වැව සුරකින කට්ටකාඩුව | සිළුමිණ

වැව සුරකින කට්ටකාඩුව

පාරම්පරික ගොවි සමාජවල ජන ජීවිතයට බෙහෙවින්ම බලපවත්නා කාර්ය සාධනවලදී ගොවීහු ගෞරව සම්ප්‍රයුක්ත භාෂාවකින් අදහස් හුවමාරු කරගනිති. "කමත් භාෂව" මෙන්ම වියළි කලාපීය පාරම්පරික ගොවි සමාජයේ"වැව් භාෂාවක්" ද ඇත. එම බසෙහි නෂ්ඨාවශේෂ අද වුවද දක්නට තිබේ.

වැවක ඇති අංගෝපාංග ගැන සඳහන් කිරීමේදී ඒවාට අර්ථාන්විත නාම යොදා ඇති බැව් පැහැදිලිය. "දිය ගිළුම", "මඩකළුව", "දියකැට පහණ", "මුදුන් ඇළ", "පිට වාන" සහ "කළිඟුව" ඊට දිය හැකි උදාහරණ කිහිපයකි. මේ සෑම නාමයකම පුළුල් සහ ගැඹුරු අර්ථ මෙන්ම ඒවායින් ඇති වන සේවාද මැනවින් පිළිබිඹු වෙත්. "කට්ටකාඩුව" යන නමද එවන් අර්ථවත් එකකි. ඉඩෝර කාලයේද කට්ටටම (තදටම ) වියළී පවතින නිසාත් වැසි කාලයේදී බෙහෙවින්ම දියාරු කාඩි ජලය සහිත පස් ඇති හෙයින් ඊට කට්ට කාඩුව යයි ගම්මු පවසති.

වියළි කාලයේදී නියං හානි අවම කිරීම සඳහා වැව් වල ජලය ඇතිතරම් එක් රැස් කර තබා ගැනීම අතිශයින්ම වැදගත්ය. එසේ එක් රැස් කර තබා ඇති වතුරෙහි ඇති බැර ලෝහ මෙන්ම කිවුල ආදියෙන් වතුර බේරා පවිත්‍ර කොට, වැව් වලට පහළින් වැඩ කරන කුඹුරු වලට හරවා යැවීම අනුසාරයෙන් අස්වනු හානි අවම කර ගැත හැකි වේ. එසේනම්, "කට්ටකාඩුව" වැවේ ජල පවිත්‍රාගාරයයි. වැව සහ ඊට තදාසන්නවම පහළින් පිහිටා ඇති "කට්ටකාඩුව" අතර ඇත්තේ වෙනස් නොකළ හැකි සම්බන්ධතාවයකි. මෙහි වටිනාකම, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, 2015 වසරේ එක්ව ක්‍රියාත්මක කෙරුණු දේශගුණික විපර්යාස සඳහා අනුහුරු වීමේ ව්‍යාපෘතිය (C-CAP) විසින් මැනවින් වටහාගෙන ඇත. එම ව්‍යාපෘතිය වයඹ පළාතේ මහනාන්නේරිය එල්ලංගාවේ සිදුකළ ප්‍රතිසංස්කරණ වලදී කල්ලංචිය වැව පහළ, කට්ටකාඩුව ප්‍රතිස්ථාපනක කිරීමට විශේෂ වෑයමක් දරා තිබේ.

සාමාන්‍යයෙන් වැවක වැව් බැම්මේ පාදමෙහි පළල මෙන් දෙගුණයක් පළලට, වෑකන්දේ පිට බෑවුමට යාබදව, බොහෝ විට වෑකන්දේ දිග ප්‍රමාණයටම සමාන දුරකට දිවෙන පටු බිම් තීරුව හඳුන්වනු ලබන්නේ කට්ටකාඩුව වශයෙනි. උඩාවානේ වැවෙහි වතුර පවතින තෙක් කට්ටකාඩුව තෙත බරිතව පවතිනුයේ නිරන්තරවම වෑකඳු බැම්ම යටින් වැවෙන් කාන්දුවන වතුර සීරාව පවතින නිසාය.

