රවිගේ ඉල්ලා අස් වීම හා විජයදාසගේ ප්‍රකාශය

 අපේක්ෂා කළ ආකාරයටම රවී කරුණානායක අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් විය. මහින්ද රාජපක්ෂ පාලනය රට තුළ තහවුරු කර තිබූ දේශපාලන සංස්කෘතිය තුළ එය ඇතැමකුට පුදුමයකට කාරණාවක්ම විය. හැඟීම්බරව බලමින් රවීගේ ඉල්ලා අස් වීම ගැන වඩාත්ම කනගාටුවට පත්ව සිටිනුයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ය. පැවැති දූෂිත පාලනයේ හොරු ඇල්ලීමට පත් කර ගත් රජයක් යටතේ රවී වැනි එජාපයේ ඉදිරි පෙළ නායකයකුට බෙල්ල දීමට සිදු වීම පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ අපේක්ෂා විරහිත කනගාටුවක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මේ කාරණයේදී රවී වෙනුවෙන් පෙනී නොසිටි එජාප පාක්ෂිකයන් වෙතින් පවා එවැනි ස්වභාවයක් පෙනෙන්නට තිබේ. එහෙත් මේ ඉල්ලා අස්වීම පිළිබඳ එජාප ආධාරකරුවන් ඒ හැටි කලබලයට පත් විය යුතු නැත. රවීට දැමු “දුස්රාව” ගැන සැබැවින්ම බිය විය යුත්තේ එජාප පාක්ෂිකයන් නොව ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියාගන්නා කණ්ඩායමේ නායකකාරකාදීන්ය. රවීගේ ඉල්ලා අස් වීමත් සමඟ “විවේක සමය” අවසන්ව තිබේ. රාජපක්ෂ සමයේ සිදු වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වැනි මෙකී නොකී ආන්දෝලනාත්මක ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා ප්‍රබල මහජන තෙරපුමක් මේ වන විට රට තුළ නිර්මාණය වෙමින් පවතී.

රවීගේ ඉල්ලා අස්වීමත් සමඟ මතුව ඇති රිදී රේඛාව එයයි. රාජපක්ෂ සමයේ සිදු වුණු මහා පරිමාණ දූෂණ වංචා පරීක්ෂණ අතරින් බහුතරයක් මේ වන විට අවසන්ව ඇති අතර බැඳුම්කර සිද්ධිය ඉදිරියට දමමින් ඒවා පිළිබඳ මහජන අවධානය වෙනතකට යොමු කිරීමට ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායම උත්සාහ දැරූහ. මේ වන විට එබඳු සිදුවීම් 88ක පමණ මූලික පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන්ව ඇති අතර, ඒවා සම්බන්ධව අධිකරණයේ නඩු කටයුතු ගොනු කිරීමට යහපාලන රජය දැන්වත් කටයුතු කළ යුතුය.

රවී කරුණානායකගේ ඉල්ලා අස් වීම පිළිබඳව රාජපක්ෂ හිතවාදී දේශපාලනඥයන් සිදුකරන ප්‍රකාශ සැබැවින්ම හාස්‍යජනකය. අවම තරමින් මේ ආකාරයට කටයුතු කිරීමට තරම් අවම හෝ සදාචාරයක්, උනන්දුවක් රාජපක්ෂ රට කරන සමයේ ශ්‍රී ලංකාව තුළ නොවිණි. ඉල්ලා අස් වීම් වෙනුවට ඩබල් ප්‍රමෝෂන් ලබාදීම එකල රටේ පිළිගත් ක්‍රමය විය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ භාවිත කරමින් සිදු කළ “කුඩු පළහිලව්වක්” පිළිබඳව විශාල ආන්දෝලනයක් වසර කිහිපයකට පෙර රටේ ඇති විණි. මේ සමස්ත සිදු වීම ගත් කල අපරාධයට සම්බන්ධ වීම හෝ අපරාධකාරී වගකීම් රහිත වීම පිළිබඳව එකල සිටි අගමැතිවරයාට මිදිය නොහැකි විය. එවැනි තත්ත්වයක් තුළ අවම හෝ සදාචාරයක් ඇත්තෙකු නම් කරනුයේ තම ධුරයෙන් ඉල්ලා අස් වීම වුවත් රාජපක්ෂලා එවැන්නක් වෙනුවෙන් කටයුතු කළේ නැත. අවම තරමින් ඒ සඳහා උත්සාහයක් හෝ දැරුවේ නැත. එබඳු ඉතිහාසයක් තුළ රවී කරුණානායක හිටපු ඇමැතිවරයාගේ ඉල්ලා අස් වීම තරමක ඉදිරිගාමී තත්ත්වයකි. රවීගේ ඉල්ලා අස් වීම තුළ පෙනෙන්නට ඇත්තේ යම් මට්ටමකින් හෝ මහජන මතයට කන් දීමක් වත්මන් රජය සිදු කරන බවය. කෙසේ වෙතත්, තමන් මහජන මතය කෙරෙහි අවධානය යොමු කරන බව රජයට වඩාත් හොඳින් පෙන්විය හැක්කේ රටේ ජාතික ධනය අමු අමුවේ පසුගිය කාලයේ කොල්ල කෑ කම්බ හොරුන්ට සාධාරණ හා වේගවත් නඩු විභාගයක් යටතේ දඬුවම් පැමිණවූ දිනකය. මේ වන විට සෑහෙන ප්‍රමාද වී තිබුණ ද පමා වී හෝ එම ගමන දැන්වත් රජය ආරම්භ කිරීම වැදගත් වනුයේ එවැනි පසුබිමක ය. අනෙක් අතට එය රජය අභ්‍යන්තරයේ ස්ථාවරය පවත්වාගෙන යෑමට වැදගත්ය. රවී කරුණානායකගේ ඉල්ලා අස් වීම තුළ ඇති වූ “විරහා වේදනාව” තුළ ඇතැම් එජාප මැති ඇමැතිවරු දැනටමත් කඩු සුද්ද කිරීමට පටන්ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. මේ සියලු තත්ත්වයන් කළමනාකරණය කිරීමට නම් හොරුන්ට හා දූෂිතයන්ට එරෙහිව රටට පෙනෙන, රටේ ජනතාව විශ්වාස කරන ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම ගමන් කිරීමට රජයට ඉදිරි කාලයේදී සිදු වනු ඇත.

