කුණු කසළින් රටට ම ජවය දෙන අපේ ප්‍රථම ව්‍යාපෘතිය

 කුණු කසළ නිසා අපේ රටේ බලවත් පාරිසරික හා සෞඛ්‍ය ප්‍රශ්න රැසක් මතුවී තිබේ. මෙය වසර 10 - 15 ක් තිස්සේ පවතින ගැටලුවකි. අද මාරාන්තික ඩෙංගු රෝගයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද පොලිතින් ප්ලාස්ටික් ඇතුළු කුණු කසළ විවෘත බිම්වල ගොඩගැසීමයි. පසුගිය දිනවල ජනාධිපති තුමා අවධාරණය ‍කළේ කුණු කසළ ගැටලුවත් ඩෙංගු රෝගය ව්‍යාප්තියත් අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇති බවයි. කුණු කසළ ගැටලුවට නිසි විසඳුම් යොදන්නේ නම් ඩෙංගු රෝගය වළක්වා ගැනීමට පහසු බව එතුමා ද අවධාරණය කර ඇත.

මේ අනුව රජය කුණු කසළ ගැටලුවට විවිධ විසඳුම් රැසක් ඉදිරිපත් කර තිබේ. ඉන් ප්‍රධානතම විසඳුම අපේ රටේ පළාත් පාලන ආයතනවලින් එකතු කරන කුණු කසළ නිවසේදී ම වර්ග කිරීමට උපදෙස් දීමයි. ඊට අමතරව කසළ එකතු කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම ද සිදුකෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8000 ක් පමණ වන අතර කොළඹ නාගරික බල ප්‍ර‍ෙද්ශය තුළ පමණක් ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000 කට ආසන්න වේ. බස්නාහිර පළාත තුළ පමණක් 3200 පමණ ජනනය වන බව හඳුනාගෙන තිබේ. නමුත් මෙරට පළාත් පාලන ආයතන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගතානුගතික ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් තම බල ප්‍රදේශයේ කසළ කළමනාකරණය කළේ දැයි ගැටලුවකි. දූපතක් වූ මේ සුන්දර දිවයින කුඩා වුවත් සුවිශේෂී වූ ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ රටකි. එවැනි සුවිශේෂ පරිසර පද්ධති හඳුනාගනිමින් කසළ කළමනාකරණය සිදු නොවීම, අපගේ පරිසර පද්ධතිය විනාශ වීම සඳහා හේතු වූ කරුණකි. තවද තමන් විසින් උත්පාදනය කරනු ලබන කසළ නිසිලෙස බැහැර කිරීම සඳහා වැඩපිළවෙළක් නීති පද්ධතියක් ක්‍රියාත්මක නොවීම කසළ ගැටලුව උග්‍රවීමට බලපාන තවත් ප්‍රධානතම කරුණකි. මේතාක්කල් කසළ බැහැර කිරීම සිදුකරනු ලැබුවේ පරිසරයේ විවෘත ප්‍රදේශයන්ට ය. එමඟින් සිදුවන හානිය පිළිබඳ අවධානය යොමු නොකිරීම, විවිධ පාර්ශ්වයන් විවිධ මත පවරමින් කටයුතු කිරීම මෙන්ම කසළ යොදා ගනිමින් කූට ජාවාරම්කරුවන් පිරිසක් ද නිර්මාණය වීමද ඒ තුළින් දේශපාලනය හසුරුවන ක්‍රමවේදයක් පවා නිර්මාණය කර ගැනීමට ජාවාරම්කරුවන් සමත් වී සිටීම හේතුවෙන් කසළ ගැටලුව විසඳීම බාලගිරි දෝෂයට හසුවී තිබිණ. මේ වනවිට සියල්ල සිදුවී හමාරය. රටේ සෙසු නාගරික ප්‍රදේශයන්ට වඩා අධි නාගරීකරණයට බඳුන්වන ජාතික ආර්ථිකයේ හදවත බඳු වූ කොළඹ නගරයේ කැළි කසළ, මීතොටමුල්ල, කරදියාන වැනි ප්‍රදේශවලට බැහැර කිරීමෙන් නිර්මාණය වූ කසළ කඳු හේතුවෙන් සිදු වූ විනාශය නැවත නැවත කිව යුතු නොමැත.