වර්ෂා කාලයේදී වැව පිරී ගිය විට ක්‍රම ක්‍රමයෙන් වතුරේ ඇති බර ද්‍රව්‍ය වැව් පතුලෙහි තැන්පත් වන අතර, සැහැල්ලු පිරිසුදු වතුර පවතින්නේ වැව් ජලයේ මතුපිටට ආසන්න ජල ස්ථර වලය. වෑකඳු බෑවුම යටින් කාන්දුවන වතුර වෑකන්ද තදාසන්නවම පවත්වාගෙන යනු ලබන්නේ කට්ටකාඩුවෙහිය.

එසේ කාන්දුවී පිටතට එන වතුර අසීමිතවම කට්ටකාඩුවේ රඳවා තබා ගත නොහැකිය. මෙයට අපේ පැරැණි වාරි ඉංජිනේරුවන් විසඳුම් දෙකක් ලබාදී ඇත. කට්ටකාඩු බිම් තීරුව දිගේම, තැනින් තැන, තරමක් ගැඹුරු වළවල් හාරා දැමීම ඉන් පළමුවැන්නය. අපිරිසුදු බැර ලෝහද සහිතව කට්ටකාඩුවට වැවෙන් එන වතුර කොටසක්වත් මේ වළවල් වල රැඳේ. ඒ වතුර වළවල්වල ඉවුරුවල, ලවණ සහ සෙසු රසායන ද්‍රව්‍ය උරා ගන්නා දේශීය ගස් වර්ග වැවීම අනුසාරයෙන් කට්ටකාඩුව පසාරුකරගනිමින් නිදැල්ලේ කුඹුරුවලට යා හැකි අහිතකර රසායන ද්‍රව්‍ය තරමක්වත් හිරකර තබා ගැනේ.

මෑතකදී (2015-2017) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එල්ලංගානුගත වැව් ආශ්‍රිත කට්ටකාඩු පිළිසකර කිරීම ඇරැඹීම සඳහා තෝරාගනු ලැබූ අනුරාධපුරයට ආසන්න ආලිස්ථානය නැමැති වැව් ගමේ කට්ටකාඩුවේ එවැනි වතුර වළවල් 5 ක්ම පැවැති බැව් අනාවරණය කරගත හැකි විය. මේ වතුර වළවල් පසු කාලයේදී ගම්මු හැඳින්වීමට පුරුදුව සිටියේ යතුරු වළවල්' ලෙසිනි. එම පද පෙරළිය පුදුමයට කරුණක් නොවේ. 'වී බිස්ස, කිඹිස්ස' වූයේ නම්, 'බිසිකොටුව, බිසෝකොටුව' වූයේ නම්, 'වතුර වල, යතුරු වල' වශයෙන් උච්චාරණය කිරීමටද පුරුදු වූයේ යැයි සිතිය හැකිය.

දී ඇති දෙවෙනි විසඳුම වූයේ කට්ටකාඩු ප්‍රදේශයේ මෙන්ම විශේෂයෙන්ම ඒ යතුරු වලවල් වල ඉවුරු දිගේ කිවුල් වතුරේ ඇති ලවණ මෙන්ම රසයනික බැර ලෝහ ආදිය උරා ගනිමින් වැවෙන ලුණුවරන, තිඹිරි, මී, කුඹුක්, අට්ටික්කා, වල් බෙලි වැනි ගස් සහ වැටකෙයියා වැනි තෘණ ගණයේ පැළෑටි වැවීමය. අතුපතර විහිදී උසට වැඩෙනුයේ තවත් 'ගස් ගොම්මනක්' වශයෙනි. වැවක් ඉස්මත්තේ ඇති 'ප්‍රධාන ගස් ගොම්මන' මෙන් මේ'දෙවෙනි ගස් ගොම්මන' ද සුළං ආවරණයක් සේ සෑදී වැවෙහි මතුපිට වතුරේ ඇතිවන වාෂ්පීකරණයද අවම කෙරේ. එය මෙහි ඇති තවත් විශේෂ වාසියකි. මේසා වැදගත් කට්ටකාඩුව විසිවෙනි සියවසේ මුල් භාගය තෙක්ම පැවැතියේ ආරක්ෂිත කලාපයක් වශයෙනි.

