දිස්ත්‍රික්ක තුනකට අඩු නැතිව ජලය දෙන මල්වතු ඔය ව්‍යාපෘතිය | සිළුමිණ

දිස්ත්‍රික්ක තුනකට අඩු නැතිව ජලය දෙන මල්වතු ඔය ව්‍යාපෘතිය

 අපේ රටේ විවිධ ප්‍රදේශවල නියඟයන් තිබුණත් ගංගාවලින් අතිවිශාල ජල ප්‍රමාණයක් කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා යයි. මෙරට දෙවැනි විශාලම ගංගා දෝණිය වන මල්වතු ඔය මඟින් ද වසරකට ඝන මීටර් දසලක්ෂ 568ක ජල ධාරිතාවක් මහ මුහුදට ගලා යයි. මේ ප්‍රමාණය මල්වතු ඔයට ලැබෙන ජලයෙන් සියයට 75ක් පමණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එලෙස කිසිම වැඩක් නොගෙන මහ මුහුදට ගලා ගිය ජලය මඟින් ජලය නැති අනුරාධපුරය, මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ලක්ෂ දෙකක පමණ ජනතාවගේ පිපාසය හා බඩගින්න සමනය කරන පහළ මල්වතු ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම ලබන 24 වැනිදා තන්තිරිමලේදී සිදු කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතාගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම ඇතිව වාරිමාර්ග රාජ්‍ය ඇමැති රංග බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉංජිනේරුවරයකු වන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ක්‍රම කළමනාකරණ ඉංජිනේරු ටී. පී. අල්විස් මහතා මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

විජය රජුගේ ශ්‍රී ලංකා ආගමනයත් සමඟ අතීතයේදී හැඳින්වූ කදම්බ නදිය ලෙස ද පසුව අරවිආරු ලෙසටද වර්තමානයේදී හඳුන්වන මල්වතු ඔය දෙපස ජනාවාස බිහි විය. ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ආරම්භය මෙය වන අතර පසු කාලයේදී ජනාවාස ව්‍යාප්ත වීමත් සමඟ මල්වතු ඔය දෙපස කෘෂිකාර්මික කලාපයක් බවට පත් විය. මල්වතු ඔය දෝණිය දිගින් කිලෝමීටර් 162 කි. එහි ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3246 කි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති එකම ශේෂ කඳුවැටිය ලෙස සැලැකෙන රිටිගල කඳුවැටියේ බටහිර බෑවුමෙන් ආරම්භ වන මල්වතු ඔය ගංගා ද්‍රෝණිය ඊසානදිග මෝසම් වැසිවලින් පෝෂණය ලබයි. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි. 1400ක් පමණ වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 766ක් උසින් ආරම්භ වන මල්වතු ඔය ගංගා ද්‍රෝණිය මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පු ධීවර ගම්මානය අසලින් මහ මුහුද හා එක් වේ. මල්වතු ඔය ආරම්භ වන්නේ රිටිගල, වැද්දාකන්ද හා ඉනාමළුව යන කඳුවලිනි. රිටිගල, වැද්දාකන්ද හා ඉනාමළුව යන කඳුවල උපරීම උස මුහුදු මට්ටමේ සිට පිළිවෙළින් මීටර් 766, මීටර් 255 හා මීටර් 383 වේ. මල්වතු ඔය ගංගා ද්‍රෝණිය තුළ පරිහරණයට ගන්නා කුඩා හා මධ්‍ය පරිමාණ වැව් විශාල ප්‍රමාණයක් ඇති අතර නාච්චාදූව, නුවර වැව, තිසා වැව, මහකනදරාව වැව, අකතිමුරුප්පු වැව හා යෝධ වැව මින් ප්‍රධාන තැනක් ගනී.

මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව මුල්ම කතාබහ ඇතිවන්නේ 1960 දශකයේදී ය. එවකට පැවැති රජය හා සබැඳි සෝවියට් සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකා රජය විසින් මේ සඳහා මුල්ම පිඹුරුපත් සැකසූ අතර සෝවියට් ‍රජය විසින් මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඝන මීටර් මිලියන (MCM) 348ක ධාරිතාවයකින් යුත් ජලාශයක් යෝජනා කර ඇත. නමුත් අවාසනාවකට එම සියලු සැලසුම් කාලයත් සමඟ අභාවයට ගොස් ඇත. තන්තිරිමලය පුදබිම සහ අවට ගම්මානවල නිර්මාතෘවරයා වන අපවත් වී වදාළ මහකෝන්ගස්කඩ විමලඥාන හිමියන්ගේ ප්‍රධානතම ඉලක්කය වූයේ මල්වතු ඔය හරස්කර ජලාශයක් ඉදිකර උස්සාන වාරිමාර්ගයක් ඉදිකර තන්තිරිමලය අවට ගම්මාන කෘෂිකාර්මික ජනාවාසයක් ඉවට පත්කිරීමය. වසර ගණනාවක් තිස්සේ ඉටු නොවුණු මේ සිහින ජලාශය වත්මන් රජය ඉක්මනින් ඉදිකිරීමට දැන් සියලු කටයුතු සූදානම් කර ඇත.

