ඇලස්කාවේ මහ වනයක මැජික් බසයක් | සිළුමිණ

ඇලස්කාවේ මහ වනයක මැජික් බසයක්

ක්‍රිස් ‍රරිස්ටෝපර් මැක්කැන්ඩ්ල්ස් නමැති 24 හැවිරිදි ඇමෙරිකානු තරුණයා පා ගමනින් ගොස් ලෝකයේ සුන්දරත්වය දැකීමට ප්‍රිය කළ චරිතයකි. 1992 අප්‍රේල් 28 දා ඇලස්කාවේ දිනාලි වනයේ තිබෙන ‘මැජික් බසය’ට ළඟාවූ ක්‍රිස් සිදුවූ කාලගුණ විපර්යාස නිසා එම ඉසව්වේ කොටු විය. දින 113ක් බසයෙහි ගතකොට කුසට අහරක් නොමැතිව ඛේදනීය ඉරණමකට ගොදුරුව ක්‍රිස් ‘මැජික් බසය’ තුළ මිය ගියේය. පසුව ඒ තුළ තිබි ක්‍රිස්ගේ සිරුර හමු විය.

ආක්ටික් සර්කල් කියන්නෙ ඉර පායන ස්වභාවය අනුව සුවිශේෂවූ භූමියක්. ඒ භූමි ප්‍රදේශයට අවුරුද්දේ එක් දවසක පැය 24ම ඉර පායලා. ඒ වගේම අවුරුද්දෙ තවත් දවසක පැය 24ම තනිකරම කළුවර දවසක් එනවා.

උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි ඇලස්කාවට පැමිණි ඩිලන් එහි මනරම් දර්ශන දැකීමෙන් වශීකෘත විය. ඔහු පවසන්නේ හැකියාවක් තිබේනම් මිහිපිට අලංකාරය හා සුන්දරත්වය විඳීමට නම් ඇලස්කාවට යා යුතුම බවයි. දියඇලි, අහස උසට නැඟි යෝධ හිම කඳු, වසන්ත සමයට චමත්කාරය ඔප්නංවන දම් පැහැ මල් යායවල්වලින් දිස්වන ඇලස්කාවට බොහෝ විට රැයක් දවාලක් නැත.

“ඇත්තටම මං තුෂාරිට දහස් වාරයක් පින් දෙනවා මාව ඇලස්කාවට යැවීම ගැන. මිහිපිට සුන්දරත්වය තමයි ඇලස්කාව කියන්නෙ. ඇලස්කාවේ රෑ එකට දෙකටත් එළිය තියෙනවා. සමහරදාට මම කූඩාරම අටවන්න හිතනකොට එළිවෙන්නත් ළඟයි. වලස්සු, ගෝන්නු, කැරිබු කියන පිනි මුවන්, බීවර්ලා ඕනැ තරම් දකින්න පුළුවන්. ඒ වගේම කුඩා දියකඩිතිවලත් සැමන් මසුන් පිරිලා. වලස්සු කරන්නෙ පැන පැන උන් අල්ලන එකයි, බෙරි ගෙඩි කඩන එකයි. එවැනි දසුන් හරිම සුලබයි ඇලස්කාවේ.”

ඇලස්කාවේ සුන්දරත්වය විඳිමින් ගමනට සැරසෙද්දී ඩිලන්ට එහිදී ද ඇමෙරිකන් ජාතික යතුරුපැදි ධාවකයෝ තිදෙනෙක් හමු වූහ. අටිලා, ජෙරම් සහ රොබට් නමැති ඔවුන් තිදෙනා කැලිෆෝනියාවේ සිට ඇලස්කාවේ ඩෝල්ටන් අධිවේගී මාර්ගයේ ගොස් ආක්ටික් සාගරයේ පෘදෝ බොක්ක දක්වා ගමන් කිරීම අරමුණු කොටගෙන සිටියෝය.

“ඔවුන් මා එක්ක හරිම මිත්‍ර වුණා. පස්සෙ අපි සිවුදෙනා දවස් ගානක්ම එකට ගමන් කළා. ඒත් ඔවුන් හරිම බයයි කැලේ කූඩාරම් අටවගෙන නිදාගන්න. පස්සෙදි මං කොහොමහරි ඔවුන් ඒකටත් කැමැති කරගත්තා.”

දිනක් ඔවුන් සමඟ ඇලස්කා වනාන්තරයක රැය පහන් කරමින් සිටියදී අාහාරය සඳහා යමක් රත්කර ගැනීමට ගොස් ඩිලන් පත්වූයේ නොසිතූ කරදරයකටය.

