දිවි නොතකා පැන්න පැරෂුට් පිම්ම

“යුරෝපයේදී අපි එක්කෙනෙක් පිමි 16ක් පැන්නා. මුලින්ම පැන්නෙ ලෝකයේ වැඩි පිරිසක් බේස් ජම්ප් පළමු පිම්ම පැනීමට යන ක්‍රොයේෂියාවේ කන්ෆනාර්හි අධිවේගී මාර්ගයක තිබෙන පාලමක සිට අඩි 350ක් යටින් තිබෙන හෙළකට. ඒ පිම්මෙදි හිතන්න දෙයක් නෑ ඇසිපිය ගහන සැණින් බිම. අමුතුම අත්දැකීමක්. ඊට පස්සෙ අපිව රැගෙන ගියා ඉතාලියේ කඳුකර ප්‍රදේශයක් වන ‘ආර්කෝ’ නමැති පළාතේ කන්දකට. තනිකරම ගල්තලාවක්. එතැන උස අඩි 2500ක් පමණ. අප පැන්නෙ ගල්තලාවක් මතට. එතැන අපේ රටේ ලෝකාන්තය වගේ ඉමක් කොනක් නොපෙනෙන තැනක්.”

තත්පර ගානකදී අවසන් වන සියලු කාර්යන් දශමයක වෙනසකින් තොරව ‘තිත’ට සිදු නොවුණහොත් එය අනිවාර්යයෙන්ම සියදිවි හානි කරගැනීමක් හා සමානය. මේ කියමන අදාළ වූයේ දිවි පරදුවට තබා පනින පැරෂුට් පිම්මක් ගැන කරන කතාබහකදීය. එවැනි වූ පිම්මක් පැනීමට පසුගියදා අප යුද හමුදා විරුවෝ තිදෙනෙක් සමත් වූහ. එහෙත් ඒ අපේ රටේදී නොව යුරෝපයේදීය. එම ත්‍රාසජනක වික්‍රමාන්විත පැරෂුට් පිම්ම පැන අභිමානවත් විරුවන් ලෙසින් පසුගියදා මෙරටට පැමිණි යුද හමුදා පැරෂුට් විරුවන් තිදෙ‍නා පසුගිය දිනෙක අපට මුණ ගැසිණි.

ලාංකේය පැරෂුට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘බේස් ජම්ප්’ ලෙසින් හඳුන්වන එම බිහිසුණු පිම්ම පනිමින් ඉතිහාසගත වූයේ කොමාන්ඩෝ බළකායේ, ඌව කුඩාඔය පැරෂුට් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් නලින් කුලතුංග, කෝප්‍රල් අජිත් ප්‍රේමලාල් හා යුද හමුදා විශේෂ බළකායේ සාජන් මේජර් චම්පික කුමාරසිරි යන විරුවන්ය.

බේස් ජම්ප් යනු බී - බිල්ඩින්, ඒ - ඇන්ටෙනා, එස් - ස්පැන් (පාලම්), ඊ - ඒර්ත් (කඳු) යනාදී දුෂ්කර ස්ථානවල සිට අවම උස අඩි 350 ක් වැනි කෙටි උසකින් පනින පිම්මකි. මෙම බේස් ජම්ප් පිම්ම, පැරෂුට් ශූරයන් පනින පිමි අතරින් ලොව තිබෙන අතිභයානකම පිම්ම ලෙස සැලැකේ. ඔස්ට්‍රියාවේ ප්‍රෙසරයිසඩ් (Pressurized) නමැති බේස් ජම්ප් අත්දැකීම විඳීමට ලොව තිබෙන හොඳම ආයතනයේ ගුරුහරුකම් මැද එම කුලුඳුල් අත්දැකීම ලැබු මේජර් නලින් පවසන්නේ මෙවන් කතාවකි.

