අනික් අ‍යගේ චෝදනා ගැනත් දැන් පරීක්ෂණ පවත්වන්න ඕනේ

රවි කරුණානායක අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා හමුවේ ඔහු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුණා. අස්වීමට පෙර මෙන්ම පසුවත්, මේ සම්බන්ධයෙන් විවිධ මතවාද දක්නට ලැබෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් දක්වන්නේ කෙබඳු අදහසක්ද?

එතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලෙස වාඩිවුණා. අලුත් දේශපාලන සංස්කෘතියකට පාර කැපීමක් එතුමා හරහා සිදුවුණා. මෙච්චර කල් අපි දැකලා නැහැ මේ වගේ තත්ත්ව ඇතිවෙනවා. මේ දක්වා අපි දැකලා තිබුණේ චෝදනා එල්ල වුණු අය ආරක්ෂා වෙනවා. සමහර වෙලාවට ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ගෙන් මේවා ගැන එදා ප්‍රශ්න ඇහුවා නම් සුදු වෑන් වලයි යන්න වෙන්නේ. සමහර මාධ්‍යවේදීන් අතුරුදන් වුණා. එවැනි තත්ත්ව තියෙද්දි යහපාලන මූලධර්ම මත ක්‍රියාත්මක වෙලා අධිකරණයෙන් වැරදිකරු වෙන්න කලින් ‍කොමිසමෙන් කරුණු සාකච්ඡා කරපුවාම එතුමාට විරුද්ධව චෝදනා නැඟුනම එතුමා පරීක්ෂණවලට ඉඩ හැරලා, ඒ තනතුරෙන් ඉවත් වුණා. ඒක ‍හොඳ ආදර්ශයක්. එක්සත් ජාතික පක්ෂය හැටියටත්, වර්තමාන ආණ්‍ඩුව හැටියටත් ජනතාව අපේක්ෂා කළ ආකාරයෙන් හැසිරිලා තිබුණා. මෙච්චර කල් එහෙම නොවේ තිබුණේ. අපි කියන්නේ අපේ ඇමැතිවරයකුට එහෙම චෝදනාවක් එල්ල වුණාම එහෙම ක්‍රියාත්මක වුණා. ජනවරම අපිට ලැබිලා තියෙන්නේ ඒ පසුගිය කාලයේ කරපු වංචා, දූෂණ වගේ දේවල්වලට නීතිය ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් කඩිනම් වෙයි කියලා. මොකද ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ගෙන්ම වැඩේ පටන් අරන් තියෙන්නේ. එහෙනම් අනිත් අයගේ පසුගිය කාලයේ ඒවත් කඩිනම් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම තමයි මේ රටේ පිරිසුදු පාලනයක් ඉස්සරහට ඇති වෙන්නෙ.

ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙක හමාරකට වැඩියි. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වසර දෙකක්ම කතා බහට ලක්වුණා. කෝප් කමිටුවේදීත් මේ සම්බන්ධයෙන් කතා වුණා. එතෙන්දි අධිකරණයට ගිහින්ලා ක්‍රියාත්මක කරන්න ඉඩ තිබුණා. මෙහෙම එදා ක්‍රියාත්මක නොවී අද ක්‍රියාත්මක වුණේ බැරිම තැන නේද?

නැහැ. මේක වෙනකොටම අගමැතිතුමා කොමිටියක් පත්කළා. ඊටපස්සේ ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් තීරණය කරලා ජනාධිපති කොමිසමක් පත්කළා. පාර්ලිමේන්තුවේ කෝප් එක‍ට මුහුණ දුන්නා. ඉතාම විනිවිද භාවයෙන් යුතුවයි අපි කටයුතු කළේ. පසුගිය ආණ්ඩු වගේ සිද්ධි යටගහන්න අපි කටයුතු කළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ප්‍රශ්නයේ බිල්ල විතරයි අහුවුනේ නිධානය තවම එහෙමමයි කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නය තවත් ඉදිරියට ඇදෙනවා කියලයි?

තියෙනවා නම් ඔප්පු කරන්න කියන්න. පරීක්ෂණ වලට කවුරුත් ඇගිලි ගහන්නේ නැහැනේ. මේ සිදුවීමෙන්ම පේනවා ආණ්ඩුව කිසිම පරීක්ෂණයකට ඇගිලි ගහන්නේ නැහැ කියලා. ස්වාධීනව තමා පරීක්ෂණ කරන්නේ කියලා.

බැඳුම්කර සිදුවීමෙදි ආණ්ඩුවේ තවත් ඇමැතිවරු කිහිපදෙනකුට චෝදනා එල්ලවෙලා තියෙනවා. ඒ අයට ‍මොකද වෙන්නේ?

