පුරාවිදු නෙත නුදුටු ලග්ගල රජ මහ වෙහෙර | Page 2 | සිළුමිණ

පුරාවිදු නෙත නුදුටු ලග්ගල රජ මහ වෙහෙර

 ‘ලග්ගල’ යැයි ඇසෙත් ම සිහිපත් වනුයේ කඳු‍රටේ පිහිටි එනමින් පතළ වූ නගරය වෙයි. අතීතයේ එහි යක්කුලේ ඇත්තෝ විසූහ යි ජන පවත් වල සඳහන් වේ. එමෙන් ම මොනරාගල දිස්ත්‍රික්කයේ ද යක් කුලේ ඇත්තෝ විසූහ යි ජන පවත් ඇති ලග්ගල නම් ගමක් ඇතැයි සඳහන් කිරීම අදහා ගත නොහැකි පුවතක් විය හැක. එහෙත් එය සැබෑවකි.

මේ ලග්ගල ගම පිහිටා ඇත්තේ මොනරාගල දිසාවේ මැදගම කොටසේ වනගත පෙදෙසෙක ය.

මොනරාගල තඹාන බස් රථයේ ගොස් තඹාන කනිටු විදුහල අසලින් බැස එහි සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් පා ගමනින් ගිය පසු ලග්ගල ගම හමුවේ. ගමනාගමනයට පහසු පාරක් තොටක් තවමත් නැති මේ ගම තාක්ෂණ ලොවින් ද පිටමං කරන ලද්දකි.

එසේ වන්නේ දැනට දිවයිනේ කිරියා කරන කිසිදු දුරකතන තරංග මාලාවක් මේ ගමට නොලැබීමෙනි.

එහෙත් එහි යටගියාව බුදුරජාණන් වහන්සේගේ මුල් ම ලංකාගමනය සිදුවූ අවධිය (ක්‍රි.ව.පෙ. 588 - 585) දක්වා විහිදී යන්නක් බව ජනපවත් වලින් අනාවරණය වෙයි. උන්වහන්සේ මුල්වරට ලක්දිව මියුගුණයේ (මහියංගනයේ) මහ නා වන උයනට වැඩම කැර යක් දනන් හට දහම් දෙසූ බව වංශ කතාවල සඳහන් වේ. (මහාවංශය 01 පිරිසිදිය) එදින බුදු දහම වැලඳ ගත් යක්කුලේ ඇත්තෝ උන්වහන්සේ අනුදැන වදාළ ගිරි නුවරට ගොස් වාසය කළහ.

ගිරි නුවර මහාවංශ කතුවරයා සඳහන් කරන පරිදි සයුර මැද පිහිටි දිවයිනක් නොව මියුගුණය ආසන්නයේ පිහිටි ගිරිසිකරවලින් ගහණ වූ වන බිමකි.

මියුගුනය ආසන්නයේ ඇති එවන් වන බිමක් වූයේ එකල කේලිවා ජනපදය නමින් හැඳින්වූ වත්මන බිබිල කොටසේ පිහිටි නිල්ගල කඳුවැටිය වේ.

කිතු වසට පෙර 585 වැන්නේ දී එය ගිරි නුවර නමින් හැඳින් වූ නමුත් කිතුවසරට පෙර 205 වැන්නේ දී එය හඳුන්වා ඇත්තේ ගිරිනිල් නුවර සේ බව සිංහල ථූපවංශයේ වේලසුමන කතා වස්තුවේ සඳහන් වේ. (සිංහල ථූපවංශය - 139 පිටු) ගිරිනිල් යන්න කල් ඇවෑමෙන් උසුරුවීමේ පහසුව සඳහා පද පෙරළී නිල්ගිරි වූ අතර වත්මන නිල්ගල නමින් වහරනු ලැබේ.

නිල්ගිරි නුවර එකල ලග්ගල, දානිගල ආදී වශයෙන් ගම්මාන රැසකින් සමන්විත වූ විසල් පුරයකි.

ඒවා යක්කුලේ ගම්මාන විය. (මෙහි විසූ යක්කුලේ ඇත්තන්ගෙන් පැවත එන්නේ යැයි සඳහන් ‘ආදීවාසීන්’ වත්මන ද දානිගල විසීම එයට සාධක සේ දැක්විය හැකි ය.) කාලයාගේ ඇවෑමෙන් එම ගම්මාන මහ වනයට යටවී නොපෙනී ගොස් ඇත.

