ගැමියන්ගෙන් මට්ටු වී සුද්දන් මට්ටු කළ මඩුවන්වෙල | සිළුමිණ

ගැමියන්ගෙන් මට්ටු වී සුද්දන් මට්ටු කළ මඩුවන්වෙල

 මෙතෙක් කතාව...

මඩුවන්වෙල කෝරළේගේ ඇවෑමෙන් දේපළවල අයිතිය පැවරුණේ මොලමුරේ පරපුරටය. 1521 සිට පැවතෙන බව විශ්වාස කෙරෙන මඩුවන්වෙල පරපුරට නින්දගම් තුනක් ඇතුළු විශාල ඉඩකඩම් ප්‍රමාණයක් සහ උළු සෙවිල්ලූ වලව්වක් වෙනුවෙන් තඹ උළු කැටයක්ද හිමි වන්නේ 1700න් පසු කාලයේය. මඩුවන්වෙල කෝර‍ළේ, හොඳින් ඉංග්‍රීසි බස හසුරුවමින් සුද්දන් මට්ටු කළ අයකු ලෙස ප්‍රකටය. එහි ගිය අපට හදිසියේ දැනගන්නට ලැබුණේ කලවානේ කුමාරිහාමිගේත් මඩුවන්වෙල දිසාවේගේත් ඔහු හා සබඳතා පැවැත්වූ තවත් කාන්තාවන් දෙදෙනකුගේත් පුනරුත්පත්තියැයි කියන පිරිසක් සිටින බවය. මේ අතර ‘කරලිනා හාමි’ නම් වලව්වේ වැඩ කළ කාන්තාවකගේ ආත්මය මඩුවන්වෙල දිසාවේ උපන්කාමරයේදී අදටත් පෙනී සිටින බවද සමහරු කීහ.

‘මඩුවන්වෙල දිසාවේ’ ලෙස ගෞරව නාමයෙන් හැඳින්වුවද ‘වික්‍රමසිංහ විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ රාළහාමිල්ලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වල’ සැබැවින්ම කෝරළේ මහත්තයෙකි. සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ මතයක් දරමින් මුරණ්ඩු ලෙස තමන්ගේ ප්‍රදේශයේ පාලනය ගෙන යන්නට වූ ඔහුට ‘ශ්‍රීමත්’ නාමය ලැබුණේ ‘රටේ මහත්තයා’ වී සිටියදී තම ප්‍රදේශයට කරන ලද සේවයද හේතු කොටගෙනය. ඒ සේවාවන් කිරීමේදීද ඔහුට සිදු වූයේ සුදු නිලධාරීන් සමඟ ගැටෙන්නටය. ඒ වන විට පරිණත පුද්ගලයකු බවට පත් වී සිටි මඩුවන්වෙල රටේ මහත්තයා ගැටුම වෙනුවට උපාය සිය අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේ ක්‍රමය බවට පත් කරගත් අවස්ථා බොහෝය.

සිය නින්දගම් අතරින් වඩාත් සරුසාර අස්වැන්නක් ලැබිය හැකි පනාමුරේ නින්දගම අස්වැද්දීමට ඇති ලොකුම බාධාව වී තිබුණේ නිසි ජල සැපයුමක් ඒ පෙදෙසට නොතිබීමය. කලවානේ මැණිකේ කැන්දන් විත් දින කීපයකක් ගත වන විට කොලොන්න කෝරළය දිගේ වළවේ ගඟට යන කිතුල්බොක්ක ඔය හරස් කර මඩුවන්වෙලදී ඇනිකට්-එකක් බැඳීම ආරම්භ කෙරිණි. මෙය මඩුවන්වෙල රටේ මහත්තයාගේ ඉල්ලීමක ප්‍රතිඵලයකි. ඒ ගල් අමුණ නිසා අක්කර 500ක් වගා කිරීමට ජලය ලැබිණි.

