වසර 35 කට පසු ගෙදර ගිහින් | සිළුමිණ

වසර 35 කට පසු ගෙදර ගිහින්

 තංගරාජ් අකුරු කරන්න ගියේ පොල් අතු හෙවිල්ලපු ඉස්කෝලෙකට ඒත් ඒ ඉස්කෝලෙත් හරි හමන් අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් වෙච්ච තැනක් නෙමෙයි. ඒ පාසලේ අධ්‍යාපනයේ ඉහළ මට්ටමක්වත් තිබුණේවත් හොඳ පාසලකට ගිහින් ඉගෙන ගන්න හැකියාවක් තංගරාජ් ට තිබුණේවත් නැහැ. කන්ද උඩරට හැටන් වතුයායක හතර වටින්ම කඳුවලින් වටවෙච්ච ඒ ඉස්කෝලෙ ළමයි ආවේ ඉඳල හිටල සමහර දවස්වල ළමයි උදේ 10.00ටත් ඉස්කෝලෙ එනවා. තංගරාජ්ටත් දවල්වෙලා එන පුරුද්ද ඇබ්බැහි වුණා. ඒ අනිත් ළමයිගේ ඇසුර නිසාමයි.

අධ්‍යාපනය අතර මඟ නැවතුණු ගොඩක් අය කළේ තේ වත්තෙ දළු කඩන්න යන එකයි. එහෙම නැත්නම් තේ ෆැක්ටෙරියෙ වැඩට යන එකයි. ඒත් තංගරාජ්ට ඒකත් ඒ තරම් ඇගට ඇල්ලුවේ නැහැ. එයා මේසන් වැඩට බැස්ස. වතුකරයේ ඉතින් ලොකුවට මේසන් වැඩට ඉල්ලුමක් තිබුණෙ නෑ. මේ නිසා තංගරාජ් ලංකාවේ හැම තැනම ගියා මේසන් වැඩ හොයාගෙන. මීට අවුරුදු 35කට විතර කලින් තංගරාජ් යාපනයේ මේසන් වැඩට ගියේ මාස ගණනාවක නිවාස වැඩ කටයුතු ලැබුණු නිසයි.

තංගරාජ්ගේ අනාගත සහකාරිය හම්බවුණේ එහෙදි. එයා යාපනයෙන් විවාහ වුණා. ඒකට හැටන් පැත්තෙ අයනම් ඒ තරම් කැමැති වුණේ නැහැ. මොකද තංගරාජ්ගෙන් වෙන් වෙන්න ඒ අය කැමැති වුණේ නැහැ. තංගරාජ් යාපනයේ ම නතර වුණා. ඒ ජීවිතේ තංගරාජ්ට අලුත් ලෝකයක් වුණා. ලැයින් කාමරවල හිරවෙලා හිටපු තංගරාජ්ට ඒ ලෝකය සුර ලොවක් වුණා.

ඒත් ඒ සුර ලෝකය අසුර ලෝකයක් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ත්‍රස්තවාදීන් උතුරේ යුද්ධයක් ආරම්භ කළා. මේ නිසා තංගරාජ්ටත් ඒ යුද්ධයට මැදිවෙන්න සිද්ධ වුණා. තංගරාජ්ලටත් උන් හිටි තැන් අයහිමි වුණා. උතුරේ බොහොමයක් අය වගේම තංගරාජ්ටත් පවුල පිටින්ම අනාථ කඳවුරක ළඟින්න සිදු වුණා. එයා අවුරුදු 27ක්ම මේ අනාථ කඳවුරේ හිටියෙ දරුවොත් එක්ක. දරුවො තුන් දෙනාගෙන් එක් අයෙක් කොහොම හරි හැටන්වලට පිටත් කරා. තවත් දුවෙක් පුළුවන් විදිහට පිටරටකට යැව්වා. ඉතිරි දරුවයි නෝනයි එක්ක තංගරාජ් උතුරේ කෝලකුලම් අනාථ කඳවුරේ මේ පාපය ගෙව්වා.

යුද්ධය ඉවර වෙලා වුණත් උතුරේ බොහෝ දේශපාලකයො මේ අය දිහා බැලුවෙ නැහැ. ඒත් අවසානයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මඟින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ කන්කසන්තුරයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක මේ අයට ස්ථිර නිවාස හදල දෙන්න කටයුතු කළා. ඒ කීරමලේ නිවාස ව්‍යාපෘතියයි.

තංගරාජ්ටත් ඒ නිවාස ව්‍යාපෘතියෙ මුල් අදියරේ නිවසක් ලැබුණා. නිවාස 133ක් කීරමලේ හැදුණා. සියල්ලම නිවාස යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තමයි හැදුණෙ. ඒ වගේම ඒ සියලුම නිවාස හදන්න අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනුණෙත් යාපනයෙන්මයි. ඒ නිසා යාපනයේ වෙළෙන්ඳන්ගේ සාක්කුවටත් ආදායමක් ලැබුණා.

අද ගෙවන ජීවිතය ගැන තංගරාජ්ට දැනෙන්නෙ ලොකු සතුටක්.

‘අපේ ජීවිත අවුරුදු 27ක්ම ගෙවුණෙ අනාථ කඳවුරුවලට, දැන් ඉතින් ආයෙත් ජීවිතේ ගත කරන්න දෙයක් නැහැ. දැන් මට අවුරුදු 71ක් වෙනවා. පුතා එක්ක මෙහේ ඉන්නෙ‍. පුතා කරන්නෙත් මේසන් වැඩ. මට දැන් මේසන් වැඩ කරන්න බැහැ. කකුලකුත් තුවාල වෙලා. ශක්තියක් නැහැ. අපිට ඉඩම් ගෙවල් ලබා දෙන්න කටයුතු කළාට ගොඩක් ස්තුතියි. හමුදාවේ මහත්තුරු තමයි මේ සියල්ලම කෙළේ. සමහරු කියනව හමුