‘ඇක්ෂන් - කට්’ වෙනත් ස්වර­ය­කින් කියූ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක්

මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. සීටී නම් ඒ අතලොස්සක් පමණි. නමුත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද කළ අධ්‍යක්ෂවරුන්, නළු-නිළියන්, ගායකයා ගායිකාවන් ගැන තොරතුරු බිඳක් හෝ දැන ගැනීමට ඇත් නම්, කොයිතරම් නම් අගේද. සිය අතීත මතක පෙළින් පෙළ අමුණමින් ඒ සිහින මතක ගෙත්තම් කරන ඈ වෙනකෙකු නොව අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකාය. ඕ රිදීතිරයට හඳුන්වා දුන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා පිළිබඳව මෙසේ හඬ අවදි කළාය.

තිස්ස ලියනසූරිය කියන්නෙ වෘත්තාන්ත චිත්‍රපට කලාව තුළ වගේම කෙටි හා වාර්තා චිත්‍රපට කලාවේත් දැවැන්තයෙක්. ඇත්තෙන්ම ඔහු සහ ඩි. බී. නිහාල්සිංහ මේ රටේ වාර්තා චිත්‍රපට කලාව ඉහළට ඔසවා තබන්න මහත් වෑයමක් කළ අයයි. නමුත් පසුකාලයේදී කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට නිර්මාණය වීම ඉතාම පහළට වැටුණා. අද වෙද්දි ඒ තත්ත්වය වෙනස් වෙමින් තිබීම සතුටට කාරණයක්. ලාංකේය සිනමා මාධ්‍යට නවක සිනමා ශිල්පීන් හඳුන්වාදුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මාහැඟි සොයා ගැනීමක් ලෙස තිස්ස ලියනසූරිය මහතා හඳුන්වා දිය හැකි වුවත්, තිස්ස අයියව ආචාර්ය පීරිස්ට හඳුන්වා දෙන්නේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නම් ප්‍රවීණ සාහිත්‍යවේදියා යි. එනිසා ඔහුව ආචාර්ය පීරිස්‌ට හඳුනාවාදීමේ ගෞරවය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නම් ප්‍රවීණ සාහිත්‍යවේදියාට හිමි විය යුතුයි. මේ හඳුනා ගැනීමත් එක්ක තිස්‌ස අයියව “සංදේශය“ චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් තෝරා ගන්නවා. ඒ සමඟම ඔහු මෙරට සිනමාවට අත්පොත් තබනවා.

වේදිකා නාට්‍ය කරන කාලයේ එස්. කරූ, සුනන්ද මහේන්ද්‍ර, හෙන්රි ජයසේන, සුමණ ආලෝක බණ්ඩාර වගේ නාට්‍ය අධ්‍යක්ෂවරුන් මට මුණගැසි තිබුණට සිනමා රංගන ජීවිතයේ මට කවදාවත් තිස්ස ලියනසූරිය මහත්තයට කලින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මුණගැසී තිබුණේ නැහැ. “පුංචි බබා“ (1968) චිත්‍රපටයෙන් මා සිනමාවට හඳුන්වා දුන්න වගේම ඔහු තමයි මට හමුවූ පළමු චිත්‍රපට අධ්‍යක්ෂවරයා. චිත්‍රපටය රංගනය තුළින් මං යම් සාර්ථකත්වයක් අත් කර ගත්තා නම් එහි ගෞරවය හිමිවෙන්න ඕන කිහිප දෙනා අතරින් ප්‍රධාන චරිතයක් වෙන්නේ තිස්ස අයියා. සිනමා කර්මාන්තය පිළිබඳව කිසිවක්ම නොදැන සිටි මට සිනමාව පිළිබඳ අයන්න ආයන්න කියලා දුන්නේ එතුමායි.

