අප විඳි දුක දුටු මැති සඳ ඔබට බොහෝ පින්!

 අපේ රටේ අධිවේගි මාර්ග ගුවන් පාලම් ගැන කාත කරන අවදියේ අපේම දරුවන් රැසක් කිලෝමීටර් 6ක් 7ක් ඇවිදගෙන දිනපතාම පාසලට යන්නට තත්ත්වයක් පසුවෙනවා නම් එය අපටද මහත්ම වූ මදිපුංචිකමක් වන්නේය‍.

අපේ රටේ නොදියුණු දිළිඳු පහසුකම් අවම ප්‍රදේශයන් ලෙස සැලකෙන වන්නි පළාතටම සමීප කිළිනොච්චි නගරය කේන්ද්‍ර කරගත් මල්ලාවි, පුනරීන් හා විශ්වමඩු, ධර්මපුරම් ප්‍රදේශවල සිසු දරු දැරියන් මේ දුක විඳිමින් පාසල් යන්නෝ වෙති. උදෑසන ආහාරය පවා නොගෙන හිරු නැඟ එන්නටත් පෙර අලි මෙන්ම වලසුන්ද ගහන මේ පරිසරයේ ඇවිද එන දරුවන්ට මඟ පෙන්වීමට මවුපියන් ඉදිරිපත් වුවත් වන සතුන්ට ලොකු කුඩා කියා මිනිසා ‍ගැන වෙනසක් නැත. අවස්ථා කිහිපයකදී වලසුන්ගේ ප්‍රහාරයන්ටද මේ පිරිස් ගොදුරුව ඇත්තේය‍.

මේ නිසාම දරුවන්ට අධ්‍යාපනය යන්න වහ කදුරු මෙන් විය.

අධ්‍යාපනයද ජීවිතයද? දෙමවුපියන්ට මේ දරුවන් වාහනවල තබා පාපැදියකවත් යවන්නට වත් පොහොසත්කමක් නැත. මේ ඇතැම් දරු දැරියන්ගේ පාසල්වල ගේට්ටු නිරතුරුව ඇරී ඇත්තේ සිසුන් පැමිණෙන වේලාවන් ගැන ස්ථිරවම කියන්නට නොහැකි නිසාය. හවස් වරුවද එසේමය. දරුවන් ගෙවල්වලට යන්නේ හවස 6ට ආසන්නවය. ඒ -9 මාර්ගයේ දෙපස නාගරීකරණය වි ඇතත් ගම්බඳට වන්නට තත්ත්වය බොහෝ සේ වෙනස්ය.

මේ තත්ත්වය ගැන කියන්නට ගමේ ‍ගොඩේ සිටින මේ දරුවන්ට එහෙමත් නැත්නම් දෙමව්පියන්ට කෙනෙක් නැත. මේ පිළිබඳව කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාට දැන ගන්නට ලැබුණේය.

ආඥාපතිවරයා මේ දරුවන් විඳින දුකට පිහිට වීමට අවශ්‍ය පියවර ගත්තේය. ඒ සම්බන්ධව සොයා බලා අඩුආදාම්ලාභී පවුල්වල සිසු සිසුවියන් ගැන විස්තර පාසල් හරහා ලබා ගන්නට ඔහු කටයුතු කෙළේය. ඒ අනුව ප්‍රදේශයේ පාසල් රැසකින් සිසු සිසුවියන් අතුරින් සිසු සිසුවියන් 75 දෙනකු තෝරා ගෙන ඔවුන්ට පා පැදි ලබා දීමට අවශ්‍ය පියවර ගත්තේය.

ඒ සඳහා අවශ්‍ය පාපැදි ලබා දිමට දීමට 'ගුණ ජය පදනම ' ඉදිරිපත් විය. ඒ අනුව මුල් අදියර යටතේ ලක්ෂ ගණනාවක් වටිනාකමින් යුත් පා පැදි 75ක් මේ දරු දැරියන්ට ලබා දීමට කටයුතු කරන ලදී.

එම සිසු දරු දැරියන්ට පාපැදි ප්‍රදානය කිරීමේ කටයුතු පසුගිය 2 වැනිදා කිළිනොච්චි 'නෙළුම් පියස' ශ්‍රවණාගාරයේදි සිඳු කරන ලදි. ඒ සඳහා ගුණ ජය පදනම 'ට සම්බ්නධ සියලු නිලධාරීන් සහභාගි විය.

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙන්ම 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා මෙන්ම ගුණ ජය පදනමේ ඩේවිඩ් කෲස් මහතා ද සහභාගි විය.

පාපැදි ලබා ගත් දරු දැරියන් සතුටින් ඉපිල ගියේ ලෝකයක් තමන්ට පහළ වූවා සේය. මේත් අපේම දරු දැරියන් යන හැඟීම ඇති කර ගැනීම නිසා සාමය මෙන්ම සංහිඳියාවද ගොඩ නැඟෙනු ඇත. එම දූ දරුවන් මුවින් වචන පිට නොකර නමුත් පාපැදි රැගෙන ගිය බැල්ම දුටු විට ඔවුන් පින් දෙමින් ගිය බව නම් පැහැදිලිය.

තාරක වික්‍රමසේකර
සේයාරූ - සමන්ත වීරසිරි

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.