මැති­ව­ර­ණය ප්‍රමාද වන්නේ කාගේ වරදින්ද ?

සුභාරතී

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ විකාශනය වන “සුභාරතී“ වැඩසටහන මඟින් පසුගිය දා (2017-08-04) “මැතිවරණ කල්යාම සහ සීමා නීර්ණය“ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ කළ ශාකච්ඡාවේ සම්පිණ්ඩනාත්මක සටහනකි.

 

බොහෝ දෙනා සිතා සිටින්නේ මැතිවරණ කල්යාම මගේ වරදක් නිසා සිදුවන බවයි. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි වටහා ගැනීමකි. එය ඉතා දීර්ඝ වශයෙන් කතා කළ යුතු මාතෘකාවකි. ඉදිරියේදී පැවැත් විය යුතු පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මෙම මැතිවරණය ප්‍රමාද වී ඇත්තේ ඇතැමුන් පවසන ආකාරයට 2015 වත්මන් රජය බලයට පැමිණි නිසා නොවේ. එය ඊට ප්‍රථම සිදු වූ කරුණු ගණනාවක ප්‍රතිඵලයකි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක ඡන්ද විමසීම 2008 වසරේ මාර්තු මාසයේ දී සිදු කළ අතර, එහි නිල කාලය 2012 දී අවසන් විය. නමුත් පළාත් පාලන අමාත්‍යවරයා තමා සතු බලතල යටතේ එය වසරක කාලයකට දීර්ඝ කළේය. ඒ අනුව 2013 වසරේ මාර්තු මාසය වන විට මෙහි කාලය අවසන් විය. එනිසා 2013 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවල ඡන්දය පැවැත්වීමට නියමිත තිබුණි. මේ අතරෙතුර ඡන්ද ක්‍රමය පිළිබඳව දීර්ඝ සංවාදයක් රට තුළ උද්ගතව තිබූ අතර, ඉන් මනාප ක්‍රමය වෙනස් කළ යුතු බවට අදහස් පළ විය. එසේම තමන්ගේ කොට්ඨාසයට තමන් නියෝජනය කරන මන්ත්‍රිවරයකුගේ අවශ්‍යතාව ද ජනතාව මතු කළේය. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම සාකච්ඡා සිදු විය. ඉන් යෝජනා වූයේ පළාත් පාලන ඡන්ද විමසීම හරහා මේ පිළිබඳව අත්හදා බැලීමකට යා හැකි බවයි. ඒ අනුව 2012 අංක 22 දරණ පනත සම්මත විය.

නව කොට්ඨාස ක්‍රමයට අනුව සභිකයින් 70% ක් ජයග්‍රාහී අපේක්ෂකයින්ගෙන් තෝරා පත්කර ගන්නා අතර, අනෙක් 30% හෝ 25% පරාජිත අපේක්ෂකයින්ගෙන් තෝරාපත් කර ගැනීමට තීරණය විය. 2012 දී මෙය සම්මත වූ නමුත් කොට්ඨාස සෑදීම සඳහා සීමා නීර්ණය කිරීම අවශ්‍ය විය. ඒ සඳහා ඊට අදාළ පනත බලාත්මකව නොතිබුණි. කතානායකගේ අනුමැතිය ලැබීමෙන් පසුව නීතියක් බවට පත්වන පනත බලාත්මක වීමට නම් ඇමතිවරයා විසින් අදාළ පනත ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කළ යුතුය. එනමුත් මඩකලපුවේ ඡන්දය ජනවාරි හෝ පෙබරවාරි මාසවල පැවැත්වීමට කටයුතු කළ යුතුව තිබුණි. ඒ අනුව පළාත් පාලන ඡන්දය පැවැත්විමට අප සූදානම්ව සිටියදී එවකට සිටි පළාත්පාලන ඇමතිවරයා දෙසැම්බර් මාසයේ 30 හෝ 31 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2013 ජනවාරි මාසයේ පළවෙනිදා සිට මේ පනත බලාත්මක වන බව ය. ඔහු එසේ ප්‍රකාශ කළ ද ඒ වන විටත් කොට්ඨාස පිළිබඳව කිසිවක් නොදැන සිටි නිසා ඡන්දයක් පැවැත්වීමට නොහැකි විය. මේ අතරතුර සීමා නීර්ණය කිරීම සඳහා ජයලත් රවි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් නොවැම්බර් මාසයේ පත් කර තිබුණි. ඒ අනුව නව කොට්ඨාස සීමා නීර්ණය කිරීම ආරම්භ වූ අතර එනිසා එම ඡන්දය පැවැත් වීමට නො හැකි විය.