“අර තුන්දෙනා කරන්නෙ වැටිච්ච ගමන් නිදාගන්න එක. මං කෑම වගයක් රත් කරන්න ගත්තා. තෙල් කෑනයේ මූඩිය ශීතලට තද නිසා යාන්තමට රත් කළා. එකපාරටම මහ හඬක් නඟමින් කෑන් එක පිපිරුවානේ. තුන්දෙනා විලාප දුන්නා. කෑම හැම තැනම විසිරිලා. පස්සෙ මං තනියෙන් හොඳ පරිප්පුවක් කෑවා ඔක්කොම කෑම සුන්බුන් අස්කරන්න. ඒ මදිවට ඈතට ගිහින් වළ දැම්මා. නැත්නම් වලහාගෙන් ගැලවිල්ලක් නෑ. මොකද වලහා කියන්නෙ ආඝ්‍රාණ ශක්තිය මනුස්සයන්ට වඩා මිලියන ගාණකින් වැඩි සතෙක්.”

ඇලස්කාවේ නගරබද පෙදෙස්වල සැරිසැරු ඩිලන් එහි ලොකුම නගරය වූ ඇන්කොරේජ් වෙතද ගමන් කළේය.

“ඇත්තටම බොහෝ දෙනා සිතන්නෙ ඇලස්කාව කියන්නෙ මිනිස් වාසයෙන් තොර හිම යායවල්, කැලෑවල් පමණක් තියෙන ප්‍රදේශයක් කියායි. නැහැ. එහෙම නැහැ. එහි සීමිත ජනගහනයක්ද වාසය කරනවා. ඇලස්කාවෙදි මං බොහොම හෙමින් ගමනක් ගියේ. බලන බලන තැන සුන්දරයිනේ. මම කළේ සයිකලේ නතර කරලා පැය ගණන් බලාගෙන ඉන්න එක. පින්තූර ගන්නවා. ඒකට තවත් හේතුවක් වුණේ මට අවශ්‍ය වුණා ඇලස්කාවේ සෑම තැනකම සුන්දරත්වය තුෂාරිට පින්තූරවලින් හෝ දකින්නට සැලැස්වීමට. තව මම ඇලස්කාවෙදි ඇති පදම් හිම ක්‍රීඩාත් කළා.”

අනතුරුව ඩිලන් ළඟා වූයේ ආක්ටික් සර්කල් නමැති පෘථිවියේ සුවිශේෂ වූ භූමි කලාපයේ ඇලස්කාවේ කොටසටය. ආක්ටික් සර්කල් යනු ඇලස්කාව මුදුන, ස්කැන්ඩිනේවියානු සහ රුසියාවෙන් කොටසක් ද අයත් ගෝලාකාර පෘථිවි මුදුනේ රවුම් හැඩයකි.

“ඇත්තටම ආක්ටික් සර්කල් කියන්නෙ ඉර පායන ස්වභාවය අනුව සුවිශේෂවූ භූමියක්. ඒ භූමි ප්‍රදේශයට අවුරුද්දේ එක් දවසක පැය 24ම ඉර පායලා. ඒ වගේම අවුරුද්දෙ තවත් දවසක පැය 24ම තනිකරම කළුවර දවසක් එනවා.”

අටිලා, ජෙරම් සහ රොබට් සමඟ එලෙස ඇලස්කාවේ මුදුනටම ගොස් නැවතත් පැමිණෙන අතරේ ඩිලන්ට එක්වරම සිහියට නැඟුණේ ඇලස්කාවේ ‘මැජික් බසයයි.’ ‘මං ගිහින් එන්නම් මැජික් බස් එක බලන්න‘ යැයි පවසා දින කීපයක් එක්ව ගමන් කළ සගයන් තිදෙනාගෙන් වෙන්වූ ඩිලන් බෲස් සමඟින් ලට්ට-ලොට්ටද අතරමඟ දමා පා ගමනින් එහි යෑමට සැරැසුණේය. අතිශය අවදානම්කාරී සේම බිහිසුණු මඟක් ගෙවා ඔහු එලෙස යෑමට සැරැසුණේ ලොව ඛේදනීය කතාවකට පාදක වූ ඇලස්කාවේ දිනාලි වනයේ තිබෙන ‘මැජික් බසය’ නැරැඹීමටයි.

60 දශකයේ ඇලස්කාවේ මාර්ගයක් ඉදිකිරීමට ගොස් අතරමඟ නතර වීම හේතුවෙන් එසමයෙහි අත්හැර දැමු පැරැණි බසයක් අදත් ඇලස්කාවේ උසම කඳුකර ප්‍රදේශය වන දිනාලි වනාන්තරයේ දක්නට ලැබේ. එම බසය ලෝ ප්‍රකට වන්නේ 92 වර්ෂයේදී සිදුවූ ඛේදනීය සිදුවීමක් නිසාය. ඒ කතාව මෙසේය.