චෝදනා කියන ඒවා ‍ඕන කෙනකුට නගන්න පුළුවන්. චෝදනා එල්ලවූ පමණින් ම වරදකරුවෙක් වෙන්නේ නැහැනේ. මට වුණත් චෝදනා තියෙනවා නම් ඒක විභාග වෙන්න ඕනේ. විභාග වෙලා ඒවාට වරදකරුවෙක් වුණොත් ඒ අයට රටේ නීතියක් තියෙනවානේ‍. ඒක කාටත් පොදුයි.

යහපාලන මූලධර්ම අනුව ආ‍ණ්ඩුව කටයුතු කරන බව මේ සිඳුවීමේන් ඔප්පු වුණු බව ඔබ කිව්වා. යහපාලනය කියන්නේ වරදක් කරලා නිවැරදි කිරීමද? මුල සිටම වරදක් නොකර සිටීමද?

හැමදෙයක්ම නිවැරදිව කරන්න තමයි යහපාලනය කටයුතු කරන්නේ. යහපාලනය කියලා 100%ක්ම බෝසත්වරු එක්ක නොවේ අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් යහපාලනය කියලා පොලිසි ඕනේ නැහැ. උසාවි ඕනෙත් නැහැ. දහම් පාසල් ඕනෙත් නැහැ. යහපාලනය කියලා බෝඩ් එක තිබ්බට ඒවා වෙන්නේ නැහැ. යහපාලනය නම් ඒවාත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ.

මේ වනවිට ආණ්ඩුවේම තවත් ඇමැතිවරු දෙදෙනකුට විශ්වාසභංග ගෙන ඒමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයෙන් කියලා තියෙනවා. මේවායින් පේන්නේ ආණ්ඩුවේ ඉදිරි ගමන අභියෝගාත්මකයි කියලා නේද?

ඕනෑම කෙනකුට විශ්වාසභංග නොවේ,‍ වෙනත් ඕනෑම දෙයක් ගෙන්න පුළුවන්. ඒත් ඒවා ජයග්‍රහණය කරන්නත් ඕනෑ. ඔයිට කලිනුත් විශ්වාසභංග ගෙනල්ලා ගෙනාපු අයම සවුත්තු වෙනවා අපි දැක්කා.

2015 ජනවාරි 8 වැනිදා තමයි යහපාලන ආණ්ඩුවට මුල පිරෙන්නේ. එදා පටන් අපි දකිනවා නොයෙක් චෝදනා ආණ්ඩුවට එල්ලවෙනවා. දූෂණ චෝදනා මෙන්ම ඇතැම් ඇමැතිවරු ගැන චෝදනා එල්ල වුණා. මේවා බලපුවාම මේවා යහපාලනයට ඔබින වැඩද?

යහපාලනයට අනුව චෝදනාවක් එල්ල වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැතිව චෝදනා කළ පමණින් කවුරුත් වැරදියි කියන්න බැහැ. මොකද විපක්ෂය ගත්තොත් කරන්නේම චෝදනා එල්ල කරන එකයි. අනිත් එක අද ‍චෝදනා තියෙන අයමයි අනික් අයට චෝදනා එල්ල කරන්නේ. අවුරුදු දෙක හමාරක් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න පමාවුණු එකෙන් දැන් වෙලා තියෙන්නේ චෝදනා තියෙන අය අනික් අයට චෝදනා කරන තත්ත්වයකට පත්වීමයි.

නීතිය ක්‍රියාත්මක කිරීමට පමාවීම ආණ්ඩුවේ ප්‍රශ්නයක්නේ?

ඔව්! ප්‍රමාදයක් තියෙනවා කියලා මමත් දකිනවා. අවුරුදු දෙක හමාරක් තිස්සේ අපිත් බලන් හි‍ටියා මේවා ඉස්සරලා වෙයි කියලා. මමත් දන්නෙ නැහැ මොකද කියලා. ප්‍රමාදයක් තිබෙන බව නම් ඇත්ත. ජනතාවත් කියනවා ප්‍රමාදයක් තියෙන බව. බරපතළ චෝදනායි එල්ලවෙලා තියෙන්නේ. ඒවාට මොන විදිහකින් හරි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේවා කඩිනමින් වෙනවා නම් හොඳයි.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් විවිධ මතවාද තිබෙනවා. ආණ්ඩුවට බාහිරින් මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේද මේ ගැන විවිධ ගැටලු මතුවෙලා තිබෙන බව පේනවා?

