ජනතා විශ්වවිද්‍යාලයෙන් බිහි වූ කවියා | සිළුමිණ

ජනතා විශ්වවිද්‍යාලයෙන් බිහි වූ කවියා

පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ගේ 21 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

සැමරුම්

සිතින් මවනු ලැබූ ලෝකය විසිතුරු ලෙස වර්ණනා කරන්නට පැරණි සිංහල කවීන් පවා නොලත් ශක්තියක් අල්විස් පෙරේරාට ඇතැයි මාර්ටින් වික්‍රමසිංහයෝ ‘නව පද්‍ය සිංහලයෙහි’ ලා විග්‍රහ කෙරෙති.

පොදුජන ජීවිතය වැලඳගෙන උපන් කවියෙකු වූ පී.බී. ගේ කවි ඇස යොමු නොවූ පැතිකඩක් ජන ජීවිතයේ නැති තරම් ය.

‘ගොවිපැලක්’, ‘කම්මල’, ‘නගරයට ආ රොඩියා’, ‘ගස් මදින්නා’, ‘ගොවියාගේ කඳුළ’, ‘හිඟන්නියට වූදේ’, ‘වට්ටිකාරි’, ඈ විසින් අල්විස් පෙරේරා කවියාගේ කවි ඇස යොමු වූයේ ජීවිතයේ වේදනාකාරී පැත්ත ඇසුරු කළ දිළිදු ජීවිත වෙත ය.

‘දිවවෙණ මිහිර පවතී කැත කොවුලු තුඩේ

මුතු ඇට සැදෙයි! දිය යට බෙල්ලෙකුගෙ බඩේ

සියපත් පිපෙනු ඇත පිළිගඳ ගොහොරු මඩේ

අගනා මැණික් කළුගල් අතරෙහි ද වැඩේ

ඔහු කී පරිදි පී.බී. අල්විස් පෙරේරා දුප්පත්කම නමැති ගනබොල් පොළොව දෙදරවාගෙන උඩට පැමිණ කාන්තිය විහිදවූ අගනා මැණිකකි.

දුගී ජීවිතයේ නොයෙකුත් අප්‍රසන්න ප්‍රශ්න කවියාගේ කවි ඇසට අසුව කලාත්මක රස උල්පත් බවට පරිවර්තනය වූ අයුරු රසිකයනට තවමත් මතකය.

අප්‍රතිහත ධෛර්යෙන් යුතු පී.බී. ගේ විශ්වවිද්‍යාලයය වූයේ මේ මුළු මහත් මිනිස් සමාජයයි. එහි හැම ක්‍රියාවලියක් ම සිය තියුණු වීමංසනාක්ෂියට යොමු කරමින් අධ්‍යයන කෙළේ ය.

පී. බී. ගස් - වැල් වන ළැහැබ් මල් පලු පල බරින් යුතු සොබා සොඳුරු සිරියෙන් අනූන පිටිසර ගම්මානයක උපත ලැබූවකු නොවේ.ජනාකීර්ණ කොළඹ කොල්ලුපිටිය නම් නාගරික පරිසරයේ අඳුරු වීදියක කුඩා පැල්පතක උපත ලද්දෙකි. කවියාගේ පියාණන් ලොරි රියැදුරකු වූ පිලදූව බෝගමගේ ජේමිස් පෙරේරා ය. මෑණියන් කන්දගේ පොඩිනෝනා ය.

සිය දිවමග වටකළ අගහිඟකම් හේතුවෙන් පස්වැනි පන්තියෙන් ඉගෙනීම නතර කිරීමට සිදුවුණ ද අල්විස් පෙරේරා සිසුවා අතට අසුවන සෑම පොතපතක් ම කියැවීමට හුරු වුණේ ය. රාත්‍රි කාලවල සිය පැල්පත අසල වීදියේ පහන් කණු යටට වී පත්තර කොළ කෑලි කියැවූවේ ය. පියදාස සිරිසේන සූරීන් ගේ නවකතාවල ඇතුළත් කවි ඇක්සයිස් පොත්වල ලියා ගෙන කට පාඩම් කෙළේ ය.

පොතපතින් දුටු කවි ලෝකය ඔහු චමත්කාරයට පත් කෙළේ ය. සොබා සුන්දරත්වයේ සියුම් රසතැන් කවි ඇසින් දැක වියත් - භාවපූර්ණ බසින් පී.බී. කළ නිර්මාණ රසික සිත් මත් කිරීමට සමත් විණි.

පී.බී. කවදත් සිටියේ පෑගෙන - තැළෙන පීඩිත පන්තියේ ජනතා පිළේ ය. මහා මානව ශක්තියකින් යුතුව ජන දිවියේ ගැටලු දුෂ්කරතා විවරණය කිරීමේදී පී‍.බී. ගේ කවිත්වය වඩාත් මුවහත් ව පෙනිණ. ඉතා ශූර ලෙස බස හසුරුවමින් කලාත්මක නිර්මාණ බවට පැමිණවූ පී.බී.‍ ගේ කෘති පාසල් සිසුන්ගේ මෙන් ම සෙසු රසික ජනතාවගේ අමන්දානන්දයට හේතු විය.