කසළ කළමනාකරණය, ජනනය වන කසළ අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීයකරණය අතරමැදි ප්‍රතිකර්ම ක්‍රියාවලියට යොමුකිරීම (කොම්පෝස්ට්, ජීව වායු භාෂ්මිකරණය) හා අවශේෂ කසළ පාරිසරික වශයෙන් හිතකර ලෙස බැහැර කිරීම පිළිබඳ ජනතාව නොදැනුවත්ව සිටියේද නැත. මේ පිළිබඳව ජනතාව නිවැරදි ලෙස දැනුම්වත් වුවත් එම ආකල්ප ජනතාව තුළ මෙහෙයවීමට තරම් නායකත්වයක් නොමැති විය. පසුගිය දිනවල කොළඹ නගරයේ සෑම මාර්ගයක් දෙපසම කසළ කඳු ගොඩගැසී තත්වය පාලනය කිරීම සඳහා රටේ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මැදිහත්වීමට පවා සිදු විය. එයින් ගම්‍ය වූයේ කසළ කළමනාකරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් හා නිසි නායකත්වයක් නොමැති බවයි. මේ අනුව කසළ කළමනාකරණය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත් විෂය පථයක් නොවූවත්, මෙම අර්බුදකාරී තත්වයේදී නායකත්වය ලබාදීමට ඇමති පාඨලි චම්පික රණවකට භාර විය. කසළ කළමනාකරණය හා එය නිසි පරිදි සිදු නොකිරීම තුළ ජනතාවට, පරිසරයට සිදුවන හානි පිළිබඳව ඇමති පාඨලි චම්පික රණවක මහතා පරිසර අමාත්‍යවරයාව සිටි සමයේ සිට විශාල හඬක් නගමින් සමාජයේ ඇති ආකල්පමය වෙනස විධිමත් ලෙස කසළ බැහැර කිරීම, සනීපාරක්ෂක කසළ රඳවනය වැනි කසළ කළමනාකරණයේ අත්‍යවශ්‍ය කරුණු ජනතාව අතරට ගෙන යෑමට, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට විශාල සටනක් කිරීමට සිදුවිය.

සති ගණන් කොළඹ ගොඩගැසුණු කුණු ඉවත් කිරීමට නොහැකිව නිලධාරීන් අපහසුතාවයට පත්ව ඇති මොහොතක ජනතාව මහ මඟට බැස කසළ ඉවත් කරන ලෙස බල කරමින් සිටින මොහොතක, ජනතා විරෝධතා නිසා නිසි ලෙස කසළ බැහැර කිරීමට භූමි භාගයක්වත් නොමැතිව සිටින මොහොතක, ඩෙංගු උවදුරින් රටම ව්‍යසනයක් බවට පත්ව ඇති මොහොතක, විරුද්ධ පක්ෂ රජයට විරුද්ධව දේශපාලන අවියක් ලෙස කසළ ගැටලුව යොදාගත් මොහොතක, මෙම අභියෝගය භාරගත් ඇමති පාඨලි චම්පික රණවක සතියක් තුළ නිසි පරිදි කසළ බැහැර කරමින් එම ගැටලුව විසඳීමට කටයුතු කළේය. එසේම දීර්ඝ කාලීන වශයෙන් එම ගැටලුව විසඳීම සඳහා ප්‍රයෝගික ක්‍රියාමාර්ග ද හඳුන්වා දෙන ලදී.

මේ සඳහා ජනාධිපතිතුමාද, අගමැතිතුමාද දුන් උපදෙස් අනුව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

