රවී ගත් මඟ හා රජය ගත යුතු මඟ

 හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම විදේශ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ රවී කරුණානායක මහතා තමන් දරමින් සිටි අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් වූ පුවත මේ වන විට අලූත් දෙයක් නොවේ. ඔහුගේ ඉල්ලා අස් වීමට තුඩු දුන්නේ මේ දිනවල ඔහුට අදාළව දේශපාලන තලයේ මෙන්ම පොදු සමාජය තුළද කතාබහට හේතු වී ඇති කාරණයකි. එනම්: මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමේ දී මතු වූ කරුණු කිහිපයක් පදනම් කරගනිමිනි. බැඳුම්කර කොමිසමේ කටයුතු තවමත් අවසන් වී නැති පසුබිමක හා ඒ සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව නිකුත් කර නැති තත්ත්වයක ඔහු ඊට කොතරම් දුරට වග කිව යුතුද යන්න කිසිවකුට නිගමනය කළ නොහැකිය. රවී කරුණානායක අමාත්‍යවරයා තම තනතුරෙන් ඉල්ලා අස් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කළ ආකාරයට කිසියම් විධිමත් පරීක්ෂණයකින් යම් පුද්ගලයකු වරදකරුවකු කර නැති පසුබිමක නීතිය ඉදිරියේ ඔහු සැලකෙන්නේ නිර්දෝෂි පුද්ගලයකු ලෙසටය.

ශිෂ්ට සම්ප්‍රදාය

එහෙත් එවැනි ආවරණයක් ලබාගැනීමට රවී කරුණානායක මහතා කටයුතු නොකළේය. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ අදාළ පරීක්ෂණවලට තවදුරටත් ඉඩකඩ සලසා දෙමින් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමය. දැන් අප සලකා බැලිය යුත්තේ එවැනි පසුබිමක එම සම්ප්‍රදායට මුවා වී අවශ්‍ය නම් සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් නොවීමට කරුණානායක මහතාට හැකියාවක් තිබියදීත් එසේ නොකළේ මන්ද යන්නය. මේ රටේ ජනතාව ගැඹුරින් අවධානය යොමු කළ යුතුව ඇත්තේ ඒ ගැනය. ඉතා පැහැදිලි ලෙසම එය සැලකිය හැක්කේ ලෝකයේ පිළිගත් ශිෂ්ට සම්පන්න සම්ප්‍රදායන්ට එකඟ වීමක් හැටියටය; 2015 ජනවාරි මස 08 වන දින මේ රටේ අතිබහුතර ජනතාව විසින් ඇති කරන ලද දේශපාලන විප්ලවයට හිස නැමීමක් ලෙසටය; ඒ සමඟම මේ රටේ ඒ දේශපාලන විප්ලවයට දායක වූ ලක්ෂ සංඛ්‍යාත දැනුවත් පුරවැසියන්ගේ අභිප්‍රායන්ට සිදු කළ ගරු කිරීමක් හැටියටය. ඒ පිළිබඳ සැලකීමේ දී රවී කරුණානායක මහතා දී ඇති මේ ආදර්ශය පිළිබඳ අගය කළ යුතුව තිබේ.

ඒ සමගම මේ රටේ සබුද්ධික ජනතාව කිසිසේත් අමතක කළ යුතු නැති කරුණු දෙකක්ද තිබේ. ඉන් පළමුවැන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවක් ආශ්‍රයෙන් පැනනැඟුණු ආන්දෝලනය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වන බවය. ඒ සමගම එම බැඳුම්කර කොමිසම පත් කරන ලද අවස්ථාවේ දී ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් කුමක් ප්‍රකාශ කළේද යන්නද මෙහි දී සිහිපත් කළ යුතුමය. ඒ කාලයේ දී විමල් වීරවංශ මහතා මෙන්ම උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛයන් බොහෝ දෙනකු රටට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා බැඳුම්කර කොමිෂමක් පත් කර ඇත්තේ ප්‍රශ්නය යටගැසීමට වන බවය. චූදිතයන් ආරක්ෂා කිරීමට වන බවය.

ස්වාධීන පරීක්ෂණය

 

එහෙත් අද වන විට ඉතා පැහැදිලිව සනාථ වී ඇත්තේ පසුගිය යුගයේ විවිධ කරුණු කාරණා මුල් කරගනිමින් පත් කරන ලද බොහෝ ජනාධිපති කොමිෂන් සභාවන්ට වඩා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂම සක්‍රීය ලෙස කටයුතු කරමින් සිටින බවය. එහි මූලික අවධානය යොමු කර ඇත්තේ වර්තමාන රජය මගින්ම පත් කරන ලද නිලධාරීන් වෙතටය. එම කොමිසම ඉදිරියේ මතු වන කරුණු අනුව ඊට මුහුණ නො දී ඉන් බැහැර වී සිටීමට රජයේ කැබිනට් ඇමැතිවරුන්ටද නොහැකි වී තිබේ. ඒ සමඟ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල්වරුන්ද ඇතුළු නීතිවේදීන් එම කොමිසම හමුවේ කරුණු ගොනු කරන ආකාරය අනුවද රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් පවා ප්‍රශ්න කරන ආකාරය අනුවද එහි ඇති ස්වාධීනත්වය මෙන්ම ඊට රජයේ බලපෑමක් නැති බව පැහැදිලිවම ප්‍රදර්ශනය කර තිබේ. එවැනි තත්ත්වයක් පසුගිය රාජපක්ෂ පාලන සමයේ මොනම ආකාරයකින් වත් දක්නට හැකි නොවීය.