රවී කරුණානායකගේ ඉල්ලා අස් වීම හා සම්බන්ධ සිදුවීමට නොදෙවැනි ඉඩකඩක් ගෙවුණු සතියේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂටද මාධ්‍ය තුළ හිමි විණි. චීනයට පවරන ලද හම්බන්තොට වරාය නැවත රජයට පවරාගෙන මිස පසු නොබලන බව ආඩම්බරයෙන් කියමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ලාභ හා බාල දේශපාලනයක නිරත වීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? මේ ප්‍රකාශය අපට කියවීමට සිදු වනුයේ “මැතිසබයේ ප්‍රාඥයා” ලෙස පෝස්ටර් ගසමින් පාර්ලිමේන්තුවට පැමිණි විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ මෑත කාලීන ක්‍රියාකාරකම් සමඟිනි. සරලව කෙටියෙන්, වංගු නොගසා පැවසුව හොත් විජයදාස රාජපක්ෂ යනු වත්මන් ආණ්ඩුව තුළ සිටින ජනප්‍රිය ඇමැතිවරයෙක් නොවේ. උගත් ජනාධිපති නීතිඥවරයකු වන විජයදාසගේ ප්‍රකාශ හා හැසිරීම් පසුගිය කාලයේදී වත්මන් යහපාලන රජයේ අමාත්‍යවරුන් ගණනාවක් පමණක් නොව එම කඳවුර වටා ගොනුව සිටින සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා බිම් මට්ටමේ ආධාරකරුවන් තුළ පවා ඒ හැටි ප්‍රසාදයක් ජනිත කරලීමට සමත් නොවීය.

බොහෝ දෙනා දරන මතයට තමන් එරෙහි වන බව පෙන්වමින් කැපී පෙනීමේ පුරුද්ද ඔහු තුළ වැඩ කරන බවක් නිතරම පිටතට පෙනෙන්නට විය. කුප්‍රකට ඇවන්ගාඩ් සිදුවීමේදී පමණක් නොව, තමන් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කරන තාක් කල් ගෝඨාභය රාජපක්ෂ වැන්නන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ විජයදාස අමාත්‍යවරයා පැවැසීම වැනි කාරණා තුළ ඒ තත්ත්වය මනාව දැකගත හැකි විණි. එපමණක් නොවේ, යහපාලන කඳවුරට වහකදුරු වූ සිංහල ස්වොත්තමවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමඟ ද ඇමැති විජයදාස සෙසු බොහෝ දෙනෙකුට නැති ළඟ සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ලේ උපත ලැබූවකු වන විජයදාස රාජපක්ෂගේ සමස්ත දේශපාලනයම පිරී ඇත්තේ මෙබඳු ආන්දෝලනාත්මක හැසිරීම්වලිනි. 2004 වසරේ මැයි මාසයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු ඔහුට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය ධුරය පිරිනැමු මුත් ඔහු එය ප්‍රතික්ෂේප කර සිටියේය. 2005 වසරේ නොවැම්බරයේදී රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු පත් කළ ද ඔහු එම ධුරය හෙබවූයේ මාස 05කටත් වඩා අඩු කාලයකි. ශ්‍රීලනිපයේ සිට පසුව ඔහු එජාපයට එකතු විය. විජයදාස රාජපක්ෂගේ දේශපාලනය තුළ දීප්තිමත්ම වකවානුව වූයේ ඔහු “කෝප්” කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාල පරාසයය. ඒ තනතුරේ, හිඳිමින් වැදගත් අනාවරණයන් රැසක් හෙළි කිරීමට හෙතෙම සමත් වූ අතර, ඒ තුළ 2010 ජනාධිපතිවරණය වෙනුවෙන්, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කිරීම සුදුසු බවට ඇතැමුන් මත සමාජගත කිරීම ද සිදු කරන ලදී.

එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ආගමනයත් සමඟ එම තරගයෙන් ඔහු පසුපසට විසි වීම සිදු විණි. අනතුරුව 2015 වසරේදීත් ඔහු පොදු අපේක්ෂකත්වය සඳහා මුට්ටිය දමා බැලුමුත්, එවර ද එය වැරැදී ගියේය. මේ වන විට දිගහැරෙමින් ඇති දෑ අනුව ද පෙනී යන්නේ විජයදාස, තවමත් පොදු අපේක්ෂකත්ව සිහිනය අත්හැර දමා නැති බවය. විජයදාස අමාත්‍යවරයා මෑතක සිට ජනප්‍රියවාදී කථා රැසක් කියන්නට පටන්ගෙන ඇත. මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු සමඟ ද පැටලුණු විජයදාස රාජපක්ෂ දේශීයත්වය, බෞද්ධකම පිටතට පෙන්වමින් ඒ ගැන අවධාරණය කරමින් බොදුබල සේනාව වැනි සංවිධාන සමඟ ද සම්බන්ධතා පවත්වන බව රහසක් නොවේ. ඔහුගේ මේ සියලු හැසිරීම් ‘අහිංසක’ නොවන අතර, දේශපාලනික බවක් ඒ තුළ පැහැදිලිව දැකගත හැකිය. වත්මන් රජය හා ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමට විරුද්ධ ඒවාට සම්බන්ධ නැති පිරිස් ඒකරාශි කරගනිමින් මීළඟ ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයා ලෙස පිම්මක් පැනීමේ අරමුණින් ඇතැම් විට ඔහු මෙසේ කරනවා විය හැකිය. ඇතැම් විට ඒ වෙනුවෙන් ඔහු තම ඇමැති ධුරයෙන් ඉවත්ව ඉදිරි කාලයේදී රජයෙන් පිටතට පැමිණියහොත් එය පුදුම වීමට තරම් හේතුවක් නොවේ.

හම්බන්තොට වරාය පැවැරීම පිළිබඳ විජයදාස රාජපක්ෂ උගත් ජනාධිපති නීතිඥවරයා ගෙන එන තර්ක මූලිකවම හාස්‍යජනක වනුයේ බදු පදනම මත සිදු කළ එම ගනුදෙනුව විකිණීමක් බව ඔහු පවසන නිසාය. එමෙන්ම ඔහුගේ එම ප්‍රකාශය අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීමේ ප්‍රතිපත්තියද උල්ලංඝනය කිරීමකි. අප දන්නා පරිද්දෙන් එම ගනුදෙනුව සඳහා ඒකමතික අනුමැතියක් අමාත්‍ය මණ්ඩලයේදී හිමි විණි. පිටතදී ඝෝෂා කිරීම වෙනුවට මේ සම්බන්ධව සැබෑ ප්‍රශ්නාර්ථයක් තිබුණේ නම් ඔහු කළ යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලය තුළ ඊට එරෙහිව සටන් කිරීමය. එසේ නොකර දැන් තැන තැන කෙඳිරි ගෑම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකට වඩා වැඩි දෙයක් නොවේ. අප කැමැති වුවද අකැමැති වුවද කලින් එකඟතාවකට පැමිණි අන්තර්ජාතික ගිවිසුම් ආණ්ඩු වෙනස් වූවා ය කියා අහෝසි කළ නොහැකිය. රටේ ඉහළම ඉල්ලුමක් සහිත නීතිඥවරයකු ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා එය නොදැන සිටිය නොහැකිය. හෙජින් සූදුව සම්බන්ධයෙන් අන්තර්ජාතික බේරුම්කරණයක් හමුවට අපට යෑමට සිදු වූයේ ග්‍රීක බැඳුම්කරවල පාඩුව අපට දරාගැනීමට සිදු වූයේත් අන්තර්ජාතික එකඟතා අපගේ සීමාවෙන් එපිට ඇති බැවිනි. විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයටත් වඩා ජනතාව බලා සිටිනුයේ ඒ සම්බන්ධ රජය කුමන ප්‍රතික්‍රියාවක් දක්වාවි ද කියාය. පසුගිය කාලය ගත් විට ඔහු අත දිගහැර තමන්ට රිසි සේ නිදහසේ පන්දුවට පහර දුන්නේය. එහෙත් ඉන් රජයට ලැබුණු දෙයක් නැත. ආණ්ඩුවේ ඉහළ නායකයන් පමා වී හෝ දැන්වත් එය තේරුම් ගත යුතුය.

චාමර ලක්ෂාන් කුමාර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.