තිස්ස ලියනසූරිය කියන සිනමා අධ්‍යක්ෂවරයා මං දකින්නේ මහපොළවෙ පයගහල හිටපු සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසයි. ඔහු ඕනෑම දෙයක් බොහෝම බැරෑරුමව වටහාගැනීමට උත්සාහ කරන, එහෙත් ඉතාම සරලව කටයුතු කරන නිහඬ පුද්ගලයෙක්. ඒ කාලේ ඇක්ෂන් - කට් කියන වචන දෙකට බොහෝ අධ්‍යක්ෂවරුන් විශාල අගයක් සහ වටිනාකමක් ආරෝපණය කරමින් පාවිච්චි කරපු කාලයක්. සමහරු ඒ වචන දෙක හරිම බැරෑරුම්ව හඬ නගා කියද්දි, තිස්ස අයියා ඒ වචන දෙක කිව්වෙ හෙමින්. ඒ නිසා රංගන ශිල්පියා හෝ ශිල්පිනිය මත අනවශ්‍ය බියක් හෝ තැති ගැන්මක් ඇති වූණේ නැහැ. ඇතැම් අධ්‍යක්ෂවරුන් ඒ වචන දෙක (ඇක්ෂන් - කට්) පාවිච්චි කරපු විදිහ අදත් මතක් වෙද්දි හිනා යනවා. තිස්ස අයියා ඇක්ෂන් කියල කියන්නෙ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට හා සෙසු කාර්ය මණ්ඩලයට ඇහෙන්න පමණයි. ඒ ආමන්ත්‍රණය කරන විදිහට රංගන ශිල්පීන් ශිල්පිනියන් තුළ වගේම කාර්මික ශිල්පින් තුළත් නිවුණු ගතියක් මනා හික්මිමක් ඇති වුණා. ඒ නිසා ඔහුගේ ඒ විධානය ලැබුණ සැනින් තම රංගන කාර්ය ඉදිරියට කරගෙන යන්න රංගන ශිල්පිනියට හෝ ශිල්පියට පහසු වුණා. ඔහුට රංගන ශිල්පින් මෙහේයවීමේ පුදුම හැකියාවක් දක්ෂකමක් තිබුණා. ඔවුන් එක් ක්ෂණයකින් තමන්ගේ අරමුණට ගොනුකරගන්න ඔහු ඉතාම දක්ෂයි. මේ නිසා නළු නිළියන් ඔහුගේ අවශ්‍යතාව ඉෂ්ටකරන්න පෙළඹෙන්නේ නිරායාසයෙන්. තිස්ස අයියා ඒතරම්ම එම කාර්යයෙහි ප්‍රවීණයෙක්.

ඔහු අපේ ළඟට ඇවිත් “මෙන්න මේ විදිහෙ පරිසරයක් තමයි මෙතන තියෙන්නෙ. ඒ හැඟීම හොඳින් ඉස්මතු වෙන්න නම් දෙබස් උච්ඡාරණයෙදි හඬ මේ මේ තැන්වල උස්පහත් වෙන්න ඕන. එතනදි මුහුණේ ඉරයව් මේ විදියට මතුවුණොත් හොඳයි “... ආදී දේ කියමින් අපේ රංගන කාර්ය සාර්ථක කරගන්න මහත් වෙහෙසක් ගන්නවා. ඒ වන විට ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීනයන් වන ඩොමී ජයවර්ධන, ජෝ අබේවික්‍රම, අනුලා කරුණාතිලක, ඩේවිඩ් ධර්මකිර්ති... වගේ අය ඔහු මෙහෙයවනවා. ඒ අය අතරේ මං වගේ නවකයකුට තියෙන බය ඔහු හොඳින් තේරුම් අරන් තිබුණා. ඒ බය නැති වෙන විදියට කටයුතු කරන්න ඔහු මැනවින් දැන හිටියා. එය අධ්‍යක්ෂවරයකු සතුව තිබිය යුතු උතුම් ගුණාංගයක්. ගොඩක් වෙලාවට නවකයකු එන්නේ රඟපාන්න ඕන කියල ලොකුවට හිතාගෙන. නමුත් “රඟපාන්න නෙවෙයි, ඒ චරිතය තුළ ජීවත් වෙන්නයි ඕන“ කියන කාරණාව දැනුම් තේරුම් ඇතිව කියල දුන්නේ තිස්ස අයියා. ඒ නිසා තිස්ස ලියනසූරිය කියන්නේ මෙරට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරේ ඉහළින්ම ඉන්න කෙනෙක්‍ෙ

චිත්‍රපටියක් රූගතකරන්න ගියාම; එහෙන් මේකප් ආර්ටිස්ල එනවා, මෙහෙන් දෙබස් කියවන අය එයවා, කට්ටියක් ලයිටි චෙක් කරනවා, හරිම කලබලකාරි වටපිටාවක්. ඒ අතරෙ බොහෝම නිහඬව හිඳිමින් ඒ හැමදෙයක් දිහාම බලන් ඉඳළ තමන්ට අවශ්‍ය දේ අපි හැමෝගෙන්ම ලබා ගන්න තිස්ස අයියා හරිම දක්ෂයි. හරියට මල නොතලා රොන් ගන්නව වගේ අපටත් නොදැනීම අප තුළ ඇති දක්ෂතාවයන් එළියට අරගන්නවා. ඒ සඳහා ඔහු අපව හොඳින් අධ්‍යනය කරනවා. අපි හැසිරෙන හැටි, කතාබහ කරන හැටි, අපිටම අනන්‍ය වෙච්ච ඉරයව් වගේම, අපේ දුර්වලතා මොනවද කියලත් ඔහු මැනැවින් අධ්‍යනය කරනවා. ඒදේවල් ඔහු කරන්නේ අපටත් නොදැනීමයි. එයා කරපු නිර්මාණ හුඟක් සාර්ථක වෙන්නත් මේ දේවල් හුඟක්ම බලපෑවා. කිසිම දෙයක් දන්නෙ නැතිව රංගනයට පැමිණෙන නවකයින්ට සැරවැර නොවී දැනුම් තේරුම් ඇතිව කියලදෙන අයටයි අධ්‍යක්ෂකවරයකු කියල කියන්නේ. මගේ වාසනාවට මට මුලින්ම හමු වුණේ ඒ අය අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක් වුණු තිස්ස ලියනසූරිය මහත්මයා යි. ඔහු හා සමානව මම දැක්ක අනෙක් කෙනා ඩොක්ටර් පීරිස්. සමහරවිට එතුමා එක්ක කටයුතු කිරීමෙන් ලබපු ආභාෂය නිසා එහෙම වුණාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ දෙදෙනා අතර බොහෝ සමාන ලක්ෂණ මම දැක්කා‍ෙ

ඔහු සෙරන්ඩිබ් සිනමා සමාගමට සම්බන්ධ වී කටයුතු කළා. එහිදී මයික්‌ විල්සන්ගේ රන්මුතු දූවේ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්න ඔහුට අවස්ථාව හිමිවෙනවා. මයික්‌ විල්සන් ඉංග්‍රීසියෙන් ලියූ රන්මුතු දූව තිර කතාව සිංහලට නගන්නෙ තිස්‌ස අයියා. මේ චිත්‍රපටයේ තිබුණ ගීත තුනම (පාරමිතා බල පූජිත, පිපී පිපී රේණු නටන, ගලන ගඟකි ජීවිතේ) අධ්‍යක්ෂණය කළෙත් ඔහුමයි. ඊට පස්සෙ මයික්‌ විල්සන්ගේ ගැටවරයෝ චිත්‍රපටයේ සම අධ්‍යක්‍ෂවරයා බවට පත්වෙනවා. මේ චිත්‍රපටයේ එන නාගරික දර්ශන මයික් විල්සන් අධ්‍යක්ෂණය කළත්, මේ චිත්‍රපටියේ දකින ගැමි දර්ශන සියල්ලම අධ්‍යක්ෂ කර තිබෙන්නේ තිස්ස අයියා. එහි තිබුණ ගීත තුනෙන් දෙකක් ම “හීන හතක් මැද“, “ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්“ අධ්‍යක්ෂණය කෙළෙත් ඔහුමයි.