මේ අතර තුර 2009 ඇරඹි වවුනියාවේ පළාත් පාලන ආයතනවල කාලය 2013 අගෝස්තු වන විට අවසන් විය. යාපනය මහ නගර සභාවේ කාලය ද අවසන් වෙමින් තිබූ අතර එහි කාලය වසරකට දික්කර තිබුණි. එය ද 2014 අගෝස්තු මාසයේ අවසන් විය. මෙලෙස පළාත් පාලන ආයතනවල කාලය අවසන් වෙමින් තිබූණ ද ජයලත් කොමිසමේ කොට්ඨාස නීර්ණය කිරීමේ වාර්තාව සභාගත නොවීය.

2012 දී මේ පනත හදන අවස්ථාවේ මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මෙහි ප්‍රායෝගික තාක්ෂණික ගැටලු පවතින බව අපි දුටුවෙමු. ඒ අනුව අප මේ පනතේ අඩුපාඩු ඇති බවත්, මෙය වෙනස් කළ යුතු බවත්, 2013 සිට එවකට පළාත් පාලන ආයතනයේ සිටි ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නේය.

මෙහි තිබෙන ප්‍රායෝගික තාක්ෂණික ගැටලු පිළිබඳව විමසිමේදි නාමයෝජනා භාර දීමට තිබුණේ පක්ෂයේ ලේකම්ට හෝ බලයලත් නියෝජිතයාටය. ඒ අනුව පක්ෂ ලේකම්වරයා විසින් සභා තුන්සියක නියෝජිතයින් නම් කළ යුතු විය. එසේම කලින් පැවති අර්ථ නිරූපණය මේ පනතේ සඳහන්ව නොතිබීම නිසා පක්ෂ ලේකම්වරයාට ලංකාව වටේම යාමට සිදුවේ. එය ප්‍රායෝගිකව කළ නොහැකි කාර්යයකි. අනෙක් කාරණය නම් මේ පනත අනුව ඡන්ද ගණන් කළ යුතු වන්නේ ඡන්ද පොළේ සිටින නිළධාරීන් විසින්මය. එහිදි කිසියම් වරදක් සිදු වුව හොත් එනම්, බීමත්ව හෝ සිතාමතා හෝ වරදක් සිදු කර ඇත්නම් එසේත් නැති නම් දුර්වල නිලධාරියෙක් සිටී නම් ඔහු ඉවත් කිරීමට තේරීම් භාර නිළධාරියාට බලය පවරා දී තිබුණි. නමුත් 2012 දී හඳුන්වාදුන් නව පනත අනුව එසේ කළ නො හැකි විය. එසේ කිරීමට නම් පෝලිම් නියෝජිතයින් පැමිණිලි කළ යුතු විය. එමෙන් ම පෝලිම් නියෝජිතයින් නොමැති අවස්ථාවක සහ එකම පක්ෂයක පෝලිම් නියෝජිතයින් පමණක් සිටින තත්ත්වයක් ඇති වුවහොත් කුමක් වේදැයි අප ඔවුන්ගෙන විමසා සිටියේය. එසේම භාෂා පරිවර්තන දෝෂද තිබුණි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පනතට අනුව Polling Didtric ලෙස සටහන් කර ඇති වාක්‍ය සිංහලෙන් සඳහන් කර ඇත්තේ ඡන්ද දිස්ත්‍රික්කය ලෙසය. එය ඡන්ද කොට්ඨාසය ලෙස නිවැරදි විය යුතුය. මෙවැනි දුර්වලතා අපි 2013 සිට දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පෙන්වා දුන්නේය.