රසබර කෙටිකතා ලිවීමෙහි ද ඔහු රුසියෙකි. ‘දිය - සළු’, ඇසළ විත්තිය, ගෝමර කැකුළු, කවියාගේ ඇසළ පෙරහර, කඳුළු මුතු වැනි රචනයන් අදටත් රසික සිත්හි ජීවමානව පවතී.

අතිශයෝක්තියෙන් කරන ලද වර්ණනාවලින් ගහන පැරැණි පද්‍යාවලියේ මුහුණුවර විවිධත්වයෙන් තොර බව රසිකයනට දැනගන්නට පටන්ගත් සමයක නොදන්නා දේ ගැන මැනීමේ ඇබ්බැහිකම අඳුරේ සිට චිත්‍රයක් ඇඳීමට කරන තැතනීමක් බව ඔහු සැලකීය. අල්විස් පෙරේරා වැනි කවියන් නූතන කාව්‍ය පරම්පරාව ඇස් නොපෙනෙන ලෝකයෙන් පෙනෙන ලෝකයට ගෙන ආවේ ය.

“උක්දඬු දුන්න - සොබාදහම - බුදු මැදුර - රන්තලිය - සංවාදය - ගොවි පෙරමුණ - අපේ හටන- ළමයින් ගේ සුරපුර - මිණිපාන - අන්ධ කවියා - සුවඳ විලවුන් - ඈ විසින් අල්විස් පෙරේරා කවියා කාව්‍ය ග්‍රන්ථ 29 ක් පළ කොට ඇත.

සිය ප්‍රාණප්‍රිය කවි මිතුරන් දෙදෙනා වෙනුවෙන් ලියා පළ කළ ‘කේයස්’ හා විමලරත්න කුමාරගම’ යන ග්‍රන්ථ යුගලය රසබර සමරු කාව්‍ය ග්‍රන්ථ දෙකකි.

කවියා කර්තෘත්වය දැරූ ‘දේදුන්න’ හා ‘ජනකවි’ පත්තර - සඟරාවලින් රටේ කාලීන ප්‍රශ්න ගැන සාකච්ඡා කෙළේ ඉතා ආවේගශීලී අයුරිනි.

“මේ කවි ලියන ප‍ෑනට උරුම ඇති ගමින්

ටාසන් පින්කමක් ළඟ දිනක සිදු වෙමින්

තැන තැන කතා බස් ඇත නැගෙන විස දුමින්

විමසිය යුතු ය මෙහි හරි වැරදි දුර යමින්”

(දේදුන්න - 1948 දෙසැ.)

සුප්‍රකට කිවිඳියක් හා ග්‍රන්ථ කර්තෘවරියක් වන චිත්‍රා අයි. පෙරේරා පී.බී. අල්විස් පෙරේරා කිවිඳුගේ එකම දියණියයි. ඇය විසින් ලියන ලද ‘පබළු වැල්’ නමැති ග්‍රන්ථයේ පී.බී. ගැන මෙසේ සඳහන් කරයි.

‘වදාකඩ අප නිවසේ ඉදිරිපස විශාල ආලින්දයේ එක කෙළවරක තාත්තාගේ ලියන මේසය තබා ඇත. කාමරයක් තුළට වී කවි ලිවීම ඔහු නුරුස්සයි. අඹගස්වලට එන කුරුල්ලන්ගේ මිහිරි නාදයට කන්දෙමින් හාත්පස සුන්දරත්වය නරඹමින් කවි ලිවීමට තාත්තා ප්‍රිය කෙළේ ය...”

(පබළු වැල් 50 පිට)

කලක සිට සාහිත්‍යයට අනුපමේය සේවයක් කරන ඩබ්.ඒ. අබේසිංහ සූරීන් විසින් පී.බී. කාව්‍ය රචනා එක්තැන් කරමින් කාණ්ඩ දෙකක විශාල ග්‍රන්ථයක් සකස් කොට ඇත. එය කොළඹ යුගයේ බිහිවූ මහා කවියා වෙනුවෙන් කළ උසස් ම සංග්‍රහයෙකි.

එහි ඔහු ‘පිළිසඳරේ’ මෙසේ සඳහන් කරයි.

“කොතරම් විවාදාපන්න වුව ද කොළඹ සිව්පද යුගයේ මහා කවියා පී.බී. අල්විස් පෙරේරා ය. ඔහු තරම් ජනවිඥානයට හා ජනතා හදවතට පිවිසි අනෙක් සිංහල කවියකු ගැන සිතිය නොහෙයි. එතෙකුදු වුවත් අල්විස් පෙරේරා තරම් සංවිධානාත්මක විචාරක ප්‍රහාරයකට ගොදුරු ව‍ූ අන් කවි­ෙයක් ද නැතිය.

වසර 49 ක් වැනි සුළු කාලයක් තුළ හෙළ කාව්‍ය ක්ෂේත්‍රයේ විශාල වපසරියක් නෙළා ගත් පී.බී. අල්විස් පෙරේරා කිවිඳු 1966 අගෝස්තු විසි එක්වැනිදා (21) කොළඹ මහ රෝහලේ අඳුරු කුටියකදී සදහටම දෙනෙත් පියා ගත්තේ ය.

Comments