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කළා. නමුත් ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය මේක පාර්ලිමේන්තුවට දාන්න ඕනේ කියලා තීරණය කළා. විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවලා ආණ්ඩුව විසින්ම යෝජනාවක් ගෙනාවා විවාදයක් දෙන්න. මේවා විපක්ෂය ඉල්ලලා ගන්න ඕනෙ ඒවා. මොකද විපක්ෂයට තමන්ගේ මතවාද දක්වන්න අවස්ථාවක් ගන්න. නමුත් විපක්ෂය සැලසුම් සහගතව ගැටුමක් ඇති කරලා ඒ අවස්ථාව නැති කරගත්තා. මොකද ඒ අය දන්නවා, විවාදය තිබුණා නම් ඒ අය පසුගිය කාලයේ සුදු අලි ව්‍යාපෘති කරද්දි කරපු ගනුදෙනු එළියට එනවා කියලා. චීනයට සින්නක්කරව දීපුවා එහෙම. ඒකාලේ තමයි සින්නක්කරව දුන්නේ. මේ ආණ්ඩුව ආවට පස්සේ ඒවා දීර්ඝ කාලීන බදු ව‍ශයෙන් තමයි දෙන්නෙ. අපි එක බිම් අගලක් වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නැහැ.

චීන සමාගමට බදු ලබා දුන් හම්බන්තොට වරාය නැවතත් ජනසතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ‍කියලා තියෙනවා. ඒ එක්කම ආණ්ඩුවේ ඇමැතිවරුත් මෙහිදි ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වලා තියෙනවා?

ආණ්ඩුවේ එක් ඇමැතිවරයෙක් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා විතරයි මම දැක්කේ. වෙන කවුරුත් නැහැ. අපි කැබිනට් මණ්ඩලය හැටියට සාමූහික තීරණයක් ගත්තා අපි ඔක්කොම ඒකට වග කියනවා. මොකද මේ රට අගාධයට වැටිලා ජනතාව පිට අසීමිත ණය කන්දරාවක් පටවන්න පුළුවන්කමක් තවදුරටත් අපට නැහැ. රට ගොඩ නගන්න ඕනේ. ඒ නිසා ද්විපාර්ශ්වික ගිවිසුමකට ගිහින්ලා රටට යහපත් විදිහට කටයුතු කරන්නයි අපි හදන්නේ.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව නොවේ පසුව අස්සන් කළේ කියලත් කියනවා නේද?

නැහැ. කවුද කියන්නේ. ඕනේ කෙනකු‍ට පාර්ලිමේන්තුවේ මේසේ උඩ ගිහින් බලන්න කියන්න

ඒ හින්දා නේද පසුගිය සතියේ කැබිනට් හමුව උණුසුම් වුණේ?

නැහැ කිසිම උණුසුමක් තිබුණේ නැහැ. අනික ඉස්සර වගේ නොවේ දැන්. අපි අවශ්‍ය දේවල් කතා කරනවා. ඉස්සර නම් ලොක්කා ‍යෝජනාව ගෙනාව හැමෝම සිග්නල් කණු වගේ අත ඉස්සුවා. ආණ්ඩුව පෙරලිලා ‍චොපර් එකෙන් මැදමුලනට ගියාට පස්සේ තමයි හුඟ දෙනෙක් කටක් ඇරලා කතා කරන්න ගත්තෙ. දැන් එහෙම නැහැ. දැන් ඉතාම විනිවිද පාලනයක් තියෙන්නේ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිතුමා අවස්ථාව දීලා තියෙනවා. අගමැතිතුමාත් එහෙමයි. හැමෝගෙම අදහස් එන්න දෙනවා. අන්තිමට සාමුහික තීරණයක් ගන්නවා.

ගිවිසුමට එළැඹි සමාගම තොරාගත් ආකාරය සහ තක්සේරුව සකස්වීම ආදිය ගැටලු සහගත බවට චෝදනා එල්ල වෙනවා?

කැබිනට් මණ්ඩලයට මේවා ‍යෝජනා වෙද්දී ඉතාමත් විනිවිදබවින් සිද්ධවෙන බවයි අපි නම් දැක්කේ. ඉස්සර නම් කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ. විවාදත් නැහැ. පාර්ලිමේන්තුව දැකලත් නැහැ. පවුලේ කිහිපදෙනකුට අවශ්‍ය විදිහටයි සියල්ල සිද්ධ වු‍ණේ. අද ‍එහෙම නැහැනේ.

හම්බන්තොට වරාය බදුදීම, ත්‍රිකුණාමල වරාය පැවරීම වගේ සිදුවීම් ගණනාවකට ආණ්ඩුව මුල්වෙන බව පසුගිය කාලයේ අපි දැක්කා. මේ නිසාම දේශීය සම්පත් විදේශවලට පැවරීම ගැන මේ ආණ්ඩුවට බ‍රපතළ ‍‍චෝදනාවක් එල්ල වෙනවා?

