යහපාලනය සාර්ථක වෙනවා

 මාස කිහිපයක් තිස්සේම වෘත්තීය සමිති විසින් කරනු ලබන ඉල්ලීම් මෙන්ම වර්ජන උද්ඝෝෂණවල කෙළවරක් නැත. මාධ්‍ය මඟින් ද දිනපතාම වාර්තා වන්නේද උද්ඝෝෂණ උසාවි නියෝග පිළිබඳවය. එසේම දේශපාලන කරළියේද පසුගිය දින කිහිපය පුරාම දැඩි කතාබහට ලක් වූ මාතෘකා රැසක් විය. රටේ ආර්ථිකය සම්බන්ධ ගැටලු මෙන්ම විවිධ පුද්ගලයන්ට එල්ල වූ චෝදනා මේ අතර වැඩි වශයෙන් කතා බහට ලක් විය. මේ සම්බන්ධව අප මෙවර සිළුමිණ සමඟ කතාබහට එක්කර ගනු ලැබුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාය.

හොරු අල්ලනව කියල බලයට පත් වෙච්ච ආණ්ඩුවේ ඇමැතිවරුන්ට වගේම ආණ්ඩුව විසින් පත් කරපු ආයතන ප්‍රධානීන්ට අද දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා.

කවුරුන් කළත් දුෂණය සොරකම වැරැදියි. ඒ සම්බන්ධව සොයා බලන්න අවශ්‍ය කොමිසම් වගේම නීති පද්ධතිය ශක්තිමත් කිරීම මේ රජය යටතේ පැහැදිලිවම සිදු කළා. ඒ සියල්ල අතීතයට විතරක් නෙමෙයි වර්තමානයටත් බලපාන පරිදි ක්‍රියාත්මක වෙනවා.

නමුත් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් ලෙස ඔබතුමා දරන මතයක් මේ සම්බන්ධව තිබිය යුතු වනවා. අඩුම ගානේ පෞද්ගලික මතයක් හෝ තිබිය යුතු වනවා....

කැබිනට් ඇමැතිවරයෙක් කරන ප්‍රකාශ බොහෝ විට රජයේ මතය රජයේ ස්ථාවරය බව පෙනෙන්නට පුළුවන්. ඒ බව බොහෝ විට ජනතාවට ඒත්තු යාමට පුළුවන්. එම නිසා ජනතා නියොජිතයකු කැබිනට් ඇමැතිවරයකු ලෙස මොනතරම් පෞද්ගලික මත තිබුණක් ඒ මත පෞද්ගලික නම් තමන් වෙතම තබා ගැනීමම කළ යුතු බවයි මා සිතන්නේ. මාධ්‍යට අදහසක් පැවසු විගසම එහි ඇති පෞද්ගලිකතාව නැතිව යනවා.‍

එසේ වුවත් මුලින් පැවසු පරිදි හොරු ඇල්ලීම වෙනුවට ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවයි පැවසෙන්නෙ. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තවම වැරැදිකරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ නේද?

රජය විසින් කරනු ලබන්නේ යම් දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට විරුද්ධව නීතිය මඟින් කටයුතු කිරීමට සැලැස්වීම පමණයි. නඩු ඇසීම විභාග කිරීම මෙන්ම ඒ සම්බන්ධව දඬුවම් නියම කිරීම සිදු කරන්නේ අධිකරණය විසින්. මේ රජය ස්වාධීන අධිකරණ කොමිසම් පත් කර තිබෙනවා. අධිකරණයේ නඩු විභාග වීමෙන් පසුව අවශ්‍ය පරිදි ඒ නීතිය ක්‍රියාත්මක වෙයි. රජය අධිකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාදාමය කෙරෙහි කිසි ලෙසකින් අත ගසන්නේ නැහැ.

කොහොම වුණත් අද වන විට ආණ්ඩුවේ වැඩ ගැන ජනතාවට ප්‍රසාදයක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැහැ

ආණ්ඩුව ජනතාවට අවශ්‍ය තරමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබා දීල තියෙනවා. ඒ නිදහස අනුව යමින් තමයි මේ සියලුම උද්ඝෝෂණ පිකටිං කරන්නේ. අද ජනතාවට වීදි බසින්න බාධාවක් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි සිදුවෙනවානම් යහපාලනය නිසි පරිදි ක්‍රියාත්මක නම් මේ තරම් උද්ඝෝෂණ සිදු වෙන්නේ කොහොමද?

ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවක් තියෙන ආණ්ඩුවක් තියෙන්නේ. ඒක නිසා කිසිදු බියක් නැතිව ඕනෑම උද්ඝෝෂණයකට පිකටිං එකකට යන්න අද හැමෝගෙම බය නැතිවෙලා. නමුත් පොඩි දේටත් මේ පිකටිං උද්ඝෝෂණ කරන එකනම් අනුමත කරන්න බැහැ.