මීට අමතරව තවත් ප්‍රශ්නයක් පැණ නැගිණ. ඒ මේ පනත සම්මත වීමත් සමග සභික සංඛ්‍යාව වැඩි වීමය. උදාහරණයකට මෙතෙක් අම්බලන්ගොඩ සභිකයින් සිටියේ 12කි. එය 15ක් දක්වා වැඩි වේ. ඒ සමානුපාතික ක්‍රමයට තිදෙනෙකු තෝරා පත්කරගන්නා නිසාය. 1978 සංස්ථාපනය වූ මනාප ක්‍රමය අනුව සභිකයින් 11 දෙනකු පත්වූ අතර පසුව 12ක් දක්වා වැඩි විය. එම ගැසට් පත්‍රය තුළ අම්බලන්ගොඩ මායිම සඳහන්ව තිබුණු අතර එහි සභිකයින් සංඛ්‍යාව ද දක්වා තිබුණි. ඒ අනුව අම්බලන්ගොඩ පළාත් සභාව සභාපති හා උපසභාපතිවරයා ඇතුළුව සභිකයින් දොළොස් දෙනකුගෙන් සමන් විය යුතු විය. නමුත් මෙහි සභිකයින් සංඛ්‍යාව 15ක් වන විට එය අමාත්‍යවරයා විසින් ගැසට් නිවෙදනයකින් ප්‍රකාශයට පත් කළ යුතුය. ඒ අනුව පනතේ අඩු පාඩු පළාත්පාලන අමාත්‍යවරයා මාර්ගයෙන් පාර්ලිමේන්තුව තුළ නිවැරදි විය යුතුව තිබුණි. ඒ සඳහා සභික සංඛ්‍යාව ගැසට් කළ යුතුය. එසේම සීමා නිර්ණය ද අවසන් විය යුතු වේ.

2013 ජයලත් රවී කමිටුව කොට්ඨාස සීමා නීර්ණය කිරීම සිදු කරමින් සිටි අතරවාරයේ එය නිවැරදිව සිදු නොවන බවට මහජනතාවගෙන් හා සෑම පක්ෂයකින්ම පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව එම කමිටුව අභිබවා යමින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු මෙහි අඩුපාඩු ඇති බව පෙන්වා දුන්හ. දින 100 අතරතුර කාලයේ එවකට සිටි අමාත්‍යවරයා විසින් මෙම පැමිණිලි පිළිබඳව අධ්‍යනයක් කළද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. පසුව වත්මන් පළාත්පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙහි තිබෙන පැමිණිලි විභාග කිරීම සඳහා අතුරු කමිටුවක් ස්ථාපිත කළ යුතු බවය. අනතුරුව නව අමාත්‍යවරයා 2015 නොවැම්බර් මාසයේ අග නව අසෝක පීර්ස් කමිටුව පත් කළේය.

මේ අතරතුර දිවයිනේ දකුණේ පළාත්සභාවල ද නිලකාලය අවසන් ව තිබූ අතර ඒවායේ කාලය දීර්ඝ කිරීමක් සිදු නොවුණි. නමුත් කොළඹ නගර සභාව හා සභා 23ක නිලකාලය 2015 දෙසැම්බර් වන විට අවසන්වීමට නියමිතව තිබූ අතර එහි කාලය දීර්ඝ කළේය. ඒ අනුව 216 දෙසැම්බර් 31වෙනිදා දක්වා එය බලාත්මකව පැවතිණි. නමුත් මේ වන විට කිසිදු පළාත් සභාවක් ක්‍රියාත්මක නොවන අතර ඒවා නිලධාරීන්ගේ පාලනය යටතේ පවති.

පළාත්පාලන අමාත්‍යවරයා, ගරු ජනාධිපතිවරයා, ගරු අග්‍රාමාත්‍යවරයා සහ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහභාගි කරගනිමින් අසෝක පීරිස් කමිටුව විසින් සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මාස තුනකින් නීර්ණය කිරීම් නිමා කළ හැකි බවයි. ඒ අනුව 2016 අප්‍රේල් මාසය වන විට පළාත්පාලන ඡන්දය පැවැත් විය හැකියැයි ද පැවසිණි. මේ අවස්ථාවේ අප පවසා සිටියේ මෙය මාස තුනකින් නිම කළ හැකි කාර්යයක් නොවන බවයි. අවසානයේ ඔවුහු 2017 ජනවාරි දක්වා මේ කටයුතු සිදු කර අවසන් කළහ. ඒ අනුව එහි ගැසට් නිවේදනය අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කර සිටියේ පසුගිය පෙබරවාරි 17වෙනිදාය.

