියට කීවේය. හෙට අනිද්දා හදන නාට්‍ය දෙකක් ගැනද ඔහු කීවේය. ඒවායේ නම් “ලූනු බික” හා “බැඳුම්කරේ” ය.

පන්හිඳ - උපාලි
තෙළිතුඩ - හර්ෂ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.