පක්ෂ දෙක එක මතයකට ජනතා සේවයකට එකතු වුණා නම් මේ විදිහට ගැටලු ඇති වෙන්නෙ නැහැනේ. මෙතන පක්ෂ ප්‍රශ්නවලට වඩා ප්‍රතිපත්ති ප්‍රශ්න තිබෙන බවයි පෙනෙන්නේ.

අපේ රටේ ප්‍රථම වරටයි මෙම පක්ෂ දෙක එකතු වෙලා කටයුතු කරන්නේ. ඒක නිසා ගැටලු ඇති වෙන එක ස්වාභාවිකයි. පැහැදිලි ප්‍රතිපත්තියක් ආණ්ඩුවට තිබෙනවා. ඒ යහපාලන ප්‍රතිපත්තිය. ඒක නිසා තමයි ඕනෑම බලවත් පුද්ගලයෙකුට විරුද්ධව කටයුතු කරන්න අද හැකියාව ලැබිල තියෙන්නේ. මේ පක්ෂ දෙක එකතු වෙලා කරන ආණ්ඩුව අපේ රටේ දේශපාලනයට විතරක් නෙමෙයි ලෝක දේශපාලනයටත් අලුත් දෙයක්. මා කලින් කිව්වා වගේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක් නිසා පක්ෂ දෙකේම අනුගාමිකයන්ට නිදහස තියෙනවා හැකියාව තිබෙනවා අපේ ආණ්ඩුවක් කියන මතය යටතේ කටයුතු කරන්න. එහෙත් ඇතැම් විට සීමාව ඉක්මවා යන තත්ත්වයක් තිබෙනවා. ඒ ලබා දී ඇති අසිමිත නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. මාධ්‍යයේ පවා ඒ තත්ත්වය දකින්න පුළුවන්. කෙහොම වුණත් සීමාව ඉක්මවා යෑම අනුමත කරන්න බැහැ.

කොහොම වුණත් සමහර කරුණුවලදී ආණ්ඩුව නිසි පරිදි කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. රතුපස්වල සිද්ධියට අදාළ සාක්ෂි පවා මේ වන නොමැති බව දැන ගන්නට තියෙනවා. රහස් පොලිසිය විසින්මයි ඒ බව අධිකරණයට වාර්තා කර තිබෙන්නේ. පොලිසිය ඒ සියල්ලටම වගකිව යුතු වනවා. නමුත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

අප අධිකරණ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. එම සිදුවීම් සම්බන්ධයෙන් මා තවම දැනුවත්ව නැහැ. කොහොම නමුත් කවුරුන් විසින් හෝ වරදක් කර ඇත්නම් ඒ අයට නිසි දඬුවම් ලැබේවි. පොලිසියේ ඉහළම නිලධාරීන් පවා මේ වන විට සැකකරුවන් වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරුන් අතර පවා පවතින්නේ එක එක මතයන්. යහපාලන රජයක් නම් එක මතයක එක ප්‍රතිපත්තියක සිටිය යුතුයි. අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් පොදු ප්‍රතිපත්තියකට එන්න බැරිනම් කොහොමද ජනතා සේවය කරන්නේ.

මැති ඇමැතිවරුන් කවුරුත් තම තමන්ගේ පෞද්ගලික අදහස් - මත ඉදිරිපත් කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක්. බොහෝ විට ඒ මතය රජයේ මතයක් ලෙසින් ජනතාව තේරුම් ගන්නේ. ඒ වගේම මාධ්‍ය මඟින්ද ඒ මතයන් සම්බන්ධව ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය ජනාධිපතුතිමාත් අගමැතිතුමාත් නිසි පරිදි අධ්‍යයනයකින් කටයුතු කරන්නේ. ඒ වගේම අදාළ අමාත්‍යාංශය හරහා ඒ සඳහා සුදුසු දේ කරාවි. අවස්ථාවේ තිබෙන සුදුසුම ක්‍රියාදාමය ක්‍රමය තමයි ආණ්ඩුව විසින් අරගන්නේ.

කුමන කරුණකදී වුවත් රට ගැන කල්පනා කිරීමේදී දේශපාලඥයන් එක මතයක සිටිය යුතුයි නේද?

අනිවාර්යෙන්ම ඒ දේ සිතිය යුතු වනවා. මගේ ප්‍රතිපත්තියත් පළමු ව රට ගැන සිතීමයි. එල්.ටී. ටී.ඊ. සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ මම හිටියේ 9 වන ස්ථානයේ. ඒ රාජ්‍ය ආදායම් හා මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස සිටි නිසා. නමුත් මා හැම විමට රට ගැන සිතමින් තමයි සියලු ක්‍රියාදාමයන් කරනු ලැබුවේ. කිසිවිටෙක වෙනත් කරුණක් ඉස්මතුව කටයුතු කෙළේ නැහැ. එහෙම වුණා නම් ජනතාව අනිවාර්යයෙන්ම මාව ප්‍රතික්ෂේප කරනවා. මාව පමණක් නෙමෙයි ඕනැම අයෙක් ප්‍රතික්ෂේප කරනවා.