“ඇත්තටම මේක සියදිවි හානිකර ගැනීමක් හා සමාන පිම්මක්. මොකද ගුවන් යානයකින් පනින නිදහස්ආර පිම්මෙදි අපට තියෙනවා අතිරේක පැරෂුටයකුත්. ඒ වගේම අඩි පන්දාහට වැඩි උසකින් පනින නිසා පොඩි වෙලාවක් තියෙනවා යම් අතපසුවීමක් වූවොත් නිවැරැදි කරගන්න. මේකෙදි ඒ කිසිවක් නෑ. නිදහස්ආර පිම්මෙදි සාමාන්‍යයෙන් ගුවන් යානයෙන් නික්මී පහළට එන විට අපට දැනෙන්නෙ සුළ‍ඟේ පාවෙනවා වගේ හැඟීමක්. ඒ නිසා යම් තත්ත්වයන් පාලනය කරගැනීමට පහසුයි. ඒත් කෙටි උසකින් පනින මෙහිදී වෙන්නෙ ක්ෂණයෙන් පහළට වැටීම පමණයි. එයට මුහුණ දීමට දැඩි අධිෂ්ඨානයක් සහ නිර්භීතකමක් තිබිය යුතුයි. නැතිනම් පනින කන්දෙ හෝ බිල්ඩිමේ වැදිලා වෙන්න තියෙන අනතුරු ඉතාම වැඩියි. අපි පිමි හාරපන්සියකට වැඩිය පැනලා තිබුණත් මේ මුල් පිම්මෙදිනම් හිතට ලොකු චකිතයක් දැනුණා. ඒ නිකං හරියට මුල්ම පැරෂුට් පිම්ම පැනපු දවස මතකයට නැඟීමක්.”

සියලු උපදෙස් අධ්‍යයනය කිරීමෙන් පසුව එම ත්‍රාසජනක පිම්ම පැනීමට පෙර ඊට අවැසි කැනපි සහ සකස් විය යුතු වටපිටාව කෙබඳු විය යුතුදැයි යන්න ද මේජර් නලින් පැහැදිලි කළේය.

“මේ පිම්මේදී සුළං දිශාව ගැන දැඩි අවධානයක් යොමු කරනවා. පැරෂුට් කැනපි හැඩයෙන් සමාන වුණාට ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් වෙනස්. සාමාන්‍යයෙන් නිදහස්ආර පිම්මෙදි තමන්ටම කියලා කැනපියක් නැහැ. ඒත් මෙහිදී එහෙම බැහැ. පනින කෙනාගෙ උස, බර, ඇඟපතේ ස්වභාවය අනුවයි කැනපිය නිර්මාණය වෙන්නෙ. ඒ වගේම පැරෂුට් එක ඔතන ක්‍රමයත් සම්පූර්ණයෙන්ම වෙනස්.” එලෙස බේස් ජම්ප් පැනීමට වෙනස්ම ආකාරයේ පැරෂුට් කැනපි ඔවුන් තිදෙනා වෙනුවෙන් නිර්මාණය කළේ ස්ලොවැකියාවේ ඇන්ඩ්‍රියාස් නමැති සමාගමෙනි. ඊට රුපියල් ලක්ෂ 22ක පමණ මුදලක් වැය වී තිබේ.

යුරෝපයේදී ලැබු ත්‍රාසජනක අත්දැකීම ගැන කෝප්‍රල් අජිත් ප්‍රේමලාල් ද අප හා අදහස් දැක්විය.

“එතැනට ඇවිත් හිටියේ ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ස්ලෝවේනියාව සහ ස්විට්සර්ලන්තය වගේ රටවලිනුයි. ඒ ගොල්ලො පුදුම වුණා අපේ ‍වගේ කුඩා රටකින් මෙවැනි පිම්මක් පනින්න ආපු එක ගැන. ඔවුන් කිව්වේ, ‘අපිට පුදුමයි ඔයාලා ගැන. මොකද මෙතරම් කුඩා රටකින් තවම මෙවැනි පිම්මක් පනින්න කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ වගේම හමුදා සාමාජිකයන් මෙවැනි දේකට ඒම ගැන ඔවුන්ට හරිම ආඩම්බරයි. ඒ අය පුන පුනා කියූ දෙයක් තමයි, ‘ඔයාලා හැමෝම ඉහළ ගණයේ පැරෂුට් ශූරයෝ වෙන්න පුළුවන්. පැරෂුට් පිමි හාරපන්සීය පැනලා ඇති. ඒත් මේක අලුත්ම දෙයක්. දශමයක අතපසු වීමක් වුණොත් ‘සොරි’ තමයි. ඒ නිසා හැමදේම ඉතාම සියුම්ව අධ්‍යයනය කරනකල් පිම්ම පනින්න එක අවදානමක්. හැම දෙයක්ම ඕ.කේ. වෙනකල් හොඳින් අධ්‍යයනය කරන්න කියලා’ තමයි එයාලා අපට මුලින්ම දුන්න ලොකුම උපදෙස වුණේ.” නිදහස්ආර පිමි 150කට අධික ප්‍රමාණයක් පැන අත්දැකීම් බහුල පැරෂුට් විරුවන්ට පමණක් හිමි වන අවදානම් බේස් ජම්ප් පිම්ම ගැන ඊට එක්වූ සාජන් මේජර් එච්.කේ.සී. කුමාරසිරිගේ අත්දැකීම්ද පැවැසුවේය.

