තව දින 12කට පසු ‘ලන්ච් ෂීට්’ සිලි සිලි බෑග් තිබුණොත් 10000 ක් දඩ; වසර දෙකක් හිරේ | සිළුමිණ

තව දින 12කට පසු ‘ලන්ච් ෂීට්’ සිලි සිලි බෑග් තිබුණොත් 10000 ක් දඩ; වසර දෙකක් හිරේ

සැප්තැම්බර් පළමුවැනිදායින් පසු දිරා නොයන සිලි සිලි බෑග් හා ‘ලන්ච් ස‍ීට්’ අ‍ානයනය නිෂ්පාදනය කිරීම, විකිණීම, පාවිච්චිය සිදු කළහොත් ජාතික පාරිසරික පනත අනුව රුපියල් 10000 ක දඩයක් සමඟ වසර දෙකක සිරදඬුවමක් දක්වා උපරිම දඬුවම් නියම කිරීමේ හැකියාව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසයි. ඉදිරියේ දී ජාතික පාරිසරික පනත සංශෝධනය කර දඩ මුදල් හා සිරදඬුවම් කාල සීමාව වැඩි කිරීමට අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂවරයා පවසයි.

2017 ජූලි 11 වැනි දින ඇමැති මණ්ඩලය අනුමත කළ ත‍ීරණය අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට පොලිතින්වලින් නිෂ්පාදනය කර ඇති ආහාර එතීම සඳහා යොදාගනු ලබන ආහාර දවටන ‘ලන්ච් සීට්’ ආනයනය නිෂ්පාදනය විකිණීම හා භාවිතය තහනම් වේ.

ඊට අමතරව පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි පිඟන් කෝප්ප හා හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම, 2017 සැප්තැම්බර් පළමු වැනිදා සිට තහනම් කෙරේ.

ඒ සමඟම 2017 සැප්තැම්බර් 1 වැනිදා සිට බහාලුම් ලෙස ලබාදෙන සිලි සිලි බෑග් ඇතුළු වැඩි ඝනත්වයෙන් යුත් පොලිතින් (HDP) මළු නිෂ්පාදනය විකිණීම භාවිතය තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි අජිත් වීරසුන්දර මහතා පවසයි.

මේ වෙනුවට විකල්ප වෙළෙඳ පොළේ ඇති බව ද මේ තහනම ක්‍රියාත්මක වනවිට ඒ විකල්ප හා ජෛව හායනයට ලක්වන ‘ලන්ච් සීට්’, සිලි සිලි මලු ජනප්‍රිය වනු ඇතැයි ද අජිත් වීරසුන්දර මහතා පැවසීය. 

Comments