නිරන්තර පුරුද්දක් ලෙස ගල් උළුවස්ස (වලව්වට ඇතුළු වන ගේට්ටුව) ළඟට වී ඒ අසලින් එහා මෙහා යන ගැමියන් සමඟ ඇයි හොඳයි කියන මඩුවන්වෙල දිසාවේට අසු පිටින් සුදු මහතෙකු පැමිණෙනු පෙනිණි. මඟ සොයන ඔහුගෙන් තොරතුරු විමසන විට ප්‍රදේශයට පැමිණ ප්‍රධාන ඉංජිනේරුවා තමන් බව හඳුන්වා දෙයි. කතාබහ හිතට හරි නොගියද ආපසු යන විට වලව්වට ගොඩ වී යන්නැයි ඉංජිනේරුවාට ආරාධනා කරන මඩුවන්වෙල අසු පසුපස තමන්ගේ බැළයකු යවන්නේ තොරතුරු දැනගැනීම සඳහාය. රාජකාරිය අවසන් වී ඉංජිනේරුවා ආපසු ගිය බවට බැළයා ගෙනා ආරංචියෙන් කුපිත වූ රටේ මහත්තයා කෙටි පාරකින් තම හිතවත් පිරිසක් පිටත් කරන්නේ පනාමුරේ දෙසටය. ඉංජිනේරුවා අසුපිටින් යද්දී පනාමුර අසල පාලමේ ලෑලි ගැලවී තිබී ඇළට වැටිණි. මඩුවන්වෙලගේ පිරිස ටිකකින් එතැනට පැමිණ සුදු මහත්තයා වලව්වට ගෙන ගොස් තුවාලවලට බෙහෙත් දමා සංග්‍රහ කළහ. ආපසු යන ඉංජිනේරුවා දුටුවේ තමන් වැටුණු පාලම ඒ ඩිංගට හොඳින් හදා ඇති බවය.

මේ වැනි කතා රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී විමලසිරි මහතා අප සමඟ පැවසුවේ මඩුවන්වෙල කෝරළේගේ චරිත ලක්ෂණ මෙන්ම ඒ යුගයේ අපේ සමාජයේ එක් කොටසක තිබුණු සංස්කෘතිය කෙබඳුද යන්න හඳුනාගැනීමට සාධක සපයමිනි.

“ඒ දවස්වල කෝරළේ මහත්තයාගෙන් අවසරයක් නැතිව ලැට්-වළක් වත්, ළිඳක් වත් හාරගන්න බෑ. රැවුල කපන්නත් ‘බත්මුකේ පාදගන්න අවසරද?’ කියලා අහන්න ඕනෑ. කොණ්ඩෙ කපන්නත් එහෙමයි. දවසක් නින්දගමේ ගෙදරක බෙර සද්දයක් ඇහිලා ඒ ගැන තොරතුරු හොයාගෙන එන්න ජුවාව යැව්වා. තොවිලයක් කියලා ජුවා ඇවිත් කීවාම ඒ ගෙදරට ගිනි තියන්න කියලා නියෝග කළා. පහුවෙනිදා උදේම ගෙදර උන්දැලාව ගෙන්නලා තමන්ගේ අවසරයක් නැතුව තොයිලයක් නැටුවෙ ඇයි කියලා ඇහුවාම ලෙඩාට හොඳටම අමාරු නිසා කියන්න වෙලාවක් තිබුණේ නෑ කියලා ගෙදර කට්ටිය කීවා. ඒ පාර දුක හිතුණු කෝරළේ ආපහු ඒ ගේ හදලා දෙන්න කියලා තමන්ගේ සේවකයන් පිරිසක් එහේ යැව්වා. එහෙම අමුතුම ජාතියේ එක්කෙනෙක් තමයි එයා.

අහන දේට හරියට උත්තර දුන්නේ නැත්නම් දඬුවම් කරනවා. දවසක් ගල් උළුවස්ස ළඟ හිටගෙන ඉද්දි හකුරු පෙට්ටියක් අරගෙන යන මනුස්සයෙක් දැකලා ඕකේ මොනවාද තියෙන්නේ කියලා ඇහුවා. මේ හකුරු බකුරු ටිකක් කියලා කීවම පෙන්නන්න කීවා. හකුරු හරි කෝ බකුරු කීවාම කරගන්න දෙයක් නැති තැන ඒ මනුස්සයා කැන්ද කොළ ටික පෙන්නලා කීවලු මේ තියෙන්නේ බකුරු හාන්දුරුවනේ කියලා. තර්කෙට හරි නිසා දඬුවම් කළේ නැතිව යන්න ඇරියා.