“යුරෝපයේදී අපි එක්කෙනෙක් පිමි 16ක් පැන්නා. මුලින්ම පැන්නෙ ලෝකයේ වැඩි පිරිසක් බේස් ජම්ප් පළමු පිම්ම පැනීමට යන ක්‍රොයේෂියාවේ කන්ෆනාර්හි අධිවේගී මාර්ගයක තිබෙන පාලමක සිට අඩි 350ක් යටින් තිබෙන හෙළකට. ඒ පිම්මෙදි හිතන්න දෙයක් නෑ ඇසිපිය ගහන සැණින් බිම. අමුතුම අත්දැකීමක්. ඊට පස්සෙ අපිව රැගෙන ගියා ඉතාලියේ කඳුකර ප්‍රදේශයක් වන ‘ආර්කෝ’ නමැති පළාතේ කන්දකට. තනිකරම ගල්තලාවක්. එතැන උස අඩි 2500ක් පමණ. අප පැන්නෙ ගල්තලාවක් මතට. එතැන අපේ රටේ ලෝකාන්තය වගේ ඉමක් කොනක් නොපෙනෙන තැනක්.” අප විරුවන් තිදෙනාගේ වාසනාව සේම දක්ෂතාව නිසාම කිසිදු අනතුරක් නොවී ඉතාම සාර්ථක පිමි පැනීමට තරම් ඔවුහූ සමත් වූහ.

මේ පිම්මෙන් පසු ඔවුන් ලැබූ සහතිකය අනුව බේස් ජම්ප් පිම්මට සුදුසු ඕනෑම තැනකින් පැනීමට සේම එවැනි පිමි පැනීමට නවකයන් පුහුණු කිරීමටද ඔවුහූ සුදුසුකම් සපුරා ඇත්තාහ.

යුද හමුදාපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම් මත ලාංකේය පැරෂුට් පිම්ම දැන් නවමු ඉසවු කරා පිය නඟයි. මෙරට පැරෂුට් ඉතිහාසය වෙනස් කරමින් අතිශය අවදානම් පිමි පැනීමට ශක්තිය දෙමින් එම අදහස වැපුරු මෙරට පැරෂුට් පිම්ම අන්තර්ජාතිකව ද ප්‍රචලිත කිරීමට වෙර දරන ප්‍රධාන චරිතය යුද හමුදා පැරෂුට් සංගමයේ සභාපති මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න මහතායි.

“අපේ ළමයි ඒ දේ ඉතාම ඉහළින් කරලායි ලංකාවට ආවේ. ඒ ගැන හරිම සතුටුයි. අපි මේ අය යැව්වට ‍ලොකු අවාදනමක් තිබුණා ඔය පිම්ම ගැන. දැන් අපේ අරමුණ නුදුරේදීම මෙවැනි පිමි පැනීමට සුදුසු තැන් මෙරටින් සොයා තව-තවත් පිරිස පුහුණු කරමින් යුද හමුදාවේ ආකර්ෂණය පෙන්වීම. ඒ වගේම මෙවැනි දේ මගින් සංචාරක ආකර්ෂණය ලබා ගැනීම. එසේම මෙරට ජනයාට එම ත්‍රාසජනක අත්දැකීමේ අසිරිය විඳගැනීමට අවස්ථාව සැලැසීම අපේ අරමුණයි.”

ගෝල්ෆේස් පිටිය අවට උස් ගොඩනැඟිල්ලක සිට මේ නවමු පිම්ම පනිමින් මීළඟ නිදහස් උලෙළ වර්ණවත් කිරීමට පැරෂුට් විරුවෝ දැන් සිටම අදිටන් කර සිටිති. ඒ අනුව මෙරට ජනයාටද නුදුරේදීම බේස් ජම්ප් පිම්මේ අසිරිය සේම ත්‍රාසජනක බව සියැසින් දැකබලා ගැනීමට හැකි වනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.