අතක් නැති කළ පොතක්

 ‘දිනය මට හරියට මතක නැහැ. ඒ වුණත් 2009 අවුරුද්දේ මැයි මාසෙ කියල මතකයි. ඒ දවස්වල අපි හිටියේ පුදුමාතලන් නගරයට කිට්ටුව. යුද්ධය නිසා අපට ඉන්න තැන්වලින් ඉවත් වෙන්න කියල දැනුම් දුන්නා. අපි ඉක්මනට පිටත් වුණේ ආරක්ෂක කඳවුරකට යන්නයි. දුවල තුන් දෙනාට ඉක්මනට යන්න කියල මම චූටි පුතාව වඩා ගත්තා. ඒත් එයා මඟදි කෑගහල බිමට බැස්සා. මම වඩා ගන්න හදනකොට ආපහු හැරිල ගෙදර පැත්තට දිව්වා. මම පුළුවන් තරම් වේගයෙන් දිව්වත් එයා බට්ට වගේ පෙරලීගෙන දුවනවා. එතකොට එයාගෙ වයස අවුරුදු 6යි. කිලෝමීටර් භාගයක් විතර ගෙදරටම දිව්වා. ‘දරුවො මොකක්ද මේ කරන්නෙ අපිට ඉක්මනට යන්න කිව්ව නේද කියල මම පුතාව වඩා ගන්න හොයන කොට එයා පොත් බෑග් එක අර ගන්න කාමරේට ගිහින්.

‘ඇයි අම්මේ මේ පොත නැතුව මම යන්නෙ කොහොමද මගේ යාළුවො ඔක්කොම ඉන්නෙ මේ පොතේනෙ‘

‘එහෙම කියපු පුතාට මම උත්තර දිදී ඉන්න ගියේ නැහැ පුතාව වඩාගෙන පාරට බැහැල දුවන්න හැදුවා විතරයි, කන් බිහිර වුණා. මෝටාර් එකක් අපේ ළඟින්ම පත්තු වුණා. මට මතකයි මාව කැරකැවිල වැටෙද්දි පුතාව විසිවෙලා ගියා.‘

මුලතිව් පුදුකුඩුඉරිපුප්පු නගරයට සමීපව වාසය කරන එක් පාදයක් අහිමිව දිවි ගෙවන නන්දනී මහත්මිය අපට ඇගේ කතාව ආරම්භ කළේ එලෙසිනි. ඒ මෝටාර් එක වැදිලා දරුවගෙ දකුණු අත නැතිවුණා. මගේ දකුණු කකුල නැති වුණා. ඒ සිද්ධිය වෙනකොට දරුවන්ගෙ තාත්තත් අපට නැතිවෙලයි තිබුණෙ. යුද්දෙ නිසා අපේ හුඟක් දේවල් නැති වුණා. අන්තිමට උන් හිටි තැන් පවා නැති වුණා. දරුවො ටික ලොකු වෙනකොට ඒ අයගේ ඉගැනීම් වැඩ වගේම අනෙක් වැඩත් කර ගන්න මට ශක්තියක් නැති වුණා. බොරු කකුලක් දාගෙන පොඩි කඩයක් කළත් ඒකත් සාර්ථක වුණේ නැහැ. ලොකු දුව කසාද බැඳල ඉරණ පෙලයි පදිංචියට ගියා, ඒත් තවත් දූවරු දෙන්නෙක් එක්කයි ඉගෙන ගන්න පුතෙක් එක්කයි ජීවත් වෙන්න පැල්කොටයක් විතරයි මට තිබුණෙ. ඒක හරි අනාරක්ෂිත තත්ත්වයක් වුණා. හමුදාවෙ මහත්වරු මම විඳපු දුක දැකල මට ගෙයක් හදල දෙන්න කටයුතු කළා. ඒක ඇත්තෙන්ම මං දිහා දෙවියන් බලපු නිසා ලැබුණු දෙයක් වෙන්න ඇති.

