බ්ලෙන්ඩරය සහ ශීතකරණය භාවිතය සම්බන්ධයෙන් මේ කරුණු ඔබ දන්නවාද? | සිළුමිණ

බ්ලෙන්ඩරය සහ ශීතකරණය භාවිතය සම්බන්ධයෙන් මේ කරුණු ඔබ දන්නවාද?

 ඇඹරුම් යන්ත්‍රය හෙවත් බ්ලෙන්ඩරය, ගෘහණිය මුළුතැන්ගෙය තුළදී භාවිතයට ගන්නා තවත් වැදගත් උපකරණයක් හැටියට හඳුන්වන්නට පුළුවන. එනිසා බ්ලෙන්ඩරය කාර්යක්ෂමව භාවිතයට ගන්නට ගෘහණිය දැනසිටිය යුතුය.

බ්ලෙන්ඩරය භාවිතයේදී හැම විටම උපරිම ධාරිතාවට අමුද්‍රව්‍ය දමන්න. කිසියම් අවස්ථාවකදී පොල් අඩු ප්‍රමාණයක් මිරිකාගැනීමට අවශ්‍ය වූවා යැයි කියා සිතන්න. එවැනි අවස්ථාවකදී ඒ පොල් ප්‍රමාණය අතින් මිරිකාගැනීම, බ්ලෙන්ඩරය භාවිතයෙන් මිරිකා ගැනීමට වඩා වාසිදායකය.

උපරිම ධාරිතාව ඉක්මවා අමුද්‍රව්‍ය දැමීමෙන් වැළකිය යුතුය.

තත්පර තිහකට වරක් ක්‍රියා විරහිත කරමින් බ්ලෙන්ඩරය භාවිතයට ගැනීම බ්ලෙන්ඩරයේ ආරක්ෂාවට හොඳ බව අමතක නොකරන්න. එක දිගටම බ්ලෙන්ඩරය ක්‍රියාකරවීමෙන් මෝටරයට හානි සිදු විය හැකිය.

බ්ලෙන්ඩරයේ වේගය උපරිම තලයට රැගෙන ආ යුතු වන්නේ එය නිසි ලෙස පණගන්වා අදියරයෙන් අදියරය වේගය වැඩිකරමිනි.

බ්ලෙන්ඩර මෝටරයේ බෙයාරින් ගෙවුණු විට එයින් ශබ්දයක් නැඟේ. එවැනි අවස්ථාවලදී බ්ලෙන්ඩරය නිසි ලෙස නඩත්තු කිරීම ඉතා වැදගත්ය. එසේ නඩත්තු නොකළහොත් බ්ලෙන්ඩරය භාවිතයට ගැනීමේදී විදුලිය වැඩිපුර වැය වන්නට ඉඩ ඇත.

බ්ලෙන්ඩරයේ ඇති බඳුන්වලින් දියර කාන්දු වේ නම් ඒවා අලුත්වැඩියා කරගැනීමට මැළි නොවන්න.

ඒ වගේම බ්ලෙන්ඩරය භාවිතයෙන් පසු සෝදා පිරිසුදු කර තැබීමටත් අමතක නොකරන්න.

ශීතකරණය, ගෘහණිය පාවිච්චියට ගන්නා තවත් වැදගත් විද්යුත් උපකරණයකි. නිවෙසේ විදුලි බිලෙන් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ ශිතකරණය සඳහාය. එනිසා ශීතකරණයක් ඔබේ නිවෙසට අවශ්‍යයමද? යන්න ගැන ඔබ ඉතා ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය. එයට හේතුව මෙරට නිවෙස්වල ඇති ශීතකරණ සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින්, ශීතකරණ තුළ බොහෝවිට දැකිය හැකි වන්නේ බීම බෝතලයක්, වතුර බෝතල් සහ පලා මිටියක් වැනි අවශ්‍යම නොවන දෑ කියා හෙළිව තිබීමයි. අවශ්‍යම නොවන එවැනි දෑ අසුරා තබන ශීතකරණයෙන් මාසික විදුලි බිලට විශාල මුදලක් එකතු කරගැනීම ඔබ තවදුරටත් අනුමත කරනවාද? ඊට පිළිතුරක් සොයා ගැනීම ඔබ අත ඇත.

ඔබ ශීතකරණයක් මිල දී ගන්නට සිතනවා නම් නිවෙසේ අවශ්‍යතා ගැන හොඳින් විමසා බැලිය යුතුය. නිවෙසේ අවශ්‍යතා අනුව ශීතකරණයේ ස්වභාවය ගැන තීරණයකට එළඹෙන්න ඔබට හැකි වනු ඇත.

 

 

 

කාර්යක්ෂම ශීතකරණයක් දිනකට ක්‍රියාත්මක වන්නේ පැය 18කට අඩු කාලයකි. ඒ බැව් සැලකිල්ලට ගෙන, ඉහත ගණනයන් සිදු කර ඇත.

අවශ්‍යතාවට සරිලන වොට් ප්‍රමාණය සහිත ශීතකරණයක් මිල දී ගන්නට උනන්දු වන්න. ස්වයංක්‍රීයව අයිස් දියවන ශීතකරණ වැඩි ශක්ති ශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරයි. සාමාන්‍ය ශීතකරණයකින් පරිභෝජනය කෙරෙන විදුලිය ප්‍රමාණයට වඩා 45%ක් අඩුවෙන්, ඉන්වර්ටර් යෙදූ ශීතකරණයක විදුලිය පරිභෝජනය කෙරේ.

මේ අන්දමට තීරණය කර මිල දී ගන්නා ශිතකරණය භාවිතයේදී ද සැලකිලිමත් විය යුතු කාරණා රැසක් තිබේ. ඒ ගැන මතක් කරදීමටත් අපි මෙහිදී අදහස් කළෙමු.

ශීතකරණය ස්ථානගත කළ යුත්තේ බිත්තිය සහ ශිතකරණය පිටුපස අතර අඟල් 10ක හෝ ඊට වැඩි ප්‍රමාණයක හෝ පරතරයක් සිටින පරිදිය.

රත් වන උපකරණ ශීතකරණය අසල නොතබන්න. එමෙන්ම හිරු එළිය ඍජුව නොවැටෙන ස්ථානයක ශීතකරණය තබන්න.

උණුසුම් ආහාර ශීතකරණයේ තබන්නට පෙර නිවෙන්නට සැලැස්විය යුතුව ඇත.

ශීතකරණය තුළ නියමිත ස්ථානවල පමණක් ආහාර අසුරා තැබීමටත්, තෙත සහිත ආහාර පොලිතීන් උරවල බහා තැබීමටත් සැලකිලිමත් වන්න. ආහාර එකිනෙකට තදබද නොවන සේ - එනම් ලිහිල්ව අසුරන්න.

ශීතකරණයේ ඇති භාණ්ඩවල ලැයිස්තුවක් දොරේ අලවා තබන්න. එමඟින් ශීතකරණයේ දොර ඇර තබාගෙන භාණ්ඩ සෙවීමට ගත වන කාලය අඩු කරගත හැකිය.

ශීතකරණයේ දොර අරින සහ වහන වාර ගණන අඩු කරගැනීමෙන් විදුලිය බිල අඩු කරගන්නට පුළුවන.

ශීත කිරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැති අවස්ථාවල ශීතකරණය ක්‍රියා විරහිත කර තබන්න.

ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වාගැනීමට නම් ශීතකරණය හොඳින් නඩත්තු කළ යුතුය. ඒ නිසා ශීතකරණයේ ඇති රබර් බීඩිම පළුදු වී හෝ ඝන වී හෝ ඇත්නම් එය අලුතින් දමන්න.

දොර ඉහළ පැත්තේ රබර් බීඩිම තුළට අපද්‍රව්‍ය වැටි ඇත් නම් බීඩිම පිරිසිදු කරන්න.

ශීතකරණය පිටුපස ඇති ජලය එක්රැස් වන භාජනයේ ජලය සතියකට වරක් ඉවත් කරන්න. ඒ වගේම එකී භාජනයත් හොඳින් සෝදන්න. එය ඩෙංගු අවදානම අඩු කරගැනීමට එය මඟකි.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරී චමින්ද ලියනගේ මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ 
මංජුලා විජයරත්න

Comments