‘අද කෝටිපති’ නමින් සුපිරි ලොතරැයියක් | සිළුමිණ

‘අද කෝටිපති’ නමින් සුපිරි ලොතරැයියක්

සතියේ දින 7 පුරාම දිනුම් අදින 'අද කෝටිපති ' නමින් සුපිරි ලොතරැයියක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් හදුන්වා දී තිබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය කවදත් අලුත් ආකාරවලින් ජයග්‍රාහකයින් බිහිකිරීමට නම් දැරු ආයතනයක් වන අතර සතියේ දින හතම දිනුම් අදින ලොතරැයිය 'අද කෝටිපති ' නමින් නම් කර පසුගියදා වෙළෙදපොළට නිකුත් කළේය.

එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 අගෝස්තු මස 31 වන බ්‍රහස්පතින්දා සිදු කරන අතර ටිකට් පත වෙළෙදපොළට නිකුත් කිරීම 2017 අගෝස්තු මස 15 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණි.

මෙහි ත්‍යාග රටාවට අනුව ප්‍රථම ත්‍යාගය ලෙස කෝටි පහක විශාල ආරම්භක ජයමල්ලක් සමග රුපියල් දස ලක්ෂය, ලක්ෂය ආදී මුදල් තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාවක් උදාකර ඇත.

මෙහි අංක 01 සිට 75 දක්වා මුද්‍රිත පන්දු 75ක් අතරින් පන්දු 04ක් එක් යන්ත්‍රයකින්ද, ඉංග්‍රීසි අක්ෂර 26 මුද්‍රිත තවත් පන්දු 26කින් එක අක්ෂරයක් වෙනම යන්ත්‍රයකින් තෝරා පහත පරිදි ත්‍යාග පිරිනමනු ඇත.

ඉංග්‍රීසි අක්ෂරයට රු.20ක්ද, අංක එකකට රු.20ක්ද, අංක දෙකකට රු.100ක්ද, අංක තුනකට රු.1000ක්ද, අංක හතරකට රු.10,00,000ක්ද, අංක එකක් සමග ඉංග්‍රීසි අක්ෂරයට රු.40ක්ද, අංක දෙකක් සමග ඉංගිසි අක්ෂරයට රු.1000ක්ද, අංක තුනක් සමග ඉංග්‍රීසි අක්ෂරයට රු.100,000ක්ද, අංක හතරක් සමග ඉංග්‍රීසි අක්ෂරයට 50,000,000ක් හෝ එදිනට පවතින ජයමල්ල මෙම ටිකට් පතෙන් ඔබට ලබාගත හැකිය.

මිට අමතරව ටිකට් එකයි චාන්ස් දෙකයි දිනුම් ඇදීමද මේ සමග ක්‍රියාත්මක වන අතර, එහිදී ප්‍රථම දිනුම් ඇදීමෙන් පසු ඉතිරි වන පන්දුවලින් අංක 04ක් තෝරා අංක දෙකකට රු.20ක්ද, අංක 3ට රු.500ක්ද, අංක හතරට රු.50,000ක්ද ලබාදෙනු ඇත. අද කෝටිපතිÓ ලොතරැයිය, ලොතරැයි වෙළඳපොලේ ප්‍රමුඛතම ලොතරැයියක් ලෙස වෙළඳපොළට ඉදිරිපත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අරමුණයි.