ක්‍රිස්ටෝපර් මැක්කැන්ඩ්ල්ස් නමැති තරුණයා ඇමෙරිකානු ජාතිකයෙකි. ඔහු එවකට 24 වියෙහි පසුවිය. පා ගමනින් ගොස් ලෝකයේ සුන්දරත්වය විඳිමින් අත්දැකීම් ලැබ ගැනීමට ප්‍රිය කළ ඔහු ධනවත් පවුලකින් පැවැත එන්නෙකි. ඔහු 1992 අප්‍රේල් 28 වැනිදා ‘මැජික් බසය’ කරා ළඟා වෙයි. එසේ යන ක්‍රිස් ආපසු පැමිණීමට නොහැකිව දින 113ක් බසයේ ගතකොට මියයෑම එම ඛේදනීය පුවතයි. එම ශෝචනීය කතාන්දරය අලළා 1993 වර්ෂයේදී ඇමෙරිකානු ජාතික ජෝන් ක්‍රැකර් නමැති ලේඛකයා විසින් සඟරාවකට සංවේදී කතාවක් ලියන ලදී. පසුව එය 1995 වර්ෂයේදී ‘ඉන් ටු ද වයිල්ඩ්’ (In to the wild) නමින් ග්‍රන්ථයක් ලෙස පළවූ අතර එය ලෝක ප්‍රසිද්ධ විය. 2007 වර්ෂයේදී එම ග්‍රන්ථය අළලා ෂෝන් ෆෙන් නමැති සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා In to the wild නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කළේය. එයද ලෝ ප්‍රකට නිර්මාණයක් විය. එහි ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස්ගේ චරිතයට පණ පෙවූයේ එමිල් හර්ස්ච් නමැති කැලිෆෝනියානු නළුවෙකි. ඔහු එම චරිතයට පණ පොවමින් කෑම අහේනිය නිසා ක්‍රිස්ට අත්වූ ඉරණම රඟපෑම සඳහා නොකා නොබී සිටිමින් ඇඟපත කෘශ කර ගැනීමට දැඩි වෙහෙසක් ද දැරුවේය.

ඩිලන් පැවසුවේ එවන් අපූරු කතා පුවතකට පාදක වූ බසය සහ ඔහු වැනිම ලෝකයේ සුන්දරත්වය දැකීමට ප්‍රිය කළ ක්‍රිස් මියගිය ස්ථානය දැකබලා ගැනීමට තමන්ට දැඩි වුවමනාවක් තිබූ බවයි.

“මම ඉන් ටූ ද වයිල්ඩ් පොත කියවලා තිබුණා. ඉතින් මට හිතුණා මැජික් බසය බලලා එන්න ඕනෙ කියලා.”

එහෙත් එය සිතූ තරම් ලෙහෙසි-පහසු කටයුත්තක් නොවන්නේ බසය තිබෙන ඉසව්ව නිසායි. වික්‍රමාන්විතයන්ට ප්‍රිය ඩිලන් මැජික් බසය සොයා ගිය අපූරු ගමන මෙසේය.

“බසය තියෙන තැනට කිලෝමීටර් 40ක් පයින් යා යුතුයි. ගන වනාන්තරේ. පාරක් නෑ. ඒ මදිවට ගංගාවල් දෙකක් තරණය කරන්න තියෙනවා. මං කළේ බෲස් කැලෑ රොදක හංගලා, අනෙත් තියෙන බඩු මුට්ටුත් කොළරොඩුවලින් වැහැව්වා. මං ඒව හැංගුවේ ජීපීඑස් එකෙන්, ජීපීඑස් ‘පොසිෂන්‘ කෝඩ් අංක යොදලයි. නැත්නම් නැවත පැමිණිවිට සොයාගන්න අමාරුයිනේ. මහා පාළු ප්‍රදේශයේ යම් පමණක කළුවරකුත් වෙනවානේ මම ගිහින් එනකොට. ඒක නිසයි එහෙම කළේ. ජීපීඑස් එකට ‘එන්ටර්‘ කරගත්තා බසය තියෙන තැන. සාක්කුවට ‘මාර්ස්‘ චොකලට් 5ක දාගෙන ගමන පිටත්වුණා. කිලෝමීටර් 79ක් යන්නයි එන්නයි පැය 20ක් ගියා.”

ඇලස්කාව යනු රාත්‍රියට කළුවර නොවන තැනක් නිසා එක දිගට ගමනේ යෙදීමට බාධාවක් නොමැත.

