සුභා­විත ගී කෙත පෝෂ­ණය කරන රොෂාන් | සිළුමිණ

සුභා­විත ගී කෙත පෝෂ­ණය කරන රොෂාන්

රොෂාන් ජයකොඩි ශ්‍රී ලාංකේය ගීත කලාවට අරුත්බර ගීත ඉදිරිපත් කිරීම තම ඒකායන අරමුණ කරගත් නව පරපුරේ ගායකයෙක්. ගද්‍ය, පද්‍ය, අර්ථ රසයට මුල්තැන දෙමින් සමාජයේ විෂමතා, අක්‍රමිකතා, කාලීන මාතෘකා සිය ගීත තුළින් ඉදිරිපත් කිරීමට වෙර දරන ඔහු වියැකෙමින් යන සරල සහ සරල ශාස්ත්‍රීය සංගීතයත්, අතීතයේ පටන් අප ලාංකේය ජීවිත හා බැඳී පවතින සාම්ප්‍රදායික නාද රටා ඇසුරින් නිමවූ සංගීතයත් ලාංකේය ගීත කෙතට තිළිණ කිරීමට ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලබන 26 වැනි සෙනසුරාදා පස්වරු 4.00 ට කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ( නාඩා ) ( Western Province Aesthetic Resort ) පැවැත්වේ.

මෙහිදී රොෂාන් ගීත 25 ක් පමණ ගායනා කරන ප්‍රසංගයක් පැවැත්වෙන අතර ඔහුගේ 'සුපුන් සඳක් පායා' බොදු බැති ගී සහ 'නීල නයන' සරල ගීත සංයුක්ත තැටි ද්වය එළිදැක්වේ.

මහනුවර කටුගස්තොට උපත ලැබූ රොෂාන් හැදී වැඩෙන්නේ පන්නල. සංගීතයට ඇති හැකියාව උපතින්ම රැගෙන පැමිණි ඔහු කුඩා කාලයේ සිටම සංගීතයට ඇලුම් කළේය.

මේ නිසා දෙවැනි ශ්‍රේණියේදී පාසලේ තූර්ය වාදක කණ්ඩායමට මෙලොඩිකාව වයමින් සම්බන්ධ වූ ඔහු එවකට පාසලේ සංගීත ගුරුවරුන් වූ ලක්ෂ්මන් විජේසේකර සහ ආනන්ද වීරසිරි මහත්වරු යටතේ සංගීත වීෂය හැදෑරීමට යොමුවිය.

එසේම පාසලේ පැවැති බොහෝ සමිති සමාගම් වල කවි, ගීත ගායනා වලට හැම විටම සහභාගිවෙමන් රොෂාන් දැක්වූ උනන්දුව නිසාම 6 වැනි වසරේ ඉගෙනුම ලබද්දී ඔහුගේ මව කොළඹ ගංගාරාමයේ පැවැති සංගීත පන්තියකට ඔහු රැගෙන යනවා. ගංගාරාමයේදී විශාරද එඩ්වඩ් ජයකොඩි සහ විශාරද විජේසේන කොඩිප්පිලි යන සංගීතඥයින් වෙතින් උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට යොමුවන්නේ ඒ අනුවයි.

මෙම කාල වකවානුවේදීම ආරම්භ වූ කලා භාවන සංගීත ආශ්‍රමයට සම්බන්ධ වන රොෂාන්ට එහිදී ආචාර්ය රෝහණ වීරසිංහයන් ගෙන් ගුරු හරුකම් ලබාගන්නට අවස්ථාව උදාවනවා. වික්‍රමශිලා විදුහලේ සංගීත ගුරුවරයා වුණු සුනිල් දයානනන්ද කෝනාර මහතාගේ ගුරුහරුකම් මැද උත්තර භාරතීය සංගීතයේ ඩිප්ලෝමා සහ විශාරද පළමු පෙළ විභාගයන්ට පෙනී සිටින්නට අවස්ථාව ලැබෙන්නේ ඉන්පසුවයි.

කුඩා වියේදීම ගීත රචනයට, තනු නිර්මාණයට මෙන්ම සංගීත සංයෝජනයට දස්කම් දැක්වූ ඔහු පාසල් වියේදීම විවිධ ආධුනික ගීත තරග වලින් ජයග්‍රහණය කිරීමට සමත්වනවා.

1988 වසරේදී ‘චතුරංග ගී සරණිය ‘නමින් සිය පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගය පන්නල ප්‍රජා ශාලාවේදී පවත්වන රොෂාන් සිංහල ගීත සමඟ දමිළ, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂා 4 න්ම ගීත ගායනා කළා.