ඔහු “සාරවිට“ (1966) චිත්‍රපටයෙන් වොලී නානායක්‌කාර නමැති විශිෂ්ට රංගන ශිල්පියාව සිනමාවට හඳුන්වා දෙනවා. ‘සාරවිට’ තිස්ස අයියා තනිව අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය. ඒ වගේම ජෝ අයියව සාරවිට චිත්‍රපටය හරහා ප්‍රධාන නළුවකුගේ මට්ටමට ඔසවා තබනවා පමණක් නොවෙයි, ඔහු එහිදී ඉදිරිපත් කළ “ගුණහාමි කියන සාරවිටි කාරයාගේ“ චරිතය නිසා චරිතාංග නළුවකු බවට පත්වෙනවා. මොකද ජෝ අයියා ගොඩක් ජනප්‍රියවෙලා හිටියේ විකට නළුවකු විදියට. ඊට එහා ගිය රංග ප්‍රතිභාවක් ඔහු තුළ ඇති බව ප්‍රේක්ෂකයින්ට වගේම විචාරකයින්ට අවබෝධ කර දුන්නේ මේ අපූරු අධ්‍යක්ෂවරයා යි. පොදු ජන ජීවිතය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වුණු මෙම චිත්‍රපටයේ, ප්‍රධාන චරිතය වන ගුණහාමිගේ චරිතය බෞද්ධ සංස්කෘතියේ එන අල්පේච්ඡතාව ඉස්මතු කර පෙන්වීමට ඔහු යොදාගෙන තිබුණා. ඒ සඳහා එම චරිතය ඉතාම සංවේදීව ගොඩනැගීමට ඔහු සමත් වී තිබුණා.

එතුමා අධ්‍යක්ෂණය කළ “කවුද හරි “ චිත්‍රපටය සඳහාත් මාව තෝරා ගත්තා. එතුමා එහි කටයුතු කරමින් සිටින අතරවාරයේ, ජාතික චිත්‍රපට සංස්ථවේ සේවය සඳහා ආරාධනාවක් ලැබුණා. ඔහු ඊට සම්බන්ධ වූ නිසා එහි වැඩකටයුතු අවසන් කරන්න නොහැකි වුණා. ‘කවුද හරි‘ චිත්‍රපටය මුල් අදියරය ඔහු අතින් නිමවුණත් එය නිමවා අවසන් කළේ ටයිටස් තොටවත්ත මහත්මයායි.

ඒ කාලෙ චිත්‍රපටි හැදුවේ පෞද්ගලික මට්ටමින්. රජය චිත්‍රපට සංස්ථාව ආරම්භ කිරීමත් සමඟ සිනමා කර්මාන්තය කඩා වැටෙයි කියලා බොහෝ දෙනා බිය වුණා. ඒ නිසා බොහෝ අය සිනමා කර්මාන්තයෙන් ඉවත් වුණා. නමුත් පසුව තේරුම් ගියා එය වැරදි නිගමනයක් බව. මොකද එවැනි තත්වයක්‌ උදා වුණේ නැහැ. චිත්‍රපටි සංස්ථාව ඇති කිරීමට මූලික වී කටයුතු කරපු ප්‍රධාන චරිතයක් තමයි ඩොමී ජයවර්ධන. කොටින්ම එම සංකල්පයේ නිර්මාතෘද ඔහුයි. චිත්‍රපටි සංස්ථාව ඇති කරලා කාලයක්‌ යනතුරුම සිනමා කර්මාන්තය ඉතාම හොඳ තත්ත්වයක තිබුණා.