මේ අතරතුර අපත් විවිධ දේශපාලන පක්ෂත් පනතේ පවතින අඩුපාඩුකම් පිළිබඳව පෙන්වා දුන්නේය. සියයට පහක සළුවීමේ ප්‍රතිශතය පිළිබඳව ගැටලුවක් ඇති බවත්, ඇප මුදල වැඩි බවත් එහිදී සාකච්ඡා විය. අප කියාසිටියේ එය ඡන්ද විමසීමට බාධාවක් නොවන නමුත් සලකා බැලිය යුතු වටිනා කරුණු බවය.

ඇත්තෙන්ම අසෝක පීරිස් කමිටුවට මූලික වශයෙන් පැවරී තිබුණ වගකීම වූයේ පැමිණිලි විමර්ශනය කිරීමය. ඔවුන්ට තුන්සීයකට ආසන්න පැමිණිලි සංඛ්‍යාවෙන් දෙසීයක පමණ පැමිණිලි ලැබී තිබුණු අතර ඉන් සීයකට අධික සංඛ්‍යාවක් විභාග කර වෙනස් කරන ලදී.

මේ අතර තුර 2016 අංක 01 දරණ නව පනතක් ඒක මතිකව සම්මත වූ අතර, ඒ අනුව මුළු නියෝජිතයින්ගෙන් 1/4 අනිවාර්යයෙන්ම කාන්තාවන් විය යුතුය. නමුත් ඒ සඳහා සිටින මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු නොකර එය වැඩි කළ යුතු බව එහි සඳහන් විය. එනම්, අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීන් 15 දෙනා 03න් බෙදා ඒ එන අගයට 15 ක් එකතු කර එය 04න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව (05) කාන්තාවන් විය යුතු ය. ඒ අනුව සිටිය යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 20කි. නමුත් ගැටලුව වී ඇත්තේ මෙම සංඛ්‍යාව ගැසට් කර නොමැති වීමය. එය අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු කාර්යයකි. ඒ අනුව ඔහු අප්‍රේල් මාසයේ සභික සංඛ්‍යාව ගැසට් කළ අතර එය බලාත්මක වීමට නියමිතව තිබුණේ ජුලි මාසයේ පළවනදා සිටය. නමුත් ජුනි මාසයේ 29වෙනිදා නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එය බලාත්මක වන්නේ ඔක්තෝබර් පළවෙනිදා සිට බව සඳහන් කර තිබිණි.

ඒ අනුව සභිකයින් සංඛ්‍යාව නිශ්චිත ලෙස නොදන්නා තත්ත්වයකට අප ආයතනය පත් විය. මේ වන විට පනතේ තිබුණ සංශෝධන කෙටුම් පතක් ලෙස පාර්ලිමේන්තුවට යොමුකර තිබේ. පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ පළාත්පාලන සභික සංඛ්‍යාව බලාත්මක වීම ඔක්තෝබර් 01වෙනිදා දක්වා කල්යාවා ඇති නමුත් සීමා නීර්ණය අවසන් වී ඇති නිසා එය ගැටලුවක් ලෙස නොගෙන පනත සම්මත වු වාහම අවශ්‍ය නම් ඡන්දය පවත්වන ලෙසය.

එහෙත් අපට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දීමක් සිදු කළ යුතු වේ. එසේ කළ හොත් එය නීතිපතිවරයාට යොමුකර ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැකි බව අප දැනටමත් දන්නා යවා තිබේ. යම් විදියකින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කළහොත් ඡන්දය පැවැත්වීමට ඔක්තෝබර් පළවෙනිදා දක්වා සිටිය යුතුද? නැතිනම් ඊට පෙර ඡන්දය පැවැත්විය හැකි ද? එසේත් නැති නම් මේ පනත සම්මත නොවූවත් ඡන්දය පැවැත් වීමට පුලුවන්ද? යන්න මේ වන විටත් අපි සලකා බලමින් සිටිමු.

පැෆරල් සංවිධානය යොමු කළ නඩුව සැප්තැම්බර් 18 වෙනිදා ඇසීමට නියමිතව ඇත. ඒ අනුව නව පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුව මත හෝ පදනම්ව ඉදිරියෙදී ඡන්දය පැවැත්වීමට අපට පියවර ගත හැකිය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.