සහකරුවා ද? හාම්පුතා ද?

අප තුළට මුල් ඇදුණ, මුල් ඇදී ඝනීභූත වුණ ඇතැම් අදහස්-උදහස්-මතවාද තේරුම් ගැනීමටත් ඒ ඔස්සේ අප තුළ කිසියම් විප්ලවීය පරිවර්තනයක් සිදු කරගැනීමටත් අවකාශයක්-රික්තයක් නිර්මාණය වී ඇති බව පිළිගතමනා ය. ඒ, දැන් අප ජීවත් වන්නේ පුද්ගල ස්වභාවයනට අනුව රාමු සකස් කරගත යුතු කාලයක වන නිසා ය. මෙහිදී කළ යුතු වන්නේ ඉතිහාසය නිර්මාණය කරදුන් රාමුවලට අනුව පුද්ගලයන් කපා-කොටා සකස් කිරීමට වඩා වෙනස් වූ කාර්යයකි. ‘පිරිමියා ගැහැනියට වඩා උසස් ය’ යන පොදු මතයක් බොහෝ සමාජ තුළ මුල් බැස තිබේ. ගෘහමූලික ලැයිස්තුවේ මුලින් ම ලියැවෙන්නේ පිරිමි නාමයකි. නිශ්චල-චංචල දේපළ පිළිබඳ ඔප්පු-තිරප්පු බොහොමයක පොල්මඃකාර උරුමක්කරුවා ලෙස ලේඛනගතවී ඇති නාමය පිරිමිය. තීන්දු-තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ද පිරිමින්ට, ගැහැනුන්ට වැඩි පාලන බලයක් හිමි ව තිබේ. බොහෝ සාමාජීය සංස්ථා පවතින්නේ පිරිමින්ගේ ආධිපත්‍යය යටතේ ය. ආගමික වශයෙන් ද මීට වැඩි වෙනසක් නොවේ. ශාස්තෲවරුන් මිස ශාස්තෲවරියන් ගැන අපට අසන්නට ලැබෙන්නේ ම නැති තරම් ය. පාප්වහන්සේලා-දලයිලාමා ලා පුරුෂයෝ ම මිස ස්ත්‍රීහු නොවෙති.

මේ අසමානත්වය ගෝලීය ප්‍රපංචයක් ලෙස නිර්මාණය වී ඇත්තේ කෙසේ ද? සැබැවින් ම ගැහැනියගේ මාර්ගෝපදේශකයා විය යුත්තේ පිරිමියා ද? මේ ආදී ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විද්වත් හා දාර්ශනික චින්තාවක් පළ කර ඇති ස්ත්‍රී-පුරුෂ දෙදෙනකුගේ අවධාරණයන් කරළියට ගෙන ඒමට මෙහිදී අදහස් කරමු. ඒ අනුව මේ ලිපිය සැකසෙන්නේ සුප්‍රකට ස්ත්‍රීපුරුෂ සමාජභාවී පුහුණුකාරියක වන කම්ලා භාසින්ගේ අදහස් සහ මෑතකාලීන ඉන්දීය චින්තකයකු ලෙස ප්‍රකට භගවාන් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) ගේ අදහස් ඇසුරෙනි. මෙහිදී අප සාකච්ඡාවට බඳුන් කරන්නේ ‘ඕෂෝ සංවාද-ගැහැනු මනුස්සයා’ නමින් ජෝ. සෙනෙවිරත්න සිංහලට නැගූ කෘතිය හා ‘සමාජ විද්‍යාඥයින්ගේ සංගමය මගින් ‘පිරිමිකම ගැන විමසුමක්’ මැයෙන් ප්‍රකාශයට පත් කර

ඇති කෘතියේ අවධාරණයන් ය. (මෙහි අනුවාදක ඒ. වක්කුඹුරයි) නව ගැහැනියට, නව වේදිකාවක් නිර්මාණය කිරීමට නම් නව පුරුෂයකු ඒ කරළිය මතට කැඳවීම අත්‍යාවශ්‍ය ය. යුක්තිය, සාධාරණය, සමානාත්මතාව වැනි මානවීය හරපද්ධතීන් වර්ධනය කරමින් නව ලොවක් ගොඩනැංවීම සඳහා මුලින් ම කළ යුතු වන්නේ බලයට හා ආධිපත්‍යයට ඇති කැමැත්ත නැතහොත් කෑදරකම තුරන් කිරීම වන බව ය, මේ දෙදෙනාගේම පොදු අදහස වන්නේ. මෙහිදී ස්ත්‍රීපුරුෂභාවයේ ස්වාභාවික තත්ත්වයන් මෙන් ම ඊට ආරූඪ කර ඇති (ලබා දී ඇති) තත්ත්වයන් ද විමසීමකට බඳුන් වෙයි. පහත සඳහන් අයුරින් කම්ලා භාසින් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රීපුරුෂ සමාජභාවි වැඩමු'ඵවලදී තම තමන්ගේ ප්‍රජාවන් තුළ ස්ත්‍රී හෝ පුරුෂ ගතිගුණ මොනවා දැයි ප්‍රශ්න කෙරෙන අභ්‍යාසයකට ලැබුණ පිළිතුරු ලැයිස්තුවේ අඩංගු කරුණු කිහිපයකි.

(පිරිමිකම ගැන විමසුමක් - කම්ලා භාසින් - 27 පිටුව - සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රකාශනයකි)

ඊළඟ ප්‍රශ්නය නම් ඉහළ පැළැන්තිය හා කම්කරු පංතිය, නාගරික හා ග්‍රාමීය මට්ටම, පළමුවැනි ලෝකය හා තුන්වැනි ලෝකය ආදී ලෙස යුගල වශයෙන් පිරිමි හා ගැහැනු වර්ගීකරණය කළහොත් කුමක් එළිදරවු වේ ද යන්න ය. නිසැකයෙන් ම එහිදී පිරිමි ගුණාංග බෙදී යනු ඇත්තේ ඉහළ පැළැන්තියට, නාගරික පැළැන්තියට හෝ පළමුවැනි ලෝකයටයි. ගැහැනු ගති ලක්ෂණ කෙළින් ම සම්බන්ධ වන්නේ කම්කරු පන්තියට, ග්‍රාමීය මට්ටමට හා තුන්වන ලෝකයටයි. මේ අභ්‍යාසයෙන් සනාථ වන ප්‍රබල සත්‍යය වන්නේ පුරුෂ හා ස්ත්‍රී ලක්ෂණ ආරූඪ කර ඇත්තේ ‘බලය ඇති’ හා ‘බලය නැති’ වශයෙන් බෙදීමේ පදනමක් මත වන බවයි.

ඉතිහාසය බොහෝ විට වීරයන් බවට පත් කර ඇත්තේ ආක්‍රමණකාරී, ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් ය. මහා ලේවැගිරීම් සිදු කළ මහා ඇලෙක්සැන්ඩර් වැනි මහා අධිරාජ්‍යයන් අපි වීරයන් ලෙස හඳුනා සිටිමු. සැමවිට ම අප වීරත්වය පුදා ඇත්තේ ආක්‍රමණකාරිත්වයට හා ප්‍රචණ්ඩත්වයට ය. බොහෝ

ආගම්, සංවිධාන, ජනමාධ්‍ය විසින් ද වෙළෙඳ දැන්වීම් ඔස්සේ ද මේ පිළිබඳ සංඥා සපයා දී තිබේ. වෙළෙඳ භාණ්ඩ සඳහා වෙළෙඳ නාම යොදාගැනීමේදී ද එසේ පුරුෂ ශක්තිය සංකේතවත් කෙරෙන ආකාරය කම්ලා භාසින් පෙන්වා දෙයි. ‘වෙඩි උණ්ඩය’ වෙළෙඳ ලකුණ සහිත යතුරු පැදි මෙන් ම ‘කිඹුලා’ සංකේතය සහිත ටී ෂර්ට් ද වෙළෙඳපොළට එන්නේ ඒ අනුව ය. බීරපානය කරන විට සිංහයෙක් සේ පෙනෙයි. ‘නියම පිරිමින්’ ලෙස විරාජමාන වන්නේ සිගරට් බොන පුරුෂයන් ය.

පුද්ගලභාවය නම් වූ පූජනීය පෙදෙස ආක්‍රමණය කිරීමට තැත්කරන්නා හඳුනාගත යුතු වන්නේ සොරකු, දාමරිකයකු හෝ ත්‍රස්තවාදියකු ලෙස ය. ඒ, පුද්ගල නිදහස, ස්වාධීනත්වය නැතහොත් ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම යනු සාපරාධී ක්‍රියාවක් ම වන නිසා ය. ‘සහකාරිය’

ලෙස හැඳින්වෙන ගැහැනිය, බිරිය සැමවිට ම අපේක්ෂා කරන්නේ ජීවිතයේ සියලු අවස්ථාවලදී තමා සමඟ සහයෝගයෙන් කටයුතු කරන සහකරුවෙකි. එහෙත් විවාහයේදී බොහෝ ස්ත්‍රීන් අතගන්නේ සහකරුවන්ගේ නොව හාම්පුතුන්ගේ ය. පාලකයන්ගේ ය.

භගවාන් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) අදාළ ස්වභාවයන් හඳුනාගන්නා ආකාරයේ ද මීට සමානකමක් තිබේ. ස්ත්‍රියක් වීම සහ පුරුෂයෙක් වීම යන්නෙහි අර්ථය සාරාංශගත කළොත්? යනුවෙන් වරක් නැගුණු ප්‍රශ්නයකට ඕෂෝ සපයා ඇති පිළිතුර මෙවැනි ය.

ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක් වීම පිළිබඳ ප්‍රශ්නය කායික විද්‍යාවට වඩා

මනෝවිද්‍යාවට සම්බන්ධයි. කෙනෙක් කායික විද්‍යාව අනුව ස්ත්‍රියක් වෙන්න

පුළුවන් මනෝවිද්‍යාත්මකව ස්ත්‍රියක් නොවී... විද්‍යාව පුරුෂයි. ආගම ස්ත්‍රී. විද්‍යාව සොබාදහම විජයග්‍රහණය කිරීමේ වෑයමක්: ආගම...? ආගම යන්න අරිනව... කෙනෙක් සොබාදහම සමඟ මිත්‍රවෙන්න දියවෙන්න ඉඩ හරිනවා.ස්ත්‍රිත්වයේ මනෝවිද්‍යාව වටහා ගන්න නම් ආගමික ශ්‍රද්ධාවේ මනෝවිද්‍යාව

අවබෝධ කරගන්න ඕන. ඒ සඳහා මෙතෙක් කිසිම උත්සාහයක් දරලා නැහැ.මනෝවිද්‍යාව කියා හඳුන්වන මොනව හරි තියෙනව නම් ඒක පුරුෂමනෝවිද්‍යාවක්. ඒකයි ඒ උදවිය මීයන් අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. මීයන් මගින් ඒ අය මිනිසා ගැන නිගමනවලට එනවා. ... ඔබේ මොළයේ මස්ත්‍රිෂ්කය අර්ධගෝල දෙකකට බෙදිලා, දකුණු අර්ධගෝලය ප්‍රතිභාසම්පන්නයි. අතාර්තිකයි. හේතුඵල රහිතයි. රොමැන්ටික්. මිථ්‍යාවන්ට ප්‍රියයි. ආගමික ශ්‍රද්ධාවෙන් යුක්තයි. වම් අර්ධගෝලය ඉතා තාර්කිකයි. හේතුඵලවාදියි. ගණිතමයයි.

(ගැහැනු මනුස්සයා - පරිවර්තනය: ජෝ. සෙනෙවිරත්න - 191-192 පිටු)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ජීවවිද්‍යාත්මක නොවූ මානව විද්‍යාත්මක හා සංස්කෘතික මූලයන්ගෙන් හටගැනුණකිය යන කම්ලා භාසින්ගේ අවධාරණය ඕෂෝගේ යථොක්ත අදහසින් සනාථ වෙයි.

කම්ලා භාසින්ගේ අත්දැකීම්වලට අනුව ගැහැනිය ගොදුරක් බවට පත්වන්නේ හෙජමොනික පිරිමිකමෙහි ය. හෙජමොනික යන්නෙන් අදහස් වන්නේ සියල්ල කෙරෙහි බල පවත්වන නායකත්වය නැතහොත් ආධිපත්‍යයයි. මේ ආධිපත්‍යය සමඟ ගැහැනියගේ ආදරය හුවමාරු වන ආකාරය ඕෂෝ දකින්නේ මෙසේ ය.

‘පිරිමියාට ජීවිතය විශාල දෙයක්. ආදරය ඒකේ සු'ඵ කොටසක්. ඔහු ආදරය මුදලට පුද දෙන්න සමත්. බලයට, ප්‍රසිද්ධියට, ඕනෑම දෙයකට ඔහුට ආදරය පරිත්‍යාග කරන්න පු'ඵවන්. ගැහැනියට ආදරය කියන්නේ එහෙම ඕනෑම දෙයකට පරිත්‍යාග කළ හැකි දෙයක් නොවෙයි. ඇයට ඇති හැම දෙයක්ම ආදරයට යටයි.’

(ගැහැනු මනුස්සයා - පරිවර්තනය: ජෝ. සෙනෙවිරත්න - 207 පිටුව)

දැන් මේ සියල්ලෙන් පෙනීයන්නේ ස්ත්‍රියට හා පුරුෂයාට ආවේණික තත්ත්වයන් හෝ ඒ විවිධත්වය ඉවත් කළ යුතු බවක් හෝ නොතකා හැරිය යුතු බවක් නොවේ. කම්ලා භාසින් විරෝධය පළ කළ යුතු යැයි කියා සිටින්නේ එක ම මනුෂ්‍ය වර්ගයා ස්ත්‍රිය හා පුරුෂයා වශයෙන් වර්ගීකරණය කිරීමට නොව ඒ හා සමඟින් බිහිවූ ධූරාවලියට ය. වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ දඩබිම තුළ පිරිමියා දඩයක්කරුවා බවටත් ගැහැනිය ගොදුර බවටත් පත්වීම නොසිදුවිය යුත්තකි යි කියා ය. පුරුෂයාගේ කායික සන්තර්පණය සඳහා ද ස්ත්‍රිය මෙවලමක් බවට පත්වන අයුරු ඇය පෙන්වා දෙන්නේ අපූරු නිදසුනකිනි.

නවදිල්ලියේ මුඩුක්කු ගෙයකට ගොඩවැදුණු එක් සමාජ සේවිකාවක් මුඩුක්කුවාසී ගෘහණියගෙන් ප්‍රශ්න කර ඇත්තේ ‘සැමියා සමඟ මෛථුන කාර්යයේ යෙදීමේදී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකිරීමට කවදා හෝ ඔබට අවස්ථාව සැලසී ඇද්දැයි කියා ය. මුඩුක්කු ගැහැනිය ඊට පිළිතුරු දී ඇත්තේ ද ප්‍රශ්නයකිනි. ඒ ප්‍රශ්නයේ ගැබ්වුණ සාහිත්‍යයික උපමාව මෙවැනි ය.

‘පාන් කෑල්ලක් කවදාවත් මාව කාපන් කියලා කියනව ද?’

මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ තත්ත්වය වෙනස් විය යුතු බව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට හැඟෙයි. එවැනි ප්‍රයත්නයක් සාර්ථකත්වය කරා ගෙන ඒමට අත්‍යාවශ්‍ය වන්නේ පුරුෂයාගේ දායකත්වය ය. ගැහැනිය සහ පිරිමියා අතරේ තුලනයක් ඇති කිරීමට ඓතිහාසිකව දායක වී ඇත්තේ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ය. මහත්මා ගාන්ධි ද එවැන්නෙකි. මේ වෙනස්වීම සඳහා

අත්‍යාවශ්‍ය වන්නේ හීනමානයෙන් නිදහස් වීම ය. මහත්මා ගාන්ධි යනු සිය ජීවිත කාලය තුළ ස්ත්‍රී වගකීම්, මාතෘ වගකීම් හා සමාජ මෙහෙවර අතරේ තුලනයක් ඇතිකරගැනීමට නිරන්තරව සූදානම් වූවෙකි. ඔහු සිය බිරිඳට උපස්ථාන කළේ ආශ්‍රමයේ වැසිකිලි පිරිසිදු කිරීමටත්, කපු කැටීමටත් යොමුවන අතරේම ය. මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාට ඒ කිසිවක් ‘ගැහැනු වැඩ’ වූයේ නැත.

ලෝකය වෙනස් කළ හැක්කේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. ‘සංහිඳියාව’, ‘සමානාත්මතාව’ වැනි වදන්වලට අරුතක් එක් වන්නේ ප්‍රායෝගික මට්ටමේදී ය. ගෝලීය සංස්කෘතික විප්ලවයක් සිදුවන්නේ ද ඒ හරහා ය.

කැත්ලීන් ජයවර්ධන

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.