රස මවන හෙළ බොජුන්

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් හෙළ බොජුන් අලෙවිසල් ආරම්භ වීමට හේතු පාදක වූ අරමුණු රැසකි. ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක මහාමාත්‍යවරුන් විසින් දේශීය ගොවියා නඟා සිටුවීමේ අමුණින් ගොවි ජනපද හා ගොවි ව්‍යාපාර ආරම්භ කරන ලදී. එමෙන්ම ගොවීන්ට පොහොර සහනාධාර, ගොවි ආම්පන්න ආදී සියල්ල මෙන්ම වගා ක්‍රමවේද හා තාක්ෂණය ලබාදීමට කටයුතු කළහ. මේ කාලයේදී නව වී ප්‍රභේද හඳුනාගෙන වගා කිරීමට පෙළඹ විණ.

බොජුන් හල්වලට පදනම

අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ ආර්ථික විෂමතාව මඟ හරවා ගැනීම සඳහා පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒම නවත්වාලීමට කටයුතු කළ අතර මේ නිසා සහල් පෝලිම් ඇති විය. මේ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විවිධ අලවර්ග හා බෝග වර්ග නිෂ්පාදන කිරීමට ගොවියා පෙළඹවීය. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මඟින් 1970 වසරේ දී කාන්තා ගොවිපොළ අංශයක් ආරම්භ කෙරුණි. මේ ඔස්සේ කාන්තාවන් දේශීය බෝග ආශ්‍රිතව කළ හැකි විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට හා කල්තබා ගැනීමට පෙළඹ වූ අතර නව තාක්ෂණ හා පුහුණුව ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔවුනට අවශ්‍ය සහය ද ලබා දුණි.

ක්‍රියාකාරීත්වය

මේ වන විට හෙළ බොජුන් හල්වලින් පනහකට ආසන්න ප්‍රමාණයක් රැකියා ලබා දී ඇත. ගන්නෝරුව, පේරාදෙණිය, මහනුවර, පැල්වෙහෙර, කුණ්ඩසාලේ, බටඅත, ලබුදූව, අම්පාර, නුවරඑළිය, කෑගල්ල, මහියංගනය, බත්තරමුල්ල, පොළොන්නරුව, අනුරාධපුර ප්‍රදේශවල සිටින පුද්ගලයෝ මේ ප්‍රදේශයේ ශ්‍රමබලකාය ලෙස වැඩ කරති. තමන් වගා කරන ආහාර ද්‍රව්‍ය හෙළ බොජුන්හල්වලට සැපයීමට ඇතැම්හු ක්‍රියා කළහ. හෙළ බොජුන්හල්වල සේවය කරන කාන්තාවන් කාන්තා ගොවි සමිතිවල සාමාජිකයත්වය ලැබූවන්ය. අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ කාන්තාවන් තෝරා ගනිති.

පෝෂණ වටිනාකම ඉතාමත් ඉහළ පෝෂණීය වට්ටෝරු හෙළ බොජුන් සල් මඟින් සකස් කරයි. පිරිසුදු නැවුම් ආහාර වේලක් ලබා ගැනීමේ ජනතා අවශ්‍යතාව හෙළ බොජුන් සල් නිසා පිරිමැසේ.

හෙළ බොජුන් අලෙවි සලෙවි ආහාර ද්‍රව්‍ය සකස් කරනුයේ පෝෂණ මට්ටම රැකෙන අයුරිනි. මෙහි ආහාර සකස් කිරීමේදී තිරිඟු පිටි යොදා නොගන්නා අතර හැකි සෑම විටම සහල් පිටිවලින් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරති. මේ හැරුණු විට සෝයා බඩ ඉරිඟු, කුරහන්, උඳු, තල, මුං ඇට, කව්පි ආදියෙන් සෑදූ ආහාර ද්‍රව්‍ය වට්ටෝරු පමණක් කෑම සෑදීමට යොදා ගැනේ.

අදර්ශ ස්ථාන බිහිවීම

දේශීය ආහාරවල වටිනාකම මේ වන විටත් ජනතාවට අවබෝධ වී ඇති බැවින් බොහෝදෙනෙක් හෙළ බොජුන් හල් කරා ඇඳී එති. පෞද්ගලික අංශයේද ව්‍යපාර රැසක් මේ ආදර්ශය ගෙන කෑම පිළියෙල කිරීමට යොමු වීම විශේෂත්වයකි. සෑම රජයේ ආයතනයක හෙළ බොජුන් සලක් පවත්වාගෙන යන්නේ නම් ජනතාවගේ පෝෂණ තත්ත්වය නිතැතින්ම වර්ධනය වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ කෘෂිකර්ම උපදේශිකා මධුමාලි සුබුද්ධිකා මහත්මිය ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.‘‘ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරී මඬුල්ල විසින් සකසන ලද ක්‍රියාපටිපාටියට අනුව ග්‍රාමීය ගොවි සමිතිවල සමාජිකත්වය ලබා සිටින ආර්ථික අපහසුතා ඇති කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය සියලු ආහාර තාක්ෂණය පමණක් නොව ව්‍යාපර දැනුමද, ලබාදෙමින් සුදුසු පිරිසක් තෝරාගනු ලබන බවත්, දෙපාර්තමේන්තුවේ හෙළ බොජුන් අලෙවි සල් හරහා ව්‍යාපාර පමණක් කිරීමට අදහස් නොකරන බවත් ඇය පැවැසීය.

හෙළ බොජුන්හල් මඟින් ආර්ථික ශක්තිය අවම පුද්ගලයන්ට අත්වැලක් ලැබෙන අතර ඔවුහු තමන්ගේ සාම්ප්‍රදායික පිළිවෙත්වලින් ඉවත් වී දේශීය උරුවට නව ජීවයක් ලබා දීමට යොමු වීම බෙහෙවින්ම ප්‍රශංසනීයය.

අයේෂා රුක්ෂාණි විජේසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.