කලක් ආරක්ෂිතව වැව් දිය පෙරණයක් සේ පැවති කට්ටකාඩුව අද බෙහෙවින්ම අනාරක්ෂිත කලාපයක් වී ඇත. කලින් පැවැති කට්ටකාඩුවට යාබද කුඹුරු අයිතිකරුවෝ තම කුඹුරු කට්ටි විශාල කර ගැනීම සඳහා ඊට අනිසි ලෙස බලපත්‍ර ලබා හෝ අනවසරයෙන් හෝ තම කුඹුරු කොටස් කට්ටකාඩුවේ ප්‍රසාරණය කර ඇත. ඇතැම් ගම් වැව්වල කුඹුරු, වෑකඳු බෑවුම්වල පහළ ඉමවල් දක්වාම ප්‍රසාරණය කර ඇති බැව් ඉතා සුලභ දර්ශනයි. මෙහි අවසාන ප්‍රතිඵලය සැබවින්ම ශෝචනීයයි. කට්ටකාඩුවට වින කරමින් ඊට කාවැද්දූ කුඹුරුවල පසෙහි කිවුල අධිකවී, ගොයම් පැළ කහ ගැසී, ඒවායේ වර්ධනය කේඩෑරිවී අස්වනුද අඩුකර දමා ඇත. මේ තත්වය එසේම පැවැතීමට ඉඩ නොහැරිය යුතුය. අදාළ දෙපාර්තමේන්තුව ඒවා මැන අනවසර අස්වැද්දීම් තහනම් නොකරන්නේ නම් තවත් කළකදී වැව් පහළ බොහෝ කුඹුරු යායවල් වල කිවුල් බිම් ව්‍යාප්තිය තව තවත් වර්ධනය වෙනු ඇත.

තවද ගම්මුන්ගේද ගම්මට්ටමේ ඉඩම්වලට අදාලව කටයුතු කරන ඇතැම් නිලධාරීන්ගේද අනුමැතිය ඇතිව හෝ නැතිව හෝ කපටි කැලෑපාළුවෝ බොහෝ කට්ටකාඩුවල වැවී තිබූ වටිනා කුඹුක්, මී, තිඹිරි වැනි රූස්ස ගස් කපති. තවමත් දිරාපත්වෙමින් ඉතිරිව ඇති ඇටුවන්ද සහිත විශාල ගස්මුල්, සිදුකර ඇති ව්‍යසනයට නිඬවම සාක්ෂි දරත්. අශ්වයින් පන්නවා ගෙන ගොස් ඇතත් ඔවුන් සිටි අස්තාලය ඉදිරියේදීවත් සුරක්ෂිතව තබා ගැනීමට දැන් ගම්මුන්ට සිදුවී තිබේ. ඒ අස්තාලයෙන් කලින් ගත් ප්‍රයෝජන ටිකවත් නැවත ලබා ගැනීමට ගම්මුන් යුහුසුළුව ක්‍රියා කරවා, ගස් වවා කට්ටකාඩුව පුනරුත්ථාපනය කිරීම අත්‍යවශ්‍යය.

කට්ටකාඩුවෙහි ඇති අනවසර ඉඩම් පරිහරණය ඉවත්කළ යුතුමය. එහි කලින් පැවැති වැට කඩොලු සහිත සීමා මායිම් නීත්‍යානුකූලවම ස්ථාපනය කළ යුතුව ඇත. කට්ටකඩුවක් තුළ 'දෙවෙනි ගස්ගොම්මනක්' ස්ථාපනය කිරීමේදී ඊට ආවේණිකවම පරම්පරා ගණනාවක් තිස්සේම වැවුණු ගස්වැල් සහ පැළෑටි යළි සිටුවිය යුතුව තිබේ. ජලය පිරිසුදු නොකෙරෙන කිසිම ගසක්වත් සහ පැළෑටියක්වත් ඊට එක් නොකළ යුතුය. කලකට ඉහතදී නිරන්තරව ආවඩා මෙරටට හඳුන්වා දී ඇති ඉපිල්-ඉපිල් මෙරටට ගෙන ආවේ සෙතක් නොව හිසරදයකි. එවැනි හිසරද තවත් බෝකිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ජලය පිරිසුදු කිරීමේ කිසිම හැකියාවක් නැති, ජෛව විවිධත්වය පුළුල් කිරීම සඳහා සතුනට ආහාර වශයෙන් දලු, මල්, ගෙඩි සහ ඇට ආදී කිසිවක් උත්පාදනය නොවන ආගන්තුක ගස් වර්ග සහ පැළ වර්ග කට්ටකාඩුවට හඳුන්වා දීමට අදහස් කිරීම කොහෙත්ම ප්‍රඥාගෝචරවන්නක් නොවේ.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.