එදා හිටපු ජනාධිපතිවරයා තම පවුලේ සාමාජිකයන් පෙරටු කරගත් සියලූ දෙනා වෙත රිසි රිසි සේ රටේ සාරය උරා බොන්නට ඉඩ දී ඒ සඳහා උපරිම නිදහස හා ආරක්ෂාවද ලබා දී බලා සිටියා මිස ඒ කාලයේ මතු වූ කිසිදු චෝදනාවක් පිළිබඳ මොනම ආකාරයේ විමර්ශනයක් හෝ කරන්නට කටයුතු කළේ නැත.

එහෙත් අද ඇත්තේ ඊට සපුරා වෙනස් වූ තත්ත්වයකි. මතු වන චෝදනා ඉදිරියේ නිහඬව සිටින්නට, එසේත් නැත් නම් මඟහැර යන්නට රජයේ කැබිනට් අමාත්‍යවරයකුටද නොහැකි වී තිබේ. එය ඉතා යහපත් ලක්ෂණයක් මෙන්ම ආරක්ෂා කරගත යුතු, දිරි දිය යුතු ප්‍රවණතාවකි.

මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටි රවී කරුණානායක මහතාට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කර ඇතැයි කියන පිළිවෙත පිළිබඳවද බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්ෂයට අයත් දේශපාලනඥයන් පිරිසකට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව ඊට වෙනස් තත්ත්වයක් අනුගමනය කිරීම ගැනද විවේචන එල්ල වී තිබේ. එහි දී රවී කරුණානායක මහතා මුල් කරගමිනින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා කරන ඇතැම් අය පවසන්නේ කොමිසම ඉදිරියට සාක්ෂි දෙන්නට එන අය සැලකිය යුත්තේ වරදකරුවන් හෝ චුදිතයන් හැටියට නොවන බවයි. ඒ ඒ සාක්ෂිකරුවන් කොමිසම හමුවට පැමිණෙන්නේ කොමිසමේ කරුණු විමසීමේ කාර්යයට සහාය වීම සඳහා වන බවයි. ඇතැම් විට ඒ විවේචනයන්හි යම් සත්‍යතාවක් තිබිය හැකි මුත්, අප වඩා අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ ඒ පිළිබඳ නොවේ. මේ රටේ දූෂණ හා අපරාධ චෝදනා එල්ල වී ඇති ඇතැම් දේශපාලකයන්ට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් ආකාරයට කටයුතු කරමින් සිටින්නේද යන්න පිළිබඳවය; විශේෂයෙන්ම පසුගිය රජයේ පාලන සමයට අදාළව සිදුව ඇති වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනයන්ට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනස් ආකාරයට කටයුතු කරමින් සිටින්නේද යන්න පිළිබඳවය. එවැනි තත්ත්වයක් වෙත් නම් එය බරපතළ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් මේ පිළිබඳ පවත්නා තත්ත්වය නොපමාව පැහැදිලි කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් වනු ඇත.

ඒ අනුව සමස්තය සලකා බැලීමේ දී රවී කරුණානායක මහතා තමන් දරමින් සිටි අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස් වීම හා ඔහුට විරුද්ධව බරපතළ චෝදනා එල්ල කරන ලද ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකලාපයද ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.

චෝදනා විමර්ෂනය

රවී කරුණානායක මහතා බැදුම්කර කොමිසම හමුවට ගොස් ඊට අදාළ සාක්ෂිය ලබාදීමෙන් පසු ඔහු එහි දී ප්‍රකාශ කර ඇති කරුණු කිහිපයක් පදනම් කරගනිමින් බරපතළ දෝෂාරෝපණයක යෙදුණ පිරිස අතර ඒකාබද්ධ විපක්ෂයටද මුල් තැනක් හිමි වේ. එහි දී දැකගත හැකි වූ විශේෂ ලක්ෂණ දෙකක් තිබේ. එකක් වන්නේ රවී කරුණානායක මහතාට චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද ගෙන ඒමට මුල් වූ ඇතැම් දේශපාලකයන්ට එරෙහිව වඩා බරපතළ මෙන්ම පැහැදිලි චෝදනා එල්ල වී තිබීමය. ඒ අතින් සැලකීමේ දී ඔවුන්ගෙන් බොහෝ දෙනකුට මේ දක්වාම විධිමත් ලෙස නඩු පැවරීමට හා අදාළ විමර්ශන කටයුතු අවසන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දක්වාම නොගෙන තිබීම බරපතළ ප්‍රශ්නයකි. පසුගිය කාලයේ එවැනි ඇතැම් ඇමැතිවරුන්ට අදාළව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ඇතැම් කොමිෂන් සභා මගින් ඔවුන් කැඳවූ අවස්ථාවල එවන් අමාත්‍යවරුන් සර්ප දෂ්ටනයන්ටද ලක් වූ අවස්ථා තිබිණ. හදිසියේම නොයෙකුත් රෝගාබාධයන්ට ලක්වූ අවස්ථා දක්නට ලැබිණ.