උමා ඔය ප්‍රශ්නය දැන් යට ගිහින්. ඒ සඳහා වාර්තා හදපු අය දැන් නිහඬයි. මේ අය සම්බන්ධව ගන්නා පියවරක් නැද්ද?

පළමුව අප කටයුතු කළ යුත්තේ මේ සංවර්ධන ව්‍යාපෘතිය රටට වාසිදායක වන ආකාරයට කළ යුත්තේ කෙසේද යන්න ගැනයි. එමෙන්ම ඒ ව්‍යාපෘතිය නිසා අපහසුතාවට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ සියල්ල මේ වන විට කෙරෙමින් පවතින්නේ. මා මුලින් කිව්වා වගේ රටේ ඕනෑම ප්‍රබල අයෙකුට එරෙහිව වුවත් නීති මඟින් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ කටයුතු අවශ්‍ය වේලාවට කෙරෙයි. පළමුව සිදු විය යුත්තේ ජනතාව දෙස බැලීමයි. අපහසුතාවට පත් වූ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමයි.

සයිටම් ප්‍රශ්නයත් එසේමද?

අපේ රටේ හුඟක් අය විශේෂයෙන්ම වෘත්තීය සමිති පුරුදු වෙලා තියේනේන ෂයිලොක් න්‍යායෙන් වැඩකරන්න. මස් රාත්තලම ඉල්ලනවා. මේ නිසා ලෙහෙසියෙන් විසඳා ගන්න පුළුවන් ප්‍රශ්න ගොඩාක් දිග්ගැස්සෙනවා. අන්තිමට ආයෙත් මුලටම එනවා. හැමෝම නම්‍යශිලීව කටයුතු කරනවානම් මේ ප්‍රශ්න ගොඩාක් සරලව විසඳා ගන්න පුළුවන්. රට ගැන ‍රටේ ආරථිකය ගැන පළමුව හිතනවානම් ප්‍රශ්න මේ තරම් දුර දිග යන්නේ නැහැ.

රැකියා විරහිත භාවයත් ඉහළ යමින් තිබෙනවා. උපාධිධාරීන් රැසක් රැකියා නැතිව ඉන්නවා

අනෙක් ආසියානු රටවල් එක්ක සාපේක්ෂව බලද්දි අපේ රටේ අධ්‍යාපනය ඉහළ මට්ටමකයි තියෙන්නේ. අපට ප්‍රශ්නවෙලා තියෙන්නේද අධ්‍යාපනය හා රටේ ඉල්ලුම අතර විශාල පරතරයක් තියෙන එනයි. උපාධිධාරින් ලක්ෂයකට රැකියා දුන්නා මීට අවුරුදු 5කට කලින්, කොහොම වුණත් දැන් ආයෙමත් ඒ වගේම උපාධිධාරින් සිටිනවා. හැම අධ්‍යාපන ක්ෂේත්‍රයක අවසානය රැකියාවක් විය යුතු නැහැ. එහෙම වුණොත් ලෝකේ ඉස්සරහට යන්නේ නෑ. කලාකරුවෝ, දාර්ශනිකයෝ ආදී විවිධ ක්ෂේත්‍ර තිබිය යුතුයි. බහුතරයක් රැකියා අභිමුඛ අධ්‍යාපන ක්ෂේත්‍රයක් පැවතුණොත් මේ පවතින පරස්පරය ඇති වෙන්නෙ නැහැ. ලෝකේ බෝහෝ රටවල අධ්‍යාපනය අද ඒ තැනට යොමු කරගෙන තියෙනවා. රැකියා පෝලිමක් නෑ. රැකියා විරහිත උපාධිධාරි සංගම් බිහිවෙන්න අවශ්‍ය නැහැ. එයට අපේ රටේ කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවන් තාක්ෂණික පැත්තට යොමු කිරීම.

ජල විදුලිය ප්‍රශ්නෙත් හුඟක් උග්‍රවෙලා, අපේ රටට තාප බලාගාර ඔරොත්තු දෙන්නෙ නෑ. අධික වියදමක් දරන්න වෙනවා.

ගියවර අයවැයට අනුව රාජ්‍ය ආයතන සියල්ලගේම වහල සුර්යබලාගාර බවට පත් කරන්න කැබිනට් මණ්ඩලයෙදි අනුමැතිය ලබා ගත්තා. මගේ උත්සාහය තමයි ගෙවල් ලක්ෂ 10ක වහල සුර්යබලාගාර බවට පත් කිරීම. අපට ජල විදුලියෙන්ම යැපෙන්න බැහැ. පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන්න ඕන.

තාරක වික්‍රමසේකර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.