තවත් දවසක් ලූනු, මිරිස් කදක් බැඳගෙන යන මනුස්සයෙක්ගෙන් අර විදිහටම ඇහුවා. මේ ලූනු-බූනු, මිරිස් ටිකක් ගෙනියනවා. කීවා මිරිසුයි‍, ලූනුයි පෙන්නුවට පස්සේ කෝ බූනු කියලා ඇහුවා. අර මනුස්සයාට කියන්න දෙයක් නෑනේ. ඒ පාර ලූනු පොතු ටික අතට අරන් මේ තියෙන්නේ බූනු කීවාම යන්න දුන්නා.“

වැඩවසම් ක්‍රමයේ සාම්ප්‍රදායික ලක්ෂණවලට අමතරව මඩුවන්වෙල කෝරළේ විසින් නිර්මාණය කළ නීතිරීතිද වෙනම පැවතුණු බවට සාක්ෂි ඔහු පිළිබඳ කටකතාවලින් පැහැදිලි වේ.

“කෝරළේ මහත්තයා ගල් උළුවස්ස ළඟට වෙලා ඉන්න වෙලාවට ගෑනු පිිරිමි බේදෙකින් තොරව හැමෝම උඩු කය නිරුවත්ව යන්න ඕනෑ. ඒක තමයි නීතිය. දවසක් එක ගෑනු කෙනෙක් හැට්ටෙ ඇඳගෙන එතනින් යනවා කෝරළේ දක්කා. ඒ පාර සැර කළා “ඈ බොල! මං මෙතන ඉන්නවා කියල තෝ දැක්කෙ නැද්ද?“ කියලා. ඒ පාර ඒ ගෑනු කෙනා කීවා ‘ඉපදිච්ච දා ඉඳන් ඇඟේ තියෙන ඒවා නම් පෙන්නතෑකි හාන්දුරුවනේ... ඒත් පස්සේ ආපුවා බෑ‘ කියලා. කෝරළේ මහත්තයා වෙච්ච ලැජ්ජාවට හැරිලා වලව්වට ගියා. එදා ඉඳන් වලව්ව ගාවින් යද්දි උඩුකය නිරුවත් කරන්න ඕනෙ නෑ කියලා නීතියත් වෙනස් කළා.

ඒ වගේ ගමේ අයට කරදර වෙන වැඩ කෝරළේ හරියට කරලා තියෙනවා. ගමේ අයට විතරක් නෙවේ, කලවානේ මැණිකෙටත් වද දුන්නා.

කෝරළේ නිදියන්නේ වෙනම තැනකනේ. ඒ එක එක දේවල් නිසා. දවසක් ගමේ ගෑනු කෙනෙක් කෝරළේගේ ඇඳ අස් කරනවා දැකලා මැණිකේ ඇහුවා ‘උඹ මොකද ඔය ඇඳ අස් කරන්නේ‘ කියලා. ඒ පාර ඒ ගෑනු කෙනා ගත් කටටම කීවා ‘ඊයේ රෑ පුරාම ඇඳේ ඉන්න හොඳයි නම් අස් කළාම මොකද වෙන්නේ‘ කියලා. මැණිකෙට කට උත්තර නැතිව ගියා.

ඒ වගේම ගමේ අයට උදව් කළා, ඉස්කෝල හැදුවා, ඉස්පිරිතාල හැදුවා, අසනීප වුණාම ගුරුකම් කරලා හොඳ කළා. ගමේ අයට කෝරළේගෙන් අහන්නේ නැතුව ගුරුකම් කිරීමත් තහනම්. එයා මලයාලම් ගුරුකම් ඉගෙනගත්තේ ඉන්දියාවේ ගුරුන්නාන්සේ කෙනෙක්ගෙන්. ඒ ගුරුන්නාන්සේත් වලව්වේ ගෙනත් තියාගත්තා. කෝරළේට ගුරුකමත් හොඳට පිහිටලා තිබුණා.