එවන් අවස්ථා හේතුවක් කරගනිමින් ඒ පරීක්ෂණ කල් ගිය හා යටපත් කළ අවස්ථාද දක්නට තිබිණි. එහෙත් බැඳුම්කර කොමිසම රවී කරුණානායක මහතා කැඳවූ අවස්ථාවේ ඔහුට කිසිදු සර්පයකු දෂ්ට කළේ නැත. ඔහුට නොතිබූ රෝගාබාධ මතු වූයේද නැත. එවැනි පසුබිමක රටේ පවත්නා නීතියටද සම්ප්‍රදායන්ටද අනුගතව රවී කරුණානායක මහතා කොමිසම හමුවට ගොස් දුන් ප්‍රකාශය හේතුවක් කරගනිමින් සර්ප විෂ ශරීරගත වූ ඇතැමුන් ඔහුට එරෙහිව අවි අමෝරන්නේ නම් එතැන ඇත්තේ සදාචාරාත්මක ප්‍රශ්නයක්ම නොවේ. ඒ තුළ මතු වන්නේ හුදු හාස්‍යයක් පමණක්ම නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනවල සළුපිළි ගැලවී යෑමක්ද ඒ තුළ නිතැතින්ම සිදු වේ.

ඒ සමගම ඒකාබද්ධ විපක්ෂයේ දෙබඩි හා කුහක ප්‍රතිපත්තියද මේ ක්‍රියාවලිය හරහා පැහැදිලිවම ප්‍රදර්ශනය විය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය හා උපරිම ආශීර්වාදයද ලබාදෙන මහින්ද රාජපක්ෂ මහතාගේ හැසිරීමයි.

වැඩි අවධානයක්

ඒ බව පැහැදිලි වන්නේ ඒකාබද්ධ විපක්ෂයේම කොටසක් රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත බාරදීමෙන් පසුවද තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේ නැති බව මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයෙනි. මහින්ද රාජපක්ෂ මහතා එවැනි ප්‍රකාශයක් සිදු කළේ රවී කරුණානායක මහතාට මින් පෙර නොපැවති අමුතු කරුණාවක් දැක්වීම සඳහා නොවේ. මේ රටේ කැබිනට් අමාත්‍යවරයකුට අදාළව පවා රජය අනුගමනය කරන ප්‍රතිපත්තිමය ස්වභාවය අනුව තමන්ගේ පවුලේ සාමාජිකයන්ද ඇතුළු තම දූෂිත සගයන්ට අනාගතයේ අත් විය හැකි ඉරණම ඔහු ඒ තුළ හොඳින් අවබෝධ කරගත්තා විය යුතුය. තමන් මෙන් ලිපිගොනු සඟවා තබා හෝ ඒවා බැහැර කොට තබාගෙන හෝ සිටීමට අද පවතින දේශපාලන නායකත්වය සූදානම් නැති බව ඔහු ඒ හරහා වැඩිදුරටත් තේරුම් ගත්තාද විය හැකිය. ඒ කෙසේ වෙතත් මේ දක්වාෙ එවැනි දූෂිතයන්ට සැඟවී සිටීමට හෝ චෝදනාවන්ට විධිමත් පරිදි මුහුණ දීමෙන් වැළකී සිටීමට ලැබී ඇති ඉඩකඩ ගැඹුරින් සොයාබැලීම වර්තමාන රජයේ බරපතළ වගකීමකි.

ඒ අනුව මේ සියල්ල සලකා බැලීමේ දී රවී කරුණානායක මහතා අනුගමනය කළ යහපත් සම්ප්‍රදාය පිළිබඳ අගය කරන අතරතුර අද වන විට එවැනි යහපත් සම්ප්‍රදායන්ටද ගරහමින් සිටින මේ රටේ සිදුව ඇති දැවැන්තම දූෂණ හා අපරාධයන්ට වග කිව යුතු පුද්ගලයන් නීතිය හමුවට රැගෙන ඒමට ඇති වගකීම පිළිබඳවද ආණ්ඩුව මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතුය. එය යහපාලන රජයක් උදෙසා පෙනී සිටි යුක්තිගරුක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමක් පමණක්ම නොවේ. මේ රජයේ පැවැත්ම තීන්දු වනු ඇත්තේද ඒ මතය.

සුනිල් ජයසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.