කිතු වසින් 1818 වැන්නේ බිරිතානි අදිරදවාදීන්ට එරෙහිව දැයේ නිදහස පතා සටන් වැදුණ වෙල්ලස්සේ වැසියෝ එයින් වැටුණ පසු දිවි රැක්ම පතා වන වැදුණාහ.

ඉන්පසු මේ වල් බිහිවී තිබුණ පැරණි ගම්මාන එළිපෙහෙළි කොට නව ගම්මාන ඉදිකැර ගත්හ. ලග්ගල ද එසේ බිහිවූ නව ගම්මානයකි.

ගමේ සිට කිලෝමීටරයක පමණ දුරක් ලඳු කැලෑව පීරා ගිය පසු ලග්ගල කන්දේ මහ මූකලානට ඇතුළු විය හැකි ය. හරිත සාගරයක් බඳු මහ වනය තුළ මේ වෙහෙර සැඟවී ඇත.

කඳු බිම පුරා වැඩුණු නන්විධ විසල් වනස්පතීහු වෙහෙර බිම රක්නා යෝධ මුලක් සේ නැඟී සිටිති.

ඒ තුරු මත වෙලී පැටලී ඉහළ නැඟ හිනැහෙන නන් විධ ලතාවෝ යෝධයින් සනසනු පිණිස ගත දැවටී ගත් බිරියන්ගේ තැන උදුරා ගත්හ. පරිසරය පුරා ගිය ඝන අඳුර තුළ එකෙකු නොව යකුන් දහසකට වුව ද සැඟවී සිටිය හැකිය.

අඩි දහසක් පමණ උස් වූ කන්ද තරණය කළ පසු මුලින් මැ වෙරෙහ බිමට ඇතුළුවීමට කරවා තිබුණු පියගැට පෙළක නටබුන් දක්නට ලැබිණි.

පසින් වැසී ගොස් තිබුණු පියගැට අඩි තුනක් පමණ පුළුල් වූ අතර අඩි දහයක් පමණ දිගින් යුක්ත විය. පස් ඉවත් කැර පියගැට හතරක් පමණ අනාවරණය කැර ගැනීමට අපට හැකි විය. කන්ද මුදුන දක්වා මැ පියගැට කරවා තිබුණු බවට ලකුණු දක්නට ලැබුණි.

පැළෑටි හා ලතාවන්හි අත්වාරුවෙන් ඉතා දුෂ්කර ගමනකින් පසු කන්ද මතට නැගුණ විට විසල් ගිරිකුළක් මත කරවා තිබුණු දාගබක් යැයි සැලකිය හැකි පස් ගොඩක් දැකගත හැකි විය.

අඩි විස්සක පමණ වට ඇති මේ කුඩා දාගබ දේවානම්පියතිස්ස රජු විසින් යොදුනෙන් යොදුන කරවන ලද ක්ෂුද්‍ර දාගබක සිරි ඉසිලී ය. එහි වටා ගඩොළු කැබලි තැනින් තැන විසිරී තිබිණි. දාගබහි පාදමේ සුළු කොටසක් ශේෂ වී තිබෙනු දැක ගත හැකිවිය. එය ගලින් නිමවූවකි.

ගල් කැබලි එකිනෙක තබා බදාමයකින් සවිමත් කර තිබුණු බවට සලකුණු ඇත. දාගබේ මලුව යැයි අනුමාන කළ හැකි ගල්තලය මත වැඩී තිබූ විසල් අරලිය ගස් දෙකක් පෙරළී තිබුණේ තද සුළඟටකට විය හැක.

දාගබ අවට මහ වනය මැද සැඟවී තිබුණු ගිරිලෙන් තුනක් සොයා ගැනීමට හැකි විය. ඒවා සියල්ලෙහි මැ කටාරම් කොටා වාසයට සුදුසු පරිදි සකස් කැර තිබිණි.

එක් ගිරි ලෙනක කටාරමට යටින් වූ කොටස මටසිලුටු සේ සමතල කොට එහි සෙල්ලිපියක් සටහන් කැර තිබේ.

අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් බැහැමි අකුරු (බ්‍රහ්මී අක්ෂර) තදුසකින් (13) සමන්විත මේ සෙල්ලිපිය පේළි දෙකකින් යුක්ත ය.

එහි අකුරු කිතු වසට පෙර දෙවැනි සියවසේ ලියන ලද මොනරාගල කොල්ලාදෙනිය කිරිවැල්ගොඩ වෙහෙර සෙල්ලිපියේබැහැමි අකුරු වලට බෙහෙවින් සමාන වෙයි.

එබැවින් එම සියවසේ සටහන් කරන ලදැයි අනුමාන කළ හැකි මෙම සෙල්ලිපිය මෙතෙක් කිසිදු පුරාවිදු විදුවතෙකුගේ නෙත් නොගැටුණ නැවුම් එකකි. එය විමසීමට ලක් කළහොත් මේ වෙහෙර පිළිබඳ සැබෑ යටගියාව මනාසේ එළිකර ගත හැකි ය.

වෙහෙරට අවැසි සෙල්මුවා කුලුනු නිපයාගෙන ඇත්තේ ද මෙහි ඇති ගල්කුළු වලිනි. සෙල් කුලුනු සෑදීමට බඳුන් කැර ශේෂ වූ ගලක් දාගබ ආසන්නයේ ඇත. එහි අඟල් හතරෙන් හතරට පරතරය ඇතිව කණින ලද සිදුරු දෙපේළියක් දක්නට ඇත. හෙළ කලාකරුවාගේ නිමැවම් කලාව විදහා දක්වන මහඟු සාධකයක් සේ මෙය හැඳින්විය හැක.

ලග්ගල පැරණි වෙහෙර කවරකු විසින් කවර කලක කරවන ලද්දක් දැයි වංශ කතාවල සඳහන් වැ නැත. එහෙත් වෙහෙරට කිලෝමීටර් හතරක පමණ දුරින් තඹාන දේවගිරි රජ මහ වෙහෙර දක්නට ලැබේ.

එය කිතු වසට පෙර 307 වැන්නේ දේවානම්පියතිස්ස රජු විසින් යොදුනක වෙහෙරක් සේ කරවන ලද්දකි. ලග්ගල වෙහෙර ද එකල කරවන ලද්දක් ද නැතහොත් ඊටත් පෙර යක්කුලේ ඇත්තන් විසින් බුදු දහම ඇදහීම සඳහා කරවන ලද්දක් ද යන්න නිගමනය කිරීම පුරාවිදු විද්වතුන් සතු වගකීමකි. ඒ සඳහා මෙහි ඇති සෙල්ලිපිය මහත් පිටිවහලක් වෙනු ඇත.

වෙහෙර පිළිබඳ තොරතුරු වලට අමතරව ලග්ගල ගම පිළිබඳ පවතින අද්භූත ජනශ්‍රැතිය ද අපට විස්තර කෙළේ සුරංග කුමාර මහතා ය. “අනේ මහත්තයෝ මේ ගම ඉතා පැරණි යක්ෂ ගෝත්‍රික ගම්මානයක් කියලයි අපේ මුත්තලා කියලා දුන්නේ. එව්වා අතීතයේ ඉඳලාම පරම්පරාවෙන් එන කතා. ඒවා සනාථ කරන සාධක අදත් අපට අත්විඳින්න තියෙනවා.

මේ වල් ගිලිලා තියෙන විහාරය ගැන රටට කියලා දෙනවා නම් දන්නා අය ඇවිල්ලා සොයා බලාවි. එසේ වුවහොත් ඒක අපේ ගමට මහත් අබිමානයක් වේවි.”ඔහුගේ පැතුම ඉටු කිරීමට පිළිණ දෙමින් ලග්ගල පැරණි ගම්මානයෙන් අපි සමු ගතිමු.

(මේ ලිපිය සැකසීමට උපකාර කළ මඬුල්ල ප්‍ර‍ාදේශීය සභාවේ හිටපු උප සභාපති වයි.පී. කුලරත්න මහතාට අපගේ ප්‍රණාමය හිමිවේ)

කේ.බී. රත්නායක
මොනරාගල සමූහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.