තිස්ස අයියා චිත්‍රපට සංස්ථාවට බැඳුණාට පස්‌සේ වෘතාන්ත සිනමාවෙන් ඈත් වෙච්ච බවක් පෙනුණා. ඔහු ඒ වෙනුවට කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපටවලට යොමු වී සිටියා. මුල්කාලයේ ඉඳලම චිත්‍රපටයක් පැය දෙකකට වැඩිය කාලයක් පෙන්නුවා‌. ඒ නිසා ප්‍රේක්ෂකයින් හිතුවෙත් චිත්‍රපටයක් නම් ඒක පැය දෙකක් දෙකහමාරක පමණ කාලයක් පෙන්නන්න ඕන කියලා. ඒත් තිස්ස අයියා අවසාන වතාවට වෘතාන්ත චිත්‍රපටයක් ලෙස කරපු ‘‘නාරිලතා“ (1969) චිත්‍රපටිය සංස්‌කරණය කළාට පස්සේ පැයකුත් විනාඩි හතළිස්‌ පහක් පමණයි තිබුණේ. ඉතිං කොහොමද ඒක පෙන්නන්නේ. ඒ අතරමැදට කෑලි දාලා දික්‌ කරන්න එයා කැමැති වුණේ නැහැ. එහෙම කළොත් ඔහු කියන්න හදන දේ ඒතුළින් කියා ගන්න බැහැයි කියලා ඔහු දැන සිටියා. ඒ නිසා සිනමා කෘතිය හානියක් නොකර පැය භාගයක ‘‘පිංගොනා‘‘ නමින් තවත් කෙටි චිත්‍රපටයක්‌ හදලා ඒකට එකතු කරලා පෙන්නුවා. එවැනි චිත්‍රපට දෙකක් එකට පෙන්නපු පළමුවතාව ඒක කියලයි මං හිතන්නේ. ‘නාරිලතා’ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි “ දුම්රිය රියදුරන්, දුම්රිය නියාමකවරුන් වැනි දුම්රිය සේවයට සම්බන්ධ චරිත පිළිබඳ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් වීම. මෙරට කම්කරුවන් පිළිබඳව සිනමාවට නැගුණු පළමුවතාව ඒක වෙන්නත් පුලුවන්.

මගේ මතකයේ හැටිය ඔහු චිත්‍රපටි සංස්ථාවට බැඳුණු කාලයේ, ඔවුන්ගේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ රිජ්වේ තිලකරත්න මහතායි. තිස්ස අයියයි කේමදාස මාස්ටරුයි ඔහුගෙන් අවසර ඉල්ලා තිබෙනවා චිත්‍රපටි හදන්න. තිලකරත්න මහත්තයා ඒ වෙලාවේ කියලා තියනවලු “ඔයාලා කැමැති නම් චිත්‍රපටයක්‌ කරන්න කියලා“. ඒත් සංස්ථාවේ වැඩ රාජකාරි බහුල වීම නිසා ඔහුට වෘතාන්ත චිත්‍රපටයක්‌ කිරීමට අවස්ථාවක් ලැබී නැහැ. ඒකට ගොඩක්ම බලපාන්න ඇත්තේ ඔහු බාරගන්නා කටයුත්ත බොහෝම අවංකව කැපවීමෙන් කරන නිසා වෙන්න ඕන. කොහොම වුණත් මට අදත් හිතෙන්නේ ඔහු චිත්‍රපට සංස්ථාවට බැඳි කටයුතු නොකරන්න ඔහු අතින් විශිෂ්ට සිනමා නිර්මාණ බොහෝමයක් බිහිවීමට ඉඩ තිබුණ කියලයි. ඔහු වැනි විරල නිර්මාණ ශිල්පීන් තවමත් අප අතර සිටීම මේරටේ වාසනාවක්. හැබැයි ඔහු වැන්නන්ගෙන් වැඩක් නොගැනීම රටේ අවසනාවක්. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.