පස්සෙ දෙවැනි දුවත් කසාද බැඳල මේ ගෙදරම නතර වුණා. බාල දුවයි පුතයි දෙන්නම ඉගෙන ගන්න නිසා මට ඒ වෙනුවෙන් වෙහෙස වෙන්න සිද්ධ වුණා. ඒ වුණත් මට ඒකට ආදායමක් නැහැ.දැනට ජීවත් වෙන්නෙ දෙවැනි දුවගෙ මහත්තය හම්බකරන පොඩි පඩියෙන්. ළමයි දෙන්නෙක් ඉස්කෝලෙ යවන්නයි ගෙදරක් නඩත්තු කරන්නයි ඒ පඩියට පුළුවන්කමක් නැහැ. නමුත් අපි පුළුවන් විදිහට ජීවත් වෙනවා. බාල දුවයි, පුතාවයි අධ්‍යාපනයෙන් ඉහළ තැනකට යවා ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක් කියලයි මට හිතෙන්නෙ. ඊට වඩා ලොකු බලාපොරෝතතු මුකුත් මට නැහැ.‘

දකුණු අත අහිමිව දුක් ගෙවන ජෙරුදාසන් පුදුකුඩුඉරිප්පු ආර්.සී. විදුහලේ 9 වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහුට දැඩි ආයාසයක් දකුණු අත වෙනුවට වම් අත භාවිතයට හුරු වීමට දරන්නට සිදුව තිබෙනවා.

‘මට යන්තම් මතකයි ඒ දවස්වල මම හරිම ආසාවෙන් ඉස්කෝලෙ ගියේ, ඒ වුණත් හැමදාම වගේ අපිට අහන්න ලැබෙන්නේ වෙඩි තියාගන්න කතා ගැන. වෙනම රාජ්‍යයක් ලබා ගන්නව කියන එකක් ගැන. මම ඒ දවස්වල හුඟක් පුංචි නිසා ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. නමුත් අද තේරෙනව ඒ වගේ දේවල් වැරැදි මත නිසා වෙලා තියෙන්නෙ අපේ ජීවිත අඳුරට වැටුණු එක විතරයි කියල. මම දැන් වම් අතින් තමයි සේරම කරන්නෙ. මම හමුදාවෙ මාමලාගෙන් තව ඉල්ලීමක් කරා. කාට හරි කියල පුළුවන්නම් ටී.වී. එකක් අපිට ලබා දෙන්න කියල. මොකද හමුදාවෙ මාමල අපට මේ ගේ හදා දීපු එකම ලොකු දෙයක් තවත් ඒ අයට කරදර කරන එක හොඳ දෙයක් නෙමෙයි. පුළුවන්තරම් ඉගෙන ගන්නයි බලන්නෙ. කකුලක් නැති අම්මටත් උදවු කරගෙන ඉන්න එකයි එකම බලාපොරොත්තුව වෙන්නෙ‘

තවත් ජෙරුදාසන්ලා උතුරේ බොහෝ සිටිය හැකිය. සාමය සංහිඳියාව අපිට අවශ්‍ය වන්නේ ඇයිද යන්න මේ කතාවෙන් අපට මැනවින් අවබෝධ කර ගැන්මට පුළුවන. ජෙරුදාසන් මෙන්ම ඔහුගේ මව වන නන්දනීද අද අබ්බගාතය. ඒ වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ අවසන් ප්‍රතිඵලය. ජෙරුදාසන්ගේ පියා වන පාරාශක්ති ජීවතුන් අතර නැත. එහෙත් මේ සියල්ල අමතක කර දමා සංහිඳියාව ඇති කරලීම උදෙසා අද ඔවුන්ට ඉන්න හිටින්නට තැනක් ලබා දෙන්නට යුද හමුදාවෙන් කටයුතු කර ඇත. ඒ සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් යන හැඟීම මුල් කර ගෙනය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.