පනාමුරේ ඇත් ගාල ඇත්තටම හැදුවේ මඩුවන්වල කෝරලේ. ගම්මු දාලා අලි ඇත්තු ගාලට පන්නලා තමන්ට ඕන අලින් තියාගෙන, අනිත් එවුන් දන්න අඳුනන අයට විකුණලා අන්තිම ටික ආපහු කැලේටම අතාරිනවා. ඇත් ගාල රටේම ප්‍රසිද්ධයි. ඒත් කෝරළේගේ අවසරයක් නැතිව ඒක බලන්න බෑ. දවසක් සුදු ඒජන්තලා වගයක් ඇත් ගාල බලන්න ආවාම කෝරළේට ඒ ගැන ආරංචි වෙලා එතැනට ගියා. කාගෙන් අහලද ඇත් ගාල බලන්න ආවේ කියලා ඇහුවා. අපට කාගෙන්වත් අවසර ඕනෙ නෑ අපි ඒජන්තවරු කියලා කට්ටිය කීවා. ඒ පාර ඉරක් ඇඳලා, පුළුවන් නම් මෙතනින් එහාට යමු බලන්න කියලා කීවා. ඒජන්තලාට එතනින් එහාට අඩියක්වත් තියාගන්න බැරි වුණා. ඒ තමයි ගුරුකම්වල බලේ.“

නින්දගමට අයිති ගහකොළ සතාසීපාවා මෙන්ම මනුෂ්‍ය ජීවිතවල සැබෑ පාලකයා වී ඇත්තේ මේ කෝරළේය. මඩුවන්වල පමණක් නොව වලව්වක් හා නින්දගම් තිබූ සැම ඉසව්වකම මේ තත්ත්වය සමාජයේ උස් මිටිකම්වලට මෙන්ම දුප්පත් පොහොසත්කමේ සාධකය ලෙසද බලපෑවේය. තමන්ගේ ජීවිත පිළිබඳ කිසිදු තීරණයක් තමන්ට ගත නොහැකි තරම් අසරණ වන දහස් ගණන් පිරිස එයින් මිදීමට මඟක් නොසෙවීමද පුදුමයකි. වලව් පැළැන්තියට අයත් උදය ඇමතියගොඩ බස්නායක නිලමේ කියූ ජනශ්‍රැතිවලින් තහවුරු වන්නේ කුමන හෝ ක්‍රමයකින් ධනය, බලය රැස් කරගන්නා පුද්ගලයා, තමන් යටතේ සිටින්නන්ගේ දෛවයේ තීරකයා වන ආකාරයය.

“ගමේ ගෑනු ළමයි වැඩිවියට පැමිණුණාම මුලින්ම ගෙනත් පෙන්නන්න ඕනේ කෝරළේ මහත්තයාට. හොඳ හැඩට වැඩට හැදුණ ළමිස්සියෙක් නම් දිග්ගෙයි නැටුමට ගෙනත් දාන්න කියනවා. ඒ රාජකාරියට වෙනම කුල වෙන් කරලත් තියෙනවා. කසාදෙකට කලිනුත් ඒ වගේ ගෙනත් පෙන්වන්න ඕන කියලා තිබිලා තියෙනවා.“

ඒ සියල්ල කෙසේ වුවද මඩුවන්වෙල කෝරළේ තමන්ට අයිති කොලොන්න කෝරළයේ කටයුතු අකුරටම ඉටු කළේ සුද්දන්ටද පාඩම් උගන්වමිනි. වරක් වලව්ව වැටලීමට ආ ඉංග්‍රීසි සෙබළුන් බයිනෙත්තුවෙන් කෑම කාමරයේ දොරට ගැසූ පාර අදටත් එසේම පවතී. එසේ මඩුවන්වෙල වැටලීමට ආ පිරිස වලව්වේ සියලු දෙනා පලාගොස් ඇති බවත් කිසිවකු ඉතිරිව නොසිටින බවත් සක්සුදක් සේ දැනගෙන කෑම කාමරයේ පිළියෙල කර තිබූ රසමසවුළු සිත් සේ ගිල දැමූහ. ගත වූයේ මිනිත්තු කීපයකි. සියලු සොල්දාදුවෝ බමන මතින් තැන තැන වැතිර සිනාසෙන්නටත්, කියවන්නටත් වූහ. මෙයද කෝරළේ ගේ තවත් උපායක් බව ඔවුන්ට වැටහුණේ ඔවුන් කෝරළේගේ අත්අඩංගුවට පත් වූ පසුවය.

තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ කර ගැනීමට කෝරළේ යෙදූ ඇතැම් උපාය වෛද්‍ය ශාන්ත දුනුකාරගේ 'මඩුවන්වෙලට පියමං' පොතේද සඳහන් වේ. ආණ්ඩුකාරයාට කොතරම් කීවද ඇරෑපොළ පාලම ඉදි කිරීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. දිනක් වලව්වට පැමිණි ආණ්ඩුකාරයාගේ අශ්වයා ලෙඩ ගතියක් පෙන්වූයෙන් කෝරළේගේ අශ්වයකු ඉල්ලා සිටියද උන්ද ලෙඩ වී ඇති බැවින් දෝලාවෙන් ඔහු ගෙන ගොස් ඇරලවන ලෙස මඩුවන්වෙල තම ගෝළබාලයන්ට අණ කළේය. ඇරෑපොළ ගඟ වැස්සට උතුරා යමින් තිබුණු දවසක් වූ බැවින් අමාරුවෙන් දෝලාව සමබර කරන හතරදෙනාගෙන් කෙනෙකුගේ පය ලිස්සා වැටිණි. ආණ්ඩුකාරයාද දෝලාව පෙරළී ගඟට වැටුණේය. සුළු තුවාල ලැබ නිල නිවෙසට ගිය ආණ්ඩුකාරයා පසුදාම ඇරෑපොළ පාලමක් තැනවීමට කටයුතු යෙදවීය. මඩුවන්වෙල කෝරළේ කටකොනකට නැඟුණු සිනාවක් සමඟ මේ පණිවිඩය පළමුවෙන්ම කීවේ තම අණ අකුරටම ඉටු කළ, දෝලාව ගෙනගිය ගෝළයන්ටය.

උපාය අතින් එසේ වුවද නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුද්දාටත් වඩා ඍජු ප්‍රතිපත්තියක් මඩුවන්වෙල කෝරාළට විය. වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවීමේදී ඉතා සාධාරණ හා යුක්තිගරුක අයුරින් තරාතිරම නොබලා දඬුවම් කිරීමටද නොපැකිළව ඉදිරිපත් වූවෙකි. සුළු වැරැදිවලට වලව් වත්තේ තණකොළ කැපීම වැනි සුළු දඬුවම් හා ලොකු වරදකට ගල් රෝලෙන් පාර තැළීම වැනි දැඩි දඬුවම් ඔහු පැමිණුවේය. වරක් එක් ගැමියකුට එරෙහිව ගොනු වී තිබූ නඩුවක් අධිකරණ ශාලාවේ සිට ගම්භීර ලෙස විසඳන මඩුවන්වෙල රටේ රාළ, අදාළ ආරච්චිලගෙන්ද එක ලෙස ප්‍රශ්න කළේය. ප්‍රවේණි කොටහ නිසි ලෙස නොදුන් බව කියමින් ගැමියාට චෝදනා කළ ආරච්චිල එසේ කර ඇත්තේ තමන්ට අස්වනුු කොටහක් නොදීම නිසා තරහට පමණක් නොව, ඒ වෙනුවට හාමිනේට අයුතු යෝජනාවක් කර එය ප්‍රතික්ෂේප වීමේ තරහද නිසාය. ගැහෙන හඬින් කතාව කී ගැමියාට තවත් අස්වනු කොටහක් දුන් මඩුවන්වෙල රටේ රාළ බොරු චෝදනා කළ ආරච්චිල වලව්ව ඉදිරිපිට කිතුල් ගසේ පැය පහළොවක් බැඳ තැබීමට නියම කළේය. ඒ ගස පසුව ‘ආරච්චි කිතුල‘ ලෙස ගැමියන් අතර ප්‍රකට විය.

පෙළපත් දෙකක අවසානය ලබන සතියේ...

සටහන හා සේයාරූ 
අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත

Comments