එමරල්ඩ් ඉන්ටර්නැෂනල් සහ CIM ශ්‍රී ලංකා සහයෝගීතාවකට එළඹෙයි

ශ්‍රී ලංකා වරලත් අලෙවිකරණ ආයතනය ( CIM ශ්‍රී ලංකා) දෙවැනි වර්ෂයටත් මෙරට ප්‍රමුඛතම පිරිමි නිමි ඇඳුම් සන්නාමය වන එමරල්ඩ් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමග ආයතනික සහයෝගීතාවයකට එළඹ තිබේ. පිරිමි නිමි ඇඳුම් විලාසිතා අලෙවිකරණයෙහි පළපුරුද්ද සහ දැනුම බෙදා ගැනීම සඳහා මෙම සහයෝගීතාවය විශිෂ්ට ප්‍රවේශයක් වනු ඇත. CIM ශ්‍රී ලංකා සහ එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අතර මේ වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදුකරන ලද අතර එමගින් වෙළෙඳපොළ තුළ දෙපාර්ශ්වයෙහිම සන්නාම අනන්‍යතාවයන් සවිමත් වීමද සිදුවනු ඇත.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ ප්‍රධානී කිසානි දහනායක කියා සිටියේ ශ්‍රී ලංකා වරලත් අලෙවිකරණ ආයතනය වැනි කීර්තිමත් වෘත්තීමය ආයතනයක් වෙත අපගේ සහයෝගය සහ අනුග්‍රාහකත්වය ලබා දෙන්නට හැකිවීම පිළිබඳව එමරල්ඩ් සමාගම වශයෙන් ඉතාමත් සතුටට පත්වන බවයි. පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා අප සතු ස්ථීර කැපවීම මෙම සහයෝගීතාවය හරහා තවත් සවිමත් වනවා පමණක් නොව වෘත්තිකයින් වශයෙන් දැනුම සහ පළපුරුද්ද තවත් තියුණු තලයකට රැගෙන යාමටද උපකාරී වන බවද කීවාය.


මානව සම්පත් ක්‍රමවේද වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස්ට සම්මාන හා ඇගයුම්

යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය විශිෂ්ට මානව සම්පත් ක්‍රමවේද වෙනුවෙන් දිගින් දිගටම සම්මාන හා ඇගයුම් වලින් පිදුම් ලබමින් සිටී. මෙම මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද එම සමාගම තුළ යහපත් රැකියා පරිසරයක් බිහිවීමට මෙන්ම සමස්තයක් ලෙස සමාගමේ අරමුණු විශිෂ්ට ලෙස සාක්ෂාත් කරගැනීමටද බෙහෙවින් උපකාරී වී ඇත. Best Employer Brand Awards සම්මාන උළෙලේදී යුනියන් ඇෂුවරන්ස් සමාගමට සම්මාන දෙකක් හිමි විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ World HRD Congress මගිනි. මෙහිදී ‘Best Employer Brand' සම්මානය මෙන්ම . 'Dream Employer of the Year'සම්මානයද දිනාගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් විය.

පසුගිය අගෝස්තු 2 වැනි දින සිංගප්පූරුවේ පැවති Asia Banking, Financial Services & Insurance Excellence Awards හිදී මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම මානව සම්පත් ක්‍රමවේද සඳහා වන සම්මානය යුනියන් ඇෂුවරන්ස් වෙත ප්‍රදානය කරන ලදි.


ELTORO පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි

EL TORO Roofing සමාගම මෙරට ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති උත්සවයකදී මෙම හඳුන්වා දීම සිදුකෙරිණි. St.Anthony’s සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන EL TORO Roofing සමාගම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් ප්‍රමිතියෙන් යුත් සිවිලින් තහඩු සහ ඒ සම්බන්ධ අනෙකුත් උපාංග නිපදවයි.

මෑතකාලීනව ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ හරිත සංකල්පය බෙහෙවින් ප්‍රචලිත වූ අතර මේ වන විට පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් පරිසර හිතකාමී ජීවන රටාවන්ට ගැළපෙන නිෂ්පාදන හා සේවාවන් අපේක්ෂා කරති. EL TORO Roofing සමාගම මෙසේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ එම ඉල්ලීම සපුරාලීමේ පියවරක් වශයෙනි.

සෙලියුලෝස් ෆයිබර්, පෝට්ලන්ඩ් සිමෙන්ති, පිරිසිදු කළ වැලි සහ ජලය මිශ්‍ර විශේෂ ෆයිබර් සිමෙන්ති සංයෝගයක් භාවිතයෙන් EL TORO සිවිලින් තහඩු නිපදවා තිබේ.

ඡායාරූප - සුදම් ගුණසිංහ

Comments