මීගමු වෙරළ හැඩ කරන නිල් අහසේ වසන්තය

ගුවන්තලය අනේක විධ වර්ණයන්ගෙන් අලංකාර කරමින් නිල් අහස් තලයට වසන්තය උදා කරන සරුංගල් සැණකෙළිය මීගමු අහස් තලය විචිත්‍රවත් වන්නේ මේ සති අන්තයේයි. අගෝස්තුවේ එළැඹෙන‘සරුංගල් නිවාඩුවත්‘ සමඟ පුංචි එවුන්ගේ අතට පත් වන සරුංගල් නිදහසේ උඩු ගුවනේ පාවී යන්නේ සුන්දර ළමා වියේ සිතුවිලි තවත් වර්ණවත් කරමිණි. වෙනදා ජනාකීර්ණ නොවූ මීගමු වෙරළ උද්‍යානය මෙදා වැඩිහිටි ළමා ළපැටි හැමගෙන් පිරී ඉතිරෙන්නේ හැම අත විසිරුණු සතුටු සිනා සමඟිනි. විවිධ වර්ණයන්ගෙන් අලංකාරවත් වූ සරුංගල් අතින් ගත් පුංචි පැටවුන්ගේ සුන්දර නිවාඩු කාලයට මෙදා සරුංගල් සැණකෙළිය ගෙන ආවේ අපූරු සුන්දරත්වයකි. පොත පතට, ප්‍රශ්න පත්‍රයට නෙත් යොමා සිටි පුංචි සිත්වලට ලද මද විවේකයෙන් සුන්දර ළමාවියේ අපූර්වත්වය විඳින්නට කයිට්ස් ශ්‍රී ලංකා ආයතනය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අත්වැල් බැඳ ගත්තේ නිල් අහස් තලය වර්ණවත් වන මේ අසිරිමත් මංගල්‍ය විචිත්‍රවත් කරන්නටය.

සරුංගලය අපේ විනෝදාංශ අතරට එක් නොවූ වකවානුවක මෙවන් අසිරිමත් සරුංගල් සැණකෙළියක් මුලින්ම මීගමු වෙරළ මුල් කරගෙන බිහිවූයේ 2008 වසරේදී ය. 2009 වසරේදි ඒ සරුංගල් සැණකෙළිය වඩාත් විධිමත්ව නිල් අහසේ ලෙළ දෙන්නට වූයේ නිල් අහසේ වසන්තය නමිනි. ඒ ‘කයිට්ස් ශ්‍රි ලංකා‘ නාමයද එක්වෙමිණි. මේ කාලය වන විට අපේ සරුංගල් සැණකෙළි ජාත්‍යන්තරයටත් විවර විය. ඒ වන විට පිටරැටියන් විසින් අපේ සරුංගල් සැණකෙළි හැදින්වූයේ ශ්‍රී ලාංකික කයිට්ස් හෙවත් ‘කයිට්ස් ශ්‍රී ලංකා‘ යන නමිනි. අවසානයේ ‘කයිට්ස් ශ්‍රි ලංකා‘ යන නම අපේ සරුංගල් සැණකෙළියට සම්බන්ධ වූයේ මේ ආකාරයට ය. එදා මෙදාතුර ඉන්දියාව,චීනය, ඉතාලිය, තුර්කිය, ප්‍රංශය, සිංගප්පූරුව, පෝලන්තය මෙන්ම මැද පෙරදිග රටවල සරුංගල් යැවීමට ප්‍රිය කරන්නෝ සිය වර්ණවත් සරුංගල් පාකර යැවීමට අපේ උඩු ගුවන තෝරා ගත්හ.

සරුංගල් ගුවන් ගත කිරීමට අපේ වෙරළ තීරයට පැමිණියහ. ඉරටු, කිතුල් අතු, බට පතුරු හා සව්කොළ එක්කරමින් සෑදූ කොම්බුව, වවුලා, මොනරා, නයා වැනි අපේ සාම්ප්‍රදායික සරුංගල් එදා ගොයම් කපා අහවර වූ සැණින් කෙතට පිවිසුණේ නිරිත දිග මෝසම් කාලයේ හමන්නා වූ සුළං රුල්ලත් සමඟ ය. එදා කැපූ ගොයම් කෙතෙන් ඇරැඹි සරුංගල් යැවීමේ කලාව අද මහ සයුරු මායිමේ වූ වෙරළ කරා විහිද ගියේ එදා තිබූ සරුංගල් ආකෘති අතරට වෙනස් සැකිලි ද එක් කරමිනි. තනි නූලේ සරුංගලය, නුල් දෙපොටේ සරුංගලය මෙන්ම නුල් අට පොටේ ආදි වශයෙන් තැනූ විවිධාකාරයේ සරුංගල් ලංකාවට පැමිණියේ මේ සරුංගල් සැණකෙළිය හරහාය.පොංගල් උත්සවයට සමගාමීව ඉන්දියාවේ සරුංගල් සංස්කෘතිය පැතිර යෑමෙන් ඒ ආභාසය ලංකාවේ යාපනය අර්ධද්වීපයට ද පැතිර ගියේ ය. ජනවාරි සමයේ අස්වනු නෙළීමත් සමඟ මහා පරිමානයෙන් සරුංගල් සැණකෙළිය ඉන්දියාවේ පවත්වන්නේ ආදායමක් ලබා ගැනීම සඳහා ටිකට් පත් ද විකිණීමෙනි. මකාර් සංක්‍රාන්තිය හෙවත් ඉන්දියාවේ සරුංගල් සැණකෙළිය එයාකාරයෙන් බිහිවූයේ පොංගල් උත්සවයට සමගාමීව ය. චීන ජාතිකයින් මුල්ම සරුංගලය උඩුගුවනේ පාකර හැරියේ සේද රෙදි සැකිලිවලින් වන අතර වෙයිතෑං ෂැඩෝ හෙවත් ලෝකයේ සරුංගල් අගනුවර බිහිවූයේ ද චීනයේ වීම විශේෂත්වයකි. ඇමෙරිකාවේ වසරකට සරුංගල් මිලියන 50 ක් පමණ සාදන අතර මේ වන විට වැඩිම උසකට සරුංගල් යවා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වීම විශේෂත්වයකි.

මනෝ විද්‍යාවට අනුකූලව ඉරට්ටක් ගෙන එය සුද්ද කරමින් සරුංගලයක් නිපදවීම ඉවසීම හා සමබරතාව මනාව පුහුණු කරවන අත්වැඩක් වන්නේ ය. ගණිත මිනුම් ක්‍රම, බුද්ධි කලම්බන ක්‍රියාවලියන් , වර්ණ සංකලනයන් මෙන්ම සමබරතාවය පිළිබඳ පාඩම් රැසක් කියා දෙන්නට මේ සරුංගල් සෑදීමේ කලාවට හැකි බව විද්වත් මතයයි. අවසානයේ තම දෑතින්ම නිපදවා ගන්නා සරුංගලයක් උඩ ඇරීමෙන් දරුවා ලබන්නා වූ වින්දනය ඔහුගේ පෞරුෂ සමබරතාව ගොඩ නැගීමටද ඉවහල් වන්නේ ය. ඉරටු සුද්ද කරමින් දෑතින් නිපදවන සරුංගල් අතරට අද චීන සරුංගල් පැමිණ ඇත්තේ ය. ඒ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් නිසාය. කයිට්ස් ශ්‍රී ලංකා සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ එක් අරමුණක්ද වන්නේ අපේ දේශිය සරුංගලයට වැඩි අවධානයක් ලබා දීමට ය.

ජාති , පාට, පක්ෂ භේදයෙන් තොරව අද එකසේ විනෝද විය හැක්කේ සරුංගලයක් උඩු ගුවනේ පාකර හැරීමෙනැයි මතයත් ඇත්තේ ය. එදා මේ සරුංගල් සැණකෙළියේ ලබාදුන් විනෝදයට වඩා සමාජයට යම් සද් කාර්යයක් කිරීමේ අභිලාශයෙන් නැතහොත් සමාජයේ කැකෑරෙන ගැටලු ඉස්මතු කර අවධානයට යොමු කිරිමක්ද මෙදා සරුංගල් සැණකෙළියෙන් සිදුවීම විශේෂත්වයකි. දිගම සරුංගලය, දේශිය සරුංගලය, හොඳම සරුංගලය යනාදි සාම්ප්‍රදායික තේමාවන්වලින් ඔබ්බට ගොස් ‘මතින් තොර රටක් ඇති කිරීමේ අරමුණු රැගත් සරුංගලය, ඩෙංගු උවදුරින් අත් මීදිමේ පරිසර හිතකාමි සරුංගලය යන තේමාවන්ට මුල් තැනක් ලබා දෙමින් නේක වර්ණයෙන් හා විවිධත්වයෙන් යුතු සරුංගල් උඩු ගුවනේ පාකර හැරීමේ සමාජ සද් කාර්යයට දායක වීම මෙදා සරුංගල් සැණකෙළියේ විශේෂත්වයකි.

එසේම සාම්ප්‍රදායික සවුකොළ, පොලිතින් වැනි දෙයින් ඔබ්බට ගොස් කෙසෙල් පරඬැල්, ගස්වල පොතු වර්ග, විවිධ මල් හා කොළ වර්ග ආදි දෙයින් නිපදවන සරුංගල් සඳහා මෙදා විශේෂ අවධානයක් හිමිවීම සැලකිය යුතුය. ළමා හා විවෘත අංශයන් දෙකටම විවෘත වන මේ සරුංගල් සැණකෙළිය මීගමු වෙරළ තීරයේ දිග හැරෙන්නේ තවත් සුවිශේෂි නිර්මාණ රැසකටම අතහිත දෙමිනි.

වැලි නිර්මාණ මෙන්ම සරුංගල් මාත්තු දැමීම නමින් හඳුන්වන තවත් සරුංගලයක් මඟින් සරුංගලයක් කපා දැමීමේ ප්‍රහාරාත්මක සරුංගල් තරගයද මෙදින පැවැත්වෙයි. මෙදින ප්‍රංශය, චිනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවලින් සරුංගල් රැගෙන පැමිණෙන්නේ මීගමු වෙරළ තීරයේදි පැවැත්වෙන සරුංගල් සැණකෙළිය විචිත්‍රවත් කරන්නටය. මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු එකතු වී සරුංගල් පා ගමනක් යන්නේ ද මත්ද්‍රව්‍ය නිවාරණය පිටු දකිමිනි. කයිට්ස් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ප්‍රසන්න අටළුගම, ලේකම් තේජිත සෞභාග්‍ය එදිරිසිංහ, උප සභාපති මිල්ටන් පීරිස්, පරිසර සංවිධායිකා ශිරෝමි සමරකෝන් යන පිරිස් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය හා සංස්කෘතික අමාත්‍යංශය එක්ව මේ සැරසෙන්නේ නිල් අහසේ වසන්තය උදාකරන්නටය. නැතිනම් පාසල් දරුවන්ගේ සුන්දර නිවාඩු කාලය නිදහසේ උඩුගුවනේ පාකර හරින්නටය.

විස්තර හා ඡායාරූප - ‘කයිට්ස් ශ්‍රී ලංකා‘ ආයතනය 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.