වෙඩි­ක්කා­රයෝ, මීපු­ර­වැ­සියෝ සහ සිරි­පැ­ර­කුම්

සුබ සහ යස’ නාට්‍යය නරඹන්නට යන විට මට වයස හයක් පමණ වන්නට ඇත. පොඩි ළමයින්ට නාට්‍යවල පෙනෙන්නේ වැඩිහිටියන්ට පෙනෙන දේ නොවේ. වැඩිහිටියන්ට පෙනෙන්නේ පොඩි ළමයින්ට පෙනෙන දේ නොවේ. නාට්‍යවල හැටි එහෙමය. ‘වෙඩික්කාරයෝ’ නාට්‍යය නරඹන විට ද මට වයස අවුරුදු හයකට අඩු යැයි සිතමි. වෙඩික්කාරයෝ සෝමරත්න දිසානායක මහතාගේ නාට්‍යයකි. ඒ කාලේ දෙමව්පියන් තමන්ගේ දරුවන් නාට්‍ය බලන්නට රැගෙන ගියේ ඔවුන් නාට්‍යකරුවන් කිරීමට නොවේ. පෙරහැර බලන්නට යන විට පවුල් පිටින් යන්නා සේ ම නාට්‍ය චිත්‍රපට බලන්නට යන විට ද පවුල් පිටින් යාම සිරිතක් වූ බැවිනි.

’වෙඩික්කාරයෝ’ නැරඹීමෙන් පසුව මා නැරඹූ සෝමරත්න දිසානායක මහතාගේ නාට්‍ය වන්නේ ‘මීපුර වැසියෝ’ නාට්‍යයයි. එවිට මා විසිවැනි වියේ සිටියෙමි. ‘පොත් හතක් අටත් දැනටත් ලියා දමලා තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා තියෙනවා’ යැයි ගයන්නේ ද මීපුරු වැසියෙකි. මට මතක විදිහට ඔහු මීපුරයේ මාක්ස්වාදී නායක ලේඛකයෙකි. මීයන් තීරු තීරුවලට ලියූ පොත් අපට ගෙවල්වල දී බොහෝ විට හමුවේ. ඒ නිසා ම එක වරක් ඇසූ පමණින් ම ඒ සින්දුව හිතේ පැළපදියම් වේ.

සෝමරත්න දිසානායක මහතාගේ ‘සූරිය අරණ’ මා නැරඹුවේ මගේ බිරිය හා කුඩා දියණිය ද සමඟය. දියණියට එය ඉතා ආකර්ෂණිය ළමා චිත්‍රපටයක් වුව ද මට එය ළමා චිත්‍රපටයක් පමණක් වූයේ නැත. මේ චිත්‍රපටයේ ප්‍රධාන කතා පුවත වනවාසී හාමුදුරුවන් සහ දඩයක්කාරයා අතර ගැටුමයි. දඩයක්කාරයා හාමුදුරුවන් නසන්නට පවා නොයෙක් උත්සාහ දරයි. එහෙත් වනවාසී හාමුදුරුවනගේ කුළුණු ගුණය නොසැලේ. මේ කතාව එසේ සෝමරත්න දිසානායක මහතාගේ සිතට එන්නට බුදුරජාණන්වහන්සේ නසන්නට දෙව්දත් දැරූ උත්සාහයන් පිළිබඳ කතාවස්තු ද හේතුවන්නට ඇතැයි මට සිතිණි. බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවතක් ළමා චිත්‍රපටයක් උදෙසා සාර්ථකව යොදාගැනීම කොතරම් නම් ආශ්චර්යයක් ද? එය ළමා චිත්‍රපටයක් වන අතරම ආගමික නොඑසේනම් ධාර්මික චිත්‍රපටයක් ද වේ. මා නරඹා ඇති සෝමරත්න දිසානායක මහතාගේ නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අතරින් හොඳම නිර්මාණය ලෙස එදා ‘සූරිය අරණ’ මගේ හිතේ සනිටුහන් විය.

එහෙත් එයට වසර පහකට හයකට පමණ පසුව සිරි පැරකුම් නැරඹූ විට මට සිතුණේ සෝමරත්න දිසානායක මහතා එතෙක් මෙතෙක් නිර්මාණය කළ හොඳම චිත්‍රපටය එය බවය. කෙසේ හෝ මෙහි දී මා සිටින්නේ වැරදි ස්ථාවරයකයි. එනම් කිසිම නිර්මාණයක් වෙනත් නිර්මාණයක් හා සැසඳීය නොහැක. එය සැසඳිය හැක්කේ එම නිර්මාණය සමඟ ම ය. ඒ අනුව ‘සූරිය අරණ’ එක් අතකින් විශිෂ්ට නිර්මාණයක් වන අතර ‘සිරි පැරකුම්’ තවත් අංශයකින් විශිෂ්ට නිර්මාණයක් වේ. එය මෙසේ ද කිව හැකිය. සූරිය අරණට වස්තු වන්නේ විශ්වීය තේමාවකි. එහෙත් ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට වස්තු විෂය වන්නේ දේශීය කතා වස්තුවකි.

‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ සචිනි අයේන්ද්‍රාගේ මායම්කාරී රඟපෑම ආකර්ෂණීයය. එයට එක්වන පුරෝහිත ලෙස රඟපාන දයාදේව එදිරිසිංහගේ රඟපෑම් විශිෂ්ටය. සිරි පැරකුම් රජුගේ ළමා කාලයට රඟපාන ප්‍රමුදිත උදයකුමාරගේ රඟපෑම් සුරතල්ය. ඒ අතර ම රජ කුමරෙකුට හිමි තේජවන්ත බවින් ද යුක්තය. රෙදි නැන්දා ලෙස රඟපාන චාන්දනී සෙනෙවිරත්නගේ ආදරය අම්මා කෙනකු දක්වන ආදරයට ද වඩා වැඩිය. ඇය සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපාන්නේ හුණුවටයේ ගෲෂාගේ චරිතයයි. මවකගේ ආදරය පරදින ආදරයක් චාන්දනී රිදී තිරය මතට ගෙන එන අයුරු විස්මිතය. ඇය ඇගේ හදවතේ පවතින සියලූ ආදරය කැමරාවට ගොනු කළා වැන්න. අකිල ධනුද්ධර ‘රජ වීමට යන ගමන’ වීර රසය දනවයි. සෙනාලි ෆොන්සේකා ‘සිෙරිමල් එතනා’ වන්නේ හංසියක දියට බසින්නා සේ ය. පතිරාජ ලෙස රඟන අශාන් ඩයස් ප්‍රතාපත්වත්ය. නායක හාමුදුරුවන්ට පණ දෙන සම්පත් තෙන්නකෝන් දක්වා ඇත්තේ ඔහුගේ විශිෂ්ටතම රංගනයන් අතරින් එකකි. සියලූ ගීත සුමියුරුය. රෝහණ වීරසිංහගේ නිමැවුම් කර්ණ රසායන වේ. එහෙත් ඒ සියල්ලටම වඩා ඒ මැදින් මතුවන ඉතිහාස කතාව මියුරුය. ඒ නිර්මාණය වන ඉතිහාස පොත කතාව කොතරම් මියුරු ද යත් එය ඉතිහාසය නොව වර්තමානය ම බවට පත් වෙයි. එනම් අපට ඉතිහාස කතාවක් බලන්නා සේ නොපෙනේ. ඒ කාලයේ ආ ඉතිහාස චිත්‍රපට රැල්ලේ ඉතිහාස කතාවක් සේ නොපෙනෙන එකම චිත්‍රපටය ‘සිරි පැරකුම්’ යැයි ඇතැම් විටෙක මට සිතේ.

ඒ කාලයේ දිගින් දිගටම බිහි වූ ඉතිහාස රැල්ලේ චිත්‍රපටවලට ප්‍රේක්ෂකයෝ සිනාසෙමින් සිටියහ. ඔවුන් ‘සිරි පැරකුම්’ බලන්නට ගියේ ද ඒ ආකල්පයෙන් එයට සිනාසෙන්නටය. එහෙත් ‘සිරි පැරකුම්’ ඒ ඉඩ ලබා දුන්නේ නැත. එයට හේතුව එය ඉතිහාස කතාවක් නොව සිනමා නිර්මාණයක් වීමයි. ඉතිහාස කතාවක් බලන්නට ගිය අයට පෙණුනේ සිනමා නිර්මාණයකි. සමහර විට එමගින් ඔවුහු ඉතිහාසය සිනමාව තරම් ම රසවත් බව නම් ඉගෙන ගන්නට ඇත. එහෙත් අනෙක් චිත්‍රපට මගින් බොහෝ විට කරනු ලැබුවේ සිනමාව ඉතිහාසය තරම් ම නීරස කිරීමයි.

මෙහි වැදගත් අනෙක් කරුණ අප්පුවා රජවීම පිළිබඳ ජනප්‍රවාදයේ සියලූ අංග සිනමාරූපී අන්දමින් යොදාගැනීමයි. ඒ කතාවේ සියලූ අංගයන්ගෙන් චිත්‍රපටය ආලෝකවත් කරගැනීමයි. එයට අමතරව ඉතිහාසයේ වෙනත් පුවත් හා දැනුම මගින් එම කතා පුවත වඩා සම්පූර්ණ හා අර්ථවත් කිරීමයි. කව් සිළුමිණ සැලකෙන්නේ සිංහලයෙන් ලියැවුණු විශිෂ්ටතම කාව්‍ය ග්‍රන්ථය ලෙසය. එහෙත් එය එසේ වන්නට හේතුව ‘සිරි පැරකුම්’ චිත්‍රපටය නිර්මාණය වන තුරු අනෙක් කිසිදු නිර්මාණයකින් හෝ ලියැවිල්ලකින් අනාවරණය වූයේ නැත. කව් සිළුමිණ එතරම් විශිෂ්ට වන්නේ එහි කර්තෘවරයා පාළි සංස්කෘත හෝ රජමාළිගා දැන හැඳින සිටි අයකු පමණක් නොව වෙල් ඉපනැල්ලේ දුව පැන ගහ කොළ ඇසුරේ හැ දී වැඞී සොබා සෞන්දර්යය ජීවිතය තුළින්ම පසක් කළ අයකු විමද බව සිරි පැරකුම් චිත්‍රපටයෙන් අනාවරණය වේ. එතුමන් රජ සැප පමණක් නොව ගැමි සැප හා වන සැප ද වැළඳූ අයෙකි. කව් සිළුමිණ, කව් සිළුමිණ වීමේ රහස එයයි. එය ප්‍රථම වරට අනාවරණය කරනු ලබන්නේ ‘සිරි පැරකුම්’ මගිනි. මෙය නිර්මාණාත්මක අර්ථ දැක්වීමක් වන අතර බොහෝ දුරට සත්‍යය ද එයම විය හැක.

තවත් වැදගත් කරුණක් වන්නේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය මගින් එම ඉතිහාස කතාවට අයත් සෑම අංශයක් ම පාහේ ආවරණය කරනු ලැබීමය. එහෙත් එය ආයාසයෙන් කරන්නක් නොවේ. නිරායාසයෙන් ම චිත්‍රපටයේ ගලායාම තුළින් මතුවන්නකි. ජනප්‍රවාද අනුව පසුකලෙක ‘කව් සිළුමිණ’ රචනා කරන්නේ ද කලූන්දූව ගමේ හැදුණු වැඩුණු අප්පුවා ලෙසින් ගමේ කොල්ලෙකු ලෙසින් හැදුණු වැඩුණු පැරකුම්බා රජු විසිනි. ‘කව් සිළුමිණ’ එතරම් අලංකාර වීමට හේතුවක් වන්නේ සිරි පැරකුම් රජුට ගමේ කොල්ලෙකු ලෙසින් ගහ කොළ ඇසුරේ ද ජීවත්වන්නට වරම් ලැබීමයි.

සෝමරත්න දිසානායක මහතාගේ ‘සරිගම’ ද අප බෙහෙවින් රස විඳි නිර්මාණයකි. එයින් ද පැහැදිලි වන්නේ කලාකරුවකු සතු විවෘත මනසයි. එනම් ‘කොපි කිරීම’ කලාවක් නොවේ යැයි සිතන්නට තරම් බොරු ආඩම්බරයක් සෝමරත්න දිසානායක නමැති කලාකරුවා තුළ නැත. වෙනත් නිර්මාණයක් ඇසුරින් තවත් නිර්මාණයක් කිරීමට උත්සාහ දැරීමේ නිහතමානී ගුණය ‘සරිගම’ තුළ ඇත.

ඇත්තටම සෝමරත්න දිසානායක මහතා ප්‍රසිද්ධියේ කළ දෙය බොහෝ තරුණ නිර්මාණකරුවන් රහසේ කරති. එනම් කොපි යැයි නොපෙනෙන සේ කොපි ඉදිරිපත් කර ජාත්‍යන්තර සම්මාන ගැනීමට උත්සාහ කරති. එහෙත් කලාවේ මග එය නොවේ. සිනමා නිර්මාණ කරන්නේ විනමණ්ඩල තෘප්තිමත් කිරීම සඳහා සඳහාය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.