“පාරක් නෑ. පාරවල් හදාගෙන කැලේ මැදින් යන්න ගියේ. ගංගා දෙකක් හමු වුණා. ඒවා තරණය කරන්න පුදුමාකාර දුකක් සහ අවදානමක් වින්දේ. ඔය ගංගාවක් නිසායි ක්‍රිස්ට නැවත එන්න බැරිවෙලා තියෙන්නෙ. වතුර වැඩිවෙලා. පස්සෙ කොහොමහරි බස් එකට ගියා. පරණ බසයක්. එතැනට ගියාම මහා දුකක් ඇතිවෙනවා ක්‍රිස්ට වූ දේ ගැන. ඔහු එතැන ගත කළ දවස්වල යම් යම් දේවල් බසයේ කුරුටු ගාලා තියෙනවා. කොහොමහරි ක්‍රිස් මියයන්නට ආසන්න දිනකදී බසයට හේත්තු කරලා අදටත් තියෙන පුටුවේ වාඩිවෙලා කැමරාව ඉස්සරහ තියලා ‘සෙල්ෆි‘ පින්තූරයක් අරගෙන තියෙනවා. ඒ පින්තූරේ අදටත් ලෝක ප්‍රසිද්ධයි. මම එතැන පැය භාගයක පමණ කාලයක් ගතකරලා එන්ට ආවා.“

එසේ පැමිණෙද්දී ඩිලන්ගේ බාගෙට පණ ගොසින්ය. ඒ පාගමනින් ගිය දුර සුළු-පටු නොවනවා සේම අතිදුෂ්කර ගමනක් නිසායි.

“මට ඉතින් එනකොට මහන්සිය වගේම බඩත්ගිනියි. චොකලට් පහක්නේ අරන් ගියේ. එයිනුත් එකක් සාක්කුවේ තිබුණා. කොටින්ම කිව්වොත් මම බඩගාගෙන තැන තැන වැටි වැටී ආවේ. හිතන්නකෝ එක දිගට කිලෝමීටර් 79ක් විතර ඇලස්කාවේ පයින් ඇවිදිනකොට කොතරම් අමාරුද කියලා. එහෙම ඇවිල්ලා බයික් එකට කිලෝමීටර් දෙක-තුනක් වගේ දුරක් තියෙද්දි බල්ලෝ හතර පස්දෙනෙක් බුරන සද්දයක් ඇහුණා. එතැන කූඩාරමකුත් ගහලා. මහ රෑ. කළුවර නැති නිසා පේනවා. කොහොමහරි බල්ලොන්ගේ සද්දෙට කූඩාරමේ අය නැගිට්ටා. බැලින්නම් කපල් එකක්. ඒගොල්ලෝ බල්ලෝ හිම ක්‍රීඩාවලට අරන් යන ගමන්. ඒ අය භිරාන්ත වෙලා මාව දැකලා. මේ කවුද... මහ රෑ තනියම කොහේද පයින් ඇවිදින්නෙ කියලා. පුදුම වෙලා බලාගෙන හිටියා මා දිහා. මට කතා කරගන්නත් බෑ. මම එතැන එහෙම්ම ඇදගෙන වැටුණා. ඉබේටම වගේ කෑගැහුණා, ‘මට බඩගිනි... මට බඩගිනි...’ කියලා.”

ඔහුගේ ආයාචනයට තරුණ යුවළගෙන් ක්ෂණිකව ප්‍රතිචාර ලැබිණි.

“එයාලා ඉක්මනට මොනවහරි කන්න ගේන්න ගියා. දන්නවද එයාලා මට කෑමට දුන්නෙ මොනවද කියලා...චොකලට්... මං කෑගැහැව්වා, ‘ඕවනම් මට එපා... එපා... මගෙ ළඟත් චොකලට් තියෙනවා ඔයාලට ඕනෙනම් දෙන්නම්’ කියලා. අනේ පස්සේ ඒ දෙන්නා නැවතත් ගිහින් රටකජු, කජු පුහුලන්, මිදි වගේ මිශ්‍රණයක් ගෙනත් දුන්නා.”

එවැනි දේ ආහාරයට ගැනීමෙන් යම් පණක් ලැබූ ඩිලන් පසුව බෲස් සහ බඩු-මුට්ටු හැංගු ඉසව්වට පැමිණ විඩා නිවා ගත්තේය. ඩිලන් පවසන්නේ එම සංචාරයේදී තමා එවැනි ගමන් ගියේ කෙසේද යන්න අදටත් අදහාගත නොහැකි බවයි. එසේ ත්‍රාසජනක අත්දැකීම් විඳිමින් ගිය ඩිලන් දිනක් ඇලස්කාවේ වනාන්තරයක කූඩාරමෙහි රැයක් පහන් කරද්දී වලස් ගොදුරකට හසුවීමට ගොස් අනූනවයෙන් බේරිණි.

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.