ඉරානයට උප-ජනාධිපතිනියෝ තිදෙනෙක්

 ඉරාන ජනාධිපතිවරයා පසුගියදා තම කැබිනට් මණ්ඩලයට කාන්තාවන් තිදෙනෙකු එක්වර පත් කරගත්තේය. ඔවුන්ට‍ උප-ජනාධිපති තනතුරුද ලබා දුන්නේය. මේ පත්වීම් ඉරාන දේශපාලනයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉරානය අතීතයේ කිසියම් නිදහස් සමාජීය වාතාවරණයකට හිමිකම් කීවේය. එහෙත් 1979 විප්ලවයෙන් පසුව ඉරාන කාන්තාවට සිදු වූයේ ගේ මුල්ලට වී සිටීමටය. කාන්තාවට දේශපාලනයට පිවිසීමට පමණක් නොව ව්‍යාපාරයන්හි, රැකියාවන්හි නියුක්ත වීමටද හිමි වූයේ ඉතා අවම ඉඩකි.

මේ ස්ථාවරය ක්‍රමයෙන් වෙනස් වෙමින් කාන්තාවන් අධ්‍යාපනය ලැබීමට සහ නොයෙක් රැකියාවන්හි නිරත වීමටද කටයුතු කළද තවමත් එය පවතින්නේ සෙසු රටවලට සාපේක්ෂව අවම මට්ටමකය.

විප්ලවයෙන් පසු මේ දක්වා ඉරාන කැබිනට් මණ්ඩලයේ සිටියේ එකම කාන්තාවක් වූ අතර, එම දීර්ඝකාලීන ස්ථාවරය වෙනස් කරමින් මෙලෙස ක‍ාන්තාවන් තිදෙනෙකු එකවර උප ජනාධිපතිධුර සඳහා පත් කිරීමට ඉරාන නායකයා කටයුතු කිරීම සංවාදයට මාතෘකාවක් වී තිබේ.

විශේෂයෙන්ම මේ තත්ත්වය එරට කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේ විවේචනයට කරුණක් වී ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරයා අතින් උප-ජනාධිපති පත්වීම් ලැබූ මේ කාන්තාවන් තිදෙනා ඉදිරියේදී පවුල් සහ කාන්තා කටයුතු, නීති සම්පාදන කටයුතු සහ සිවිල් අයිතිවාසිකම් යන අංශවල කටයුතු කිරීමට නියමිතය.

කෙසේ වුවද ඉරානයේ සාමාන්‍ය ජනතාව කාන්තා දේශපාලන නියෝජනය වර්ධනය වනු දැකීමට කැමැති බව පෙනී ගොස් තිබේ. කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පැමිණෙන අවස්ථාවල ඔවුන්ට වඩා වැඩි ජනතා මනාපයක් හිමි වන බව දැනට තේරී පත් වූ නියෝජිතවරියන් අනුව පැහැදිලිව පෙනී ගොස් ඇති කරුණකි.

එහෙත් 2014 වසරේදී ඉරානයේ අන්තර්ජාතික වොලිබෝල් තරගාවලියක් පැවති අතර, එහි සජීව විකාශය කාන්තාවන් නැරඹීමට තහනම් පනවන ලදි. ඒ සඳහා කාන්තා විරෝධය පළ වූ අතර එහිදී එවකට පාර්ලිමේන්තු නියෝජිතවරියක වූ ෆාතිමා අල්ලා පැවසුවේ කාන්තාවන් නිවෙස්වලට වී සිටින්නේ රූපවාහිනිය නැරඹීමට නොව, සැමියාගේ සහ දරුවන්ගේ කටයුතු කිරීමට බවයි. කෙසේ වුවද ඊළඟ මැතිවරණයෙන් ෆාතිමා අල්ලා පරාජය වූවාය.

‍මේ වන විට ඉරාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 9.4ක් ලෙස ගණන් බලා තිබේ. ඒ අතරින්ද වැඩිම නියෝජිතවරියන් පිරිසක් තේරී පත් වී ඇත්තේ අගනුවර වන ටෙහෙරාන් දිස්ත්‍රික්කයෙනි.

එහෙත් ඉදිරියේදී වඩා වැඩි කාන්තා නියෝජනයක් ඉරාන දේශපාලනයේදී අපේක්ෂා කළ හැකි බව විචාරකයන්ගේ මතය වී තිබේ. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.