බදු දීලා හරි මේ රට ගොඩ ගන්නවනම් හරිනේ. ජාතික ආලය කිය කිය ඉන්නේ නැතිව අවුරුදු ගණනක් තිස්සේ නිකම් මලකඩ කකා තිබ්බ ඒවා, කාට හරි දීලා ඒවායින් ආදායම් උපදවලා, රටේ ණය උගුලෙන් ‍බේරගන්න එකනේ කරන්න ඕනේ. අනික ජනාධිපතිතුමයි, අගමැතිතුමයි නිතරම කියලා තියෙනවා රටට අහිතකර දෙයක් එතුමාලා කරන්න දෙන්නේ නැහැ කියලා.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට පළාත්පාලන මැතිවරණය වසර දෙක හමාරක් තිස්සේ පවත්වලා නැහැ. ඊළඟට පළාත් සභා ඡන්දයත් කල්යන ලකුණු පෙන්වමින් තියෙන්නේ. මේ ආණ්ඩුව කියන ප්‍රජාතන්ත්‍රවාදය ද කියලා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා?

පළාත්පාලන ඡන්දය‍ දෙසැම්බර් වෙනකොට පවත්වනවා. ඒක පවත්වන්න පමා වුණේ අපේ වරදකින් නොවේ. සීමානිර්ණය කරන හැටි සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වු‍ණා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඔහුගේ අපේක්ෂකයන්ට ඕනේ විදිහට කඩලා දාලා තිබුණු එක සියලුම පක්ෂවල එකඟතාව අරගෙන අද කොට්ඨාස අලුතින් නිර්ණය කරන්න සිද්ධවුණා. ඒක නිවැරදි නොකර තිබ්බනම් ඒක බලවත් වරදක්. ඒකට යම් කාලසීමාවක් අවශ්‍ය වුණා.

ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය මග හැරියේ ආණ්ඩුවට ජනප්‍රසාදයක් නැති නිසා නොවේද?

නැහැ. ආණ්ඩුවටයි ඉක්මන් මැතිවරණයක් ඕනේ. පළාත්පාලන කියන්නේ ආණ්ඩුවකට කොච්චර වාසි සහගත ඡන්දයක්ද? අපි විපක්ෂයේ ඉන්නකොට දන්නවානේ, ජනතාවට අපි කිව්වා, මේ පාර ආණ්ඩුව පලවා හරින පළමු වෙඩි මුරය පත්කරන්න කියලා. ඒත් ජනතාව කවදාවත් ඇහුවද? මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ජනතාව බුද්ධිමත්. ඒ අය දන්නවා, පළාත්පාලන ඡන්දවලින් ඒ අයට අවශ්‍ය කරන්නේ ග‍මේ පාර හදා ගන්න.බෝක්කුවක් හදාගන්න. වගේ දේවල්. ඒනිසා ඒ අය ඡන්දය දෙන්නේ බලය තියන පක්ෂයටයි. මොකද ආණ්ඩුවටනේ ග්‍රාමීය අවශ්‍යතාවලට ප්‍රතිපාදන දෙන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවට පළාත් පාලන ඡන්දය තියන එක වාසිදායකයි. ඡන්දය තිබ්බහම ආණ්ඩුවට ලැබෙන ජනවරම ඔය කෑගහන අය තේරුම් ගනීවි. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට පළාත්පාලන ඡන්දය තියන්නයි අපිට ඕනේ.

20 වැනි සංශෝධනයට මුවාවෙලා පළාත් සභා ඡන්දයත් කල් දමන්න නේද සුදානම් වෙන්නේ?

ආණ්ඩුව බලය ගන්න කොටම ජනතාවට ප්‍රකාශ කළා අනිවාර්යෙන්ම අපි පළාත්පාලන ඡන්ද කඩින්කඩ තියන සිල්ලර ඡන්ද ක්‍රමය නැති කරනවා කියලා. මෙහෙම පසුගිය ආණ්ඩුව ඡන්ද තියලා රට අමුතු තැනකටයි අරගෙන ගියේ. එක පළාතක ඡන්දය තියෙනකොට ඇමැතිවරු බුරුතු පිටින් ගිහින්, පදිංචිවෙලා, රාජ්‍ය දේපොළ අමු අමුවේ යොදාගෙන තමයි ඡන්ද කළේ. ඒනිසයි අපි ඡන්ද ව්‍යාපාරයේදී කිව්වේ එක දවසේ ඡන්ද තියෙන ක්‍රමයකට යනවා කියලා. දැන් ඒකට අවශ්‍ය වෙනස්කම් කරමින් අපි ඉන්නේ. අපි සූදානම් නැහැ ආණ්ඩු බලේ යොදාගෙන ඡන්ද කෑලි කෑලි තියලා කටයුතු කරන්න. අපි‍ බොහොම ප්‍රජාතන්ත්‍රවාදීවයි කටයුතු කරන්නේ. එහෙම ඡන්දය තිබ්බහම රටේ ජනමතයත් නිවැරදිව පිළිබිඹුවෙනවා. 

මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූපය - සමන්ත වීරසිරි 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.