උසාවියෙන් ඇසෙන කතා | සිළුමිණ

උසාවියෙන් ඇසෙන කතා

මගේ සේවාදායකයා මේ පඹගාලේ පැටලුණේ ඉල්ලුම්කාරියගේ පසුබිම ගැන විමසීමක් නැතිව කසාදෙට කැමති වුණු නිසා. ඇයත් සමඟ මගේ සේවාදායක කිසිම දෙයක් කරන්න කැමති නැහැ විමසීමක් නැතුව.

“අධිකරණයක නිරන්තරයෙන් දක්නට ලැබෙන අඳුරු පාළු ස්වභාවය දුරුවන්නේ විනිශ්චයාසනයෙන් මෙන් ම නීතිඥ මඩුල්ලෙන් ද හිටිඅඩියේ මතු වන බුහුටි වදනකින් දෙකකින් බව ය...” යනුවෙන් මෙම ලිපි පෙ‍ළේ නිර්මාතෘ, වර්ණන් එච්. ගුණසේකර මහතා වරෙක පළ කර තිබිණි.

සිරියලතා එදිරිව සිරිමල් නඩුව කැඳවූ අවස්ථාවේදී, වැඩබලන මහේස්ත්‍රාත් වශයෙන් විනිශ්චයාසනය හොබවන ලද්දේ සාමාන්‍ය උසකින් යුත්, බොඳවී යන කෙස් රොදකින් සහ අඩ හමුදා උඩුරැවුලක් සහ පූර්ණ හමුදා පෙනුමැති, නිතරම මනාලෙස හැඳපැලඳ ගත් කරුණාරත්න බණ්ඩා මහතා . සිරියලතා තිස්වියැති යැයි කිව හැකි මන‍ාසේ වැඩුණු අගපසඟින් හෙබි පිරිපුන් කයක් සහිත කතක වූ අතර ඇය අඳුරු පැහැති ඇඟට ඇළුණු ඉතා පහත් කරකින් යුත් හැට්ටයක් සහ ඔසරියකින් සැරසී පබළු මාලයක් පැලඳ උන්නාය. සිරිමල් එතරම් උස නැති අයෙකු වූ අතර සරමක් සහ මල් කමිසයක් ඇඳ සිටියේ ය.

“මොකක්ද මේ කාරණේ?” දෙපාර්ශ්වය වෙත ම දෙනෙත් යොමු කරමින් කරුණාරත්න බණ්ඩා මහතා ඇසී ය. දෙපාර්ශ්වයට ම නීතිඥ නියෝජනයක් වූ අතර කාන්තාව නියෝජනය කරන ලද්දේ නීතිඥවරියක විසිනි.

“මෙය නඩත්තු ඉල්ලුම්පත්‍රයක්, ස්වාමීනි,” නීතිඥ දෙපොළම එක්වර පැවසූහ.

කරුණාරත්න බණ්ඩා මහතා: “සමථයක් නැද්ද?”

සිරියලතාගේ නීතිඥවරිය (උස් හඬින්): “කොහෙත්ම ඉඩක් නැහැ, ස්වාමිනී.”

කරුණාරත්න බණ්ඩා මහතා: “ඔහ්, ඒකත් එහෙම ද, කරුණු මොනව ද?”

සිරියලතාගේ නීතිඥවරිය: “වගඋත්තරකරු මගේ සේවාදායිකාව කසාද බැඳ ගත්තේ වංචාවෙන්, ස්වාමිනී. කසාදෙට කලින් ඔහු කිව්වේ ඔහු කාර්මික ඉංජිනේරුවෙක් කියලයි, නමුත් ඔහු නිකම්ම කාර්මිකයෙක් විතරයි.” (සිනා)

සිරිමල්ගේ නීතිඥ: “කසාදෙට කලින් ඉල්ලුම්කාරිය කිව්වෙ ඇය දොස්තර කෙනෙක් කියල, නමුත් ඇය රෝහලේ උපස්ථායිකාවක් (ඇටෙන්ඩන්ට්) විතරයි.” (සිනා)

කරුණාරත්න බණ්ඩා මහතා: “කසාද වෙළඳ කතා. (උස් හඬින් සිනා) දෙගොල්ලෝම විමසලා තියෙන්න තිබ්බෙ දෙපාර්ශ්වයේම පවුලේ තොරතුරු කසාදෙට කලිං?”

සිරිමල්ගේ නීතිඥ: “මගේ සේවාදායකයාට එහෙම කරන්න තිබ්බ. ඒත් ඔහු කපුවාගේ වචනේ විශ්වාස කළා.”

සිරියලතාගේ නීතිඥ: “මගේ සේවාදායිකාවත් එහෙමයි.”

කරුණාරත්න බණ්ඩා මහතා: “කපුවා අල්ල ගත්තෙ නැද්ද?”

සිරිමල්ගේ නීතිඥ: “ඔහු ඉල්ලුම්කාරියගෙ සහෝදරයා.” (සිනා)

කරුණාරත්න බණ්ඩා මහතා: “දැන් වගඋත්තරකරුගේ මස්සිනා.” (උස් හඬින් සිනා)

සිරිමල්ගේ නීතිඥ: “ඒක එහෙම තමයි.”

කරුණාරත්න බණ්ඩා මහතා: “දැන් පේන්නේ දෙගොල්ලටම තමුන්ට ගැළපෙන ජීවන තත්ත්ව ලැබිල තියෙනවා වගෙයි, වාසනාවකට වගේ, (සිනා) දෙන්නගෙං එක්කෙනෙක් හරි කියල තිබුණේ ඇත්තක් නං තත්ත්වේ බරපතළ වෙන්න තිබුණා. ඇටෙන්ඩන්ට් කෙනෙක් කාර්මික ඉංජිනේරුවෙක් කසාද බැඳලා. නැත්තං දොස්තර කෙනෙක් කාර්මිකයෙක්ව කසාද බැඳලා...” (උස් හඬින් සිනා)

සිරියලතාගේ නීතිඥවරිය: “මේ කසාදෙන් ළමයි නැහැ. අපි ඉල්ලුම්කාරියට පමණයි නඩත්තු ඉල්ලා හිටින්නේ.”

කරුණාරත්න බණ්ඩා මහතා: “ඒක ස්ථිර කළ යුතුයි මහේස්ත්‍රාත්තුමා විමසීමකින් පස්සේ. ඒ අතරතුරේ විමසීමක් නැතුව අතුරු දීමනාවකට කැමති ද?”

“නෑ. නෑ.” නීතිඥ දෙපොළම එක්වර උස් හඬින් පැවසූහ.

කරුණාරත්න බණ්ඩා මහතා: “මොකද ඔච්චරම විරුද්ධ විමසීමක් නැතිව අතුරු දීමනාවක් නියම කරනවට?”

“හේතුව.” සිරිමල්ගේ නීතිඥ පැවසී ය. “මගේ සේවාදායකයා මේ පඹගාලේ පැටලුණේ ඉල්ලුම්කාරියගේ පසුබිම ගැන විමසීමක් නැතිව කසාදෙට කැමති වුණු නිසා. ඇයත් සමඟ මගේ සේවාදායක කිසිම දෙයක් කරන්න කැමති නැහැ විමසීමක් නැතුව.” (සිනා)

සිරියලතාගේ නීතිඥවරිය: “මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි.”

නීතිඥ දෙපොළ ම උස් සිනා හඬ මධ්‍යයේ, එම කාරණය සම්බන්ධයෙන් නම් එකඟත්වය පළ කළහ.

වර්ණන් ගුණසේකර

Comments