මල්වතු ඔයේ ගංගා ද්‍රෝණිය මෙරට දෙවැනි විශාලතම ගංගා ද්‍රෝණියයි. එහි පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3246 කි. අනුරාධපුර වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල මල්වතු ඔයේ ජල පෝෂක ප්‍රදේශ පිහිටා තිබේ. යෝජිත පහළ මල්වතු ඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතියේදී මුලින්ම සිදු කරන්නේ මල්වතු ඔය හරහා තන්තිරිමලේ බොගොඩදී වේල්ලක් ඉදිකර මහ ජලාශයක් ඉදිකිරීමයි. මේ සඳහා ඇස්තමේන්තු මුළු වියදම රුපියල් දසලක්ෂ 12300 කි.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ටී. පී. ද අල්විස් මහතා පවසන පරිදි මෙම මල්වතු ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල පස් පිරවුමක් ලෙස කිලෝමීටර් 3.6ක් දිගට ඉදි කෙරේ. මුදුණත පළල මීටර් 6ක් වන අතර උපරීම උස මීටර් 22.22ක් වේ. මේ වේල්ල ඉදිකිරීම මඟින් ඉදිවන තන්තිරිමලේ මල්වතු ඔය ජලාශයේ වපසරිය අක්කර අඩි 169440 කි. මෙහි බැම්මේ ඉහළ මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 58.52 කි. ගංවතුර මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 54.8කි. මෙහි ජලාශයේ වාන පූර්ණ ගේට්ටු 10 කින් යුක්තව ඉදිකරන අතර ගේට්ටුවක උස අඩි 25 කි. පළල අඩි 25 කි. මෙහි වම් සොරොව්ව වැර ගැන්වූ කොන්ක්‍රීට්වලින් ඉදිකරනු ලැබේ. එය එක් සොරොව් මඟක් සහිත කුලුනක් වේ. දකුණු සොරොව්ව ද එසේ ඉදිකරන අතර මේ දෙකෙන්ම තත්පරයකට ඝන අඩි 35ක් බැගින් ජල ධාරිතාවක් නිකුත් කළ හැකිය. ජලාශයෙන් ගඟට යොමු කරන පිටවාන වම් ඉවුරේ ඉදිකරන අතර එමඟින් වසරේ දින 365 පුරා තත්පරයකට ඝන අඩි 636ක ජල ධාරිතාවක් පහළට යවනු ලබන බව ද අල්විස් මහතා පවසයි. ඒ අනුව මල්වතු ඔය ජලාශයේ තන්තිරිමලේ ඉදිකළත් ඔයේ පහළ ප්‍රදේශවල ජනතාවට හා වන ජීවින්ට ජල හිඟයක් ඇති නොවේ. වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා පවසන පරිදි, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ යෝධ වැව හා අකිතමුරුප්පු වැව යටතේ පවතින ඉඩම් අක්කර 30680 යල මහ අස්වැද්දීමට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමයි. ඊට අමතරව නව වාරි පහසුකම් යටතේ අක්කර 2000ක් අස්වැද්දීමද සිදු කෙරෙන බව ඇමැතිවරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දැක්වූ වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ මේ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක සඳහා පානීය හා ගෘහස්ථ ජලය නොඅඩුව ලබාදිය හැකි බවයි. මේ ප්‍රදේශයේ ප්‍රධානම ගැටලුව පිරිසුදු පානීය ජලය නැතිකමයි.

ඊට අමතරව මල්වතු ඔය පහළ ද්‍රෝණියේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය කිරීමත් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම වකුගඩු රෝගය වැලැඳීම් වැළැක්වීමත් මෙම ව්‍යාපෘතියේ අනික් අරමුණු අතර වන බව පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා පවසයි. නව ව්‍යාපෘතිය මඟින් වසරකට ඝන මීටර් මිලියන 5ක් පානීය ජලය ලෙස ලබා දෙනු ඇත. ඊට අමතරව ගිගා වොට් පැය 4.68ක වාර්ෂික බලශක්ති උත්පාදනයක් ද මෙම ව්‍යාපෘතිය මඟින් ඇති කෙරේ.