1991 වසරේදී සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රංශයට යන රොෂාන්, 1993 වසරේ ප්‍රංශයේ පැවැත්වූ ආධුනික ගීත තරගයට සහභාගි වී එයින් ප්‍රථම ස්ථානය ලබා ගන්නා අතර, එහි විනිශ්චයට පැමිණි විශාරද ගුණදාස කපුගේ මහතාගේ විශේෂ අගැයීමට ලක්වන්නට තරම් වාසනාවන්ත වුණා.1995 වසරේදී ඔහුගේ ‘චතුරංග ගී සරණිය ‘ ප්‍රසංගය සරල ගී ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රංශයේදී පවත්වන රොෂාන්, සංගීතයට ඇති ලැදියාව නිසාම ලංකාවෙන් බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන් ප්‍රංශයට ගෙන්වා සංගීත ප්‍රසංග පවත්වා සමාජසේවා කටයුතු වලට මුදල් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. එසේම ඔහුගේ දෙවැනි ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ' Close to my heart ' (හදට ගැයෙන ගී ) නමින් ප්‍රංශයේ පවත් වන්නේත් මේ කාලයේ.

ඉන්පසු රැකියාවට සහ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන රොෂාන් එහි දී පරිගණක සන්නිවේදන තාක්ෂණයෙන් ඔහුගේ පශ්චාත් උපාධිය අවසන් කරන අතර, සංගීතයට ඇති ළැදියාව නිසාම ඔහුගේ ' Close to my heart ' (හදට ගැයෙන ගී ) ප්‍රසංගයේ ප්‍රසංග දෙකක් මහා බ්‍රිතාන්‍යයේ ලෙච්වර්ත් සහ ලන්ඩන් නගරවල පවත්වනවා.ප්‍රංශයේදීත් මහා බ්‍රිතාන්‍ය යේදීත් ශ්‍රී ලාංකිකයන්ට සිංහල සංගීතය ප්‍රචලිත කිරීම සඳහා සංගීත පන්ති පවත්වා ඇති රොෂාන් වීශේෂයෙන් මහා බ්‍රතාන්‍ය යේදී කුඩා දරුවන්වෙනුවෙන් ඉගැන්වීම රසවත් අත්දැකීමක් බව පවසනවා.

2014 වසරේදී මුහුණු පොත ( Facebook ) හරහා පැවැත්වුණු ' Miyurusara facebook star ' ආධුනික ගීත තරගයෙන් වැඩිම like ප්‍රමාණයක් ලබාගෙන පළමු ‘මියුරුසර ෆේස්බුක් තරුව ‘වීම රොෂාන් ගේ ගායන හැකියාවට ලැබුණු හොඳ වටිනාකමක්.

26 වැනිදා එළි දකින රොෂාන් ගේ සුපුන් සඳක් පායා බොදු බැතිගී සංයුක්ත තැටියට ගීත 16 ඇතුළත්. පූජ්‍ය නාහල්ලේ රාහුල හිමි, සමන්මලී සේනනායක් සහ රොෂාන් පද රචනය කර ඇති මෙහි සියලුම ගීත වල තනු නිර්මාණය රොෂාන් විසින් සිදුකර ඇති අතර සංගීත නිර්මාණය තරිඳු ජයකොඩිගේ.

නීල නයන සරළ ගීත සංයුක්ත තැටිය ද ගීත 16 කින් සමන්විත වන අතර යසනාත් ධම්මික බණ්ඩාර, නාරද විජේසූරිය, ශ්‍රීනාත් දසනායක, ලෂාන් නාලක, ශාමිලා හුසේන්, සියඹලන්ගමුවේ අමරදාස, මාලිනී ජයකොඩි, රන්සර බණ්ඩාර, මාධවී විජේසිංහ, රවීන්ද්‍ර සෙල්ලහේවා, සෝමදාස සූරියආරච්චි, ප්‍රසන්න ගාමිණී, රුවන් කුමාර සමඟ රොෂාන් ජයකොඩි මෙහි පද රචනය කර තිබේ. සංගීතය සහ තනු නිර්මාණයෙන් සුනිල් දයානන්ද කෝනාර, නාලක අංජන කුමාර, තරිඳු ජයතිලක, චතුර පෙරේරා, දර්ශන වික්‍රමතුංග, ආර්.එම්. චූලසිංහ, එච්. එම්. ජයවර්ධන සහ රොෂාන් ජයකොඩි දායක වි තිබෙනවා.

හරසුන්, බොළඳ, අවර ගනයේ ගීත නිර්මාණය වන යුගයක හරවත්, රසවත් විඳින්නට හැකි නිර්මාණ ගොන්නක්ම මෙරට ගීත ක්ෂේත්‍රයට තිළිණ කරමින් උඩුගම් බලා පිහිනන්නට සැරසෙන් රොෂාන් ගේ ගී රසවිඳින්නට එන්නැයි ඔබට ආරාධනා කරමි. 

 

Comments