මේ අනුව කසළ කළමනාකරණය සඳහා දියුණු රටවල භාවිතකරන තාක්ෂණික ක්‍රමවේද හා මෙවලම් භාවිතයට ගනිමින් සනීපාරක්ෂක පරිසර හිතකාමී ලෙස අවසන් බැහැරලීම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් ඒ අතරතුර කසළින් ගත හැකි ප්‍රයෝජන ලබාගැනීම සඳහාත් විධිමත් වැඩපිළිවෙළක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වේ. දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සනීපාරක්ෂක බිම් පිරවුම් ක්‍රමය හඳුනාගෙන ඇති අතර ඒ සඳහා පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ සිමෙන්ති සඳහා හුණුගල් කැණීම් කර ඉතිරි වූ වළවල් තෝරාගෙන ඇත. ඒ සඳහා මූලික සැලසුම් මේ වන විටත් නිර්මාණය ‍වෙමින් පවතී. එසේම මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමට පෙර යෝජනා වූ මධ්‍යකාලීන වැඩපිළිවෙළක් වූ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ද මෙම වැඩකටයුතුවලට සමගාමීව ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. මෙම විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් තිදෙනෙක් විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් අනතුරුව තෝරාගෙන ඇති අතර ඒ සඳහා මුතුරාජවෙල හා කරදියාන ප්‍රදේශ තෝරාගෙන තිබේ. මෙහිදී මූලික වශයෙන් KCHT ලංකා ජෑන්ග් ආයතනය හා වෙසන්ටර්න් පවර් ආයතනය මෙම ආයෝජනය සඳහා ඉදිරිපත් වී ඇත. එහි වැඩකටයුතු ආරම්භ කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය සමඟ ගිවිසුම්ගත KCHT ලංකා ජෑන්ග් ආයතනය වෙත දිනකට කසළ ‍ටොන් 700 ක් ලබාදීමට එම අධිකාරිය විසින් කටයුතු කරනු ලබයි. එසේම වෙස්ටර්න් පවර් ආයතනය වෙත කසළ ලබාදීම කොළඹ මහ නගර සභාව විසින් සිදු කරනු ලබයි. මෙහිදී එක් පෞද්ගලික ආයතනයක් මඟින් මෙගාවොට් 10 ක් ජාතික විදුලි පද්ධතියට ඇතුළු කිරීමට නියමිතය. ඒ අනුව ආයතන දෙක මඟින් මෙගාවොට් 20 ජාතික විදුලි පද්ධතියට එකතු වනු ඇත. මේ සඳහා රුපියල් බිලියන 27 ආයෝජනයක් සිදුකරන අතර මාස 24 ක් ඇතුළත ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය. එසේම මෙ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය නිසි ඇගයුම් හා ශක්‍යතා වාර්තාවන්ට අනුව කටයුතු කර ඇති අතර පරිසරයට, ජනතාවට කිසිදු හානියක් නොවන අයුරින් නව තාක්ෂණය යොදා ගනිමින් කටයුතු කිරීමට පියවර ගෙන ති‍ෙබ්.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අපට කරුණු දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ නිකසළ ජවය ලෙස හඳුන්වන මෙම ව්‍යාපෘතිය මඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ එකතු වන සියලු කුණු කසළ දහනය කර විදුලි බලය මෙගාවොට් 10 ක් නිපදවීමේ යන්ත්‍රාගාරය මුතුරාජවෙල කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටුවන බවයි. ඊට අදාළ ගිවිසුම බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධ්‍යක්ෂ හා KCHT ආයතනය අතර අත්සන් කර ඇති බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කුණු කසළ මඟින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර ඇත. ඒ කරදියාන කුණු කන්ද ආශ්‍රිතවය. ඒ අනුව ඒ යන්ත්‍රාගාරයෙන් දිනකට කුණු කසළ මෙට්‍රික් ටොන් 700 ක් දහනය කර විදුලිය මෙගාවොට් 10 ක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදීමට කටයුතු කෙරේ. මේ කටයුතු වෙස්ටන් පවර් නම් ආයතනය මෙහෙයවන අතර ඒ නිපදවන විදුලියට විදුලි බල මණ්ඩලය මඟින් හොඳ මිලක් ලබාදීමට ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ. ‘කසළ විදුලියට හරවමු. මුළු රට ජව ගන්වමු’ යන තේමාව යටතේ ක්‍රියාවට නංවන මේ වැඩසටහන පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ මේ අයුරින් කුණු කසළින් විදුලිය නිපදවී‍මේ මෙරට ප්‍රථම ව්‍යාපෘතිය මෙය බවයි. මෙ වැඩපිළිවෙළ මඟින් කසළ කළමනාකරණයට මෙතෙක් එල්ලවී තිබූ ගැටලු රැසකට විසඳුම් ල‍ැබෙන බවත් කසළ එකතුවන ප්‍රදේශවල පැමිණිලි විරෝධතා අඩුවනු ඇති බවත් ඔහු පවසයි.

කලක් රටට ම බලපාන ගැටලුවක් වූ කුණු කසළ සඳහා මෙවැනි රටටම ගැළපෙන රටට ආදායමක් - ජවයක් බලශක්තියක් ලැබෙන මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම මඟින් රටේ පාරිසරික සෞඛ්‍ය, ආර්ථික ප්‍රවර්ධන හා සංචාරක කර්මාන්ත කෙරෙහි ද ඉහළ මට්ට‍ෙම් හිතකර බලපෑමක් එල්ල කරනු ඇත.

මේ අනගි වැඩපිළිවෙළ රටේ ම ජනතාවට සුබ සෙත ළඟාවීමටත් රටට ම සංවර්ධනය හා සමෘද්ධිය ඇති වීමටත් ප්‍රබල හේතුවක් වනු ඇත. එයට උදව් දීම පරිසර හිතකාමී සැමගේ යුතුකමකි.

නිහාල් පී. අබේසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.