තන්තිරිමලය අවට ගම්මානවලට තර්ජනයක්ව පවතින වන අලි-මිනිස් ගැටලුවට මූලික වී ඇත්තේ තන්තිරිමලයට උතුරින් ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති බහුතරයක් කුඩා වැව් නෂ්ටාවශේෂ බවට පත්ව තිබීමය. වන සතුනට කෙතරම් ආහාර පැවැතිය ද දිය සොයා වන අලින් ගම් වැදීම නිසා නිරන්තරවම අලි මිනිස් ගැටුම් වාර්තා වේ. මීට ස්ථිර පිළියමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය මඟින් වන අලින් සඳහා විල්පත්තු අභය භූමියේ සහ විල්ලු ප්‍රදේශයේ ඇති වැව් 15කට ආසන්න සංඛ්‍යාවක් නවීකරණය කර ඇළවල් මඟින් පෝෂණය කිරිමට ද නියමිතය.

දැනට අතිශය ශුෂ්ක දේශගුණයක් සහිත තන්තිරිමලය ආශ්‍රිත ගම්මාන මෙම ව්‍යාපෘතියත් සමඟ විශාල වෙනසක් සහිත සුවදායි පරිසරයක් මෙන්ම ජාතික වනෝද්‍යානයට වසර පුරා මල්වතු ඔයේ ජලය ගලා යන වනාන්තරයක් බවට පත් වේ. මෙමඟින් සතා සීපාවාට මෙන්ම පරිසරයේ සමතුලිතතාව වර්ධනයට ජලාශ ව්‍යාපෘතිය විශාල වශයෙන් ඉවහල් වේ.

ජලාශ ව්‍යාපෘතිය ඉදිවීමත් සමඟ උතුරුමැද පළාතේ විශාලතම මිරිදිය මත්ස්‍ය ජලාශය මල්වතු ඔය ජලාශය බවට පත්වන අතර මේ හේතුවෙන් වර්තමානයේ දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින තන්තිරිමලය අවට ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනයට ව්‍යාපෘතිය ඉමහත් රුකුලක් වනු ඇත. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ තන්තිරිමලේ ප්‍රදේශයේ නව ඉසව්වක් සංචාරකයන්ට දැකබලා ගැනීමට හැකිවීමත් සමඟම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව ඉසව්වකට යොමුවීමේ ඉහළම ප්‍රවණතාවක් ව්‍යාපෘතියත් සමඟ ඇති වේ. මේ සමඟම මෙතෙක් කලක් සමාජයෙන් හුදකලා වී සිටි විශාල පිරිසකට නව රැකියා අවස්ථා මෙන්ම ප්‍රතිලාභ රැසක්ද මින් හිමි වේ.

ජලාශ ව්‍යාපෘතියේ පහළ නිම්නයේ පිහිටා ඇති මන්නාරම සහල් නැලිය (Rice Bowl) ලෙස විරුදාවලිය ලත් යෝධ වැව යටතේ ඇති කුඹුරු නියත වශයෙන්ම දෙකන්නයක් වගා කිරීම සඳහා ඍජුවම ව්‍යාපෘතිය මඟින් විශාල පිටිවහලක් වනු ඇත. මෙරට අක්කරයකින් ලබා ගන්නා වැඩිම අස්වැන්නට හිමිකම් කියන සහල් නැලියේ ගොවීන් හට සාරවත් පොළොවකට හිමිකම් පෑව ද වසරකට වරක් මාස් කන්නය අස්වැද්දීමට හැරෙන්නට ඔවුනට වෙනත් වගාවක් සඳහා ජලය නොමැති වීම හේතුවෙන් විවිධ සමාජයීය ආර්ථික ගැටලු රැසකට ද මුහුණදීමට සිදුව තිබේ.

සෑම වසරකම මාස් කන්නය අවසන් වීමත් සමඟ සහල් නැලියේ බහුතර ගොවීහු නුදුරේ ඇති සිලාවතුර හා අරිප්පු ධීවර ගම්මාන වෙත ගොස් කම්කරුවන් ලෙස කටයුතු කරති. ඔවුන් සැමදාම පවසන්නේ අපට ඉඩම් ඇතත් ජලය රඳවා ගැනීමට ජලාශයක් නොමැති වීම විශාලතම ගැටලුවක් බවය. යෝධ වැව මහ කන්නයේ කීප වරක් ජලයෙන් පුරවා ගත හැකි වුවත් යල කන්නයේ ජලයෙන් පිරවීම අතිශය දුෂ්කර බව ඔව්හු පවසති.

යෝධ වැව යටතේ අක්කර තිස්දහසක වගා වපසරියකට හිමිකම් කියන සහල් නැලියේ ගොවීන් සැබැවින්ම ශක්තිමත් පිරිසකි. වසර හැටකට අධික කාලයක සිට ඔවුන්ගේ එකම ඉල්ලීම වී ඇත්තේ මල්වතු ඔය හරස්කර ජලාශයක් ඉදිකර දෙකන්නය වගා කිරීමට හැකි අයුරින් අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසය. මල්වතු ඔයේ හරහා ඉදිකර ඇති නාච්චදූව ජලාශයෙන්, ජලය හිඟ කාලවලදී යෝධ වැවට ජලය නිකුත් කිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන් වාර්ෂිකව අනුරාධපුර පොසොන් උත්සව සමයේදී වාරිමාර්ග දන්සල සඳහා වියළි කරවල පරිත්‍යාග කිරීමට තරම් ඔවුන් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ජාතීන් අතර ඇති සහජීවනයයි. සහල් නැලියේ අනිත් ප්‍රධාන ජලාශය වන අකිතමුරුප්පු වැව යටතේ අක්කර හයදහස් දෙසීය තිහක් වගා කටයුතු කෙරේ. වර්තමානයේදීත් මාස් කන්නය ඉතාම සාර්ථකව වගා කරන අකතිපුරුප්පු ගොවීන්ගේ ද ඉල්ලීම වන්නේ කන්න දෙකක් වගා කිරීමට අවශ්‍ය ජලය ලබා දෙන ලෙසය. මේ සඳහා ඔවුන්ගේ ද යෝජනාව වී ඇත්තේ මල්වතු ඔය ජලාශය පිළිබඳ සිහිනයයි. මේ සිහින සියල්ල වත්මන් රජයේ වාරි වැඩපිළිවෙළ යටතේ සැබෑ වෙමින් පවතී.

මේ මල්වතු ඔය ව්‍යාපෘතිය විලච්චිය තන්තිරිමලේ යෝධ වැව ආදි ප්‍රදේශවල සිංහල දෙමළ මුස්ලිම් ගොවි ජනතාවගේ කාලයක් තිස්සේ පැවැති ලොකු බලාපොරොත්තුවකි. එය අද සැබෑ කරමින් පවතින්නේ වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේය. මේ පිළිබඳව තම බලවත් ප්‍රසාදය පළ කරන බව උතුරුමැද, උතුරු දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝ පවසති. මෙය තම ගුරු නායක හිමියන් හා තමන් වහන්සේ වසර ගණනාවක් විවිධ රජයන් ගණනාවකගෙන් කළ ඉල්ලීමක් ඉටුවූ අවස්ථාවක් බව ද උන්වහන්සේ පවසති. “මේ පැත්තේ ජල හිඟයට ලොකු විසඳුමක් මේ ව්‍යාපෘතිය. අපේ දායක ගොවි ජනතාවට යල මහ කෙත් වතු අස්වද්දන්නට මේකෙන් ජලය ලැබෙනවා. බොන්න පිරිසුදු ජලය ලැබෙනවා. අපට ලොකු සතුටක්.” උන්වහන්සේ පැවැසූහ. ප්‍රදේශයේ වනාන්තර හා වනජීවි රක්ෂිත වැඩිදියුණු කිරීමත්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමත් ගංවතුර පාලනයක් මේ නව ව්‍යාපෘතිය මඟින් සිදුවන බවත් මේ ව්‍යාපෘතිය ජනතාව වසර 50 - 60 ක් තිස්සේ අපේක්ෂා කළ ව්‍යාපෘතියක් බවත් තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණෝ අප සමඟ පැවැසූහ. මෙම ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර, වවුනියාව, මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ කෘෂිකාර්මික, වාරිමාර්ග, ආර්ථික, සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රබල ප්‍රවර්ධනයක් ඇතිවන බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂ අල්විස් මහතා පවසයි. විශේෂයෙන් මල්වතු ඔය නව ජලාශයේ මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය හා අස්වැන්න ප්‍රවර්ධනය මඟින් ප්‍රදේශයේ ජනතාවගේ අතමිට සරු කිරීමට මෙම ව්‍යාපෘතිය ඉමහත් පිටුබලයක් වනු ඇත.

දිස්ත්‍රික්ක තුනක උග්‍ර ජල හිඟයට පිළියම් ලබා දෙන ප්‍රදේශයේ සංවර්ධනයට නව මංපෙත් හෙළි කරන නව ව්‍යාපෘතිය අපේ රටටම සෙතකි. රටේම වී අස්වැන්න නිරෝගීකම හා බලශක්ති උත්පාදනය වැඩි කරන මේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතුවලට කාගේත් සහාය ලැබීම කාලීන අවශ්‍යතාවකි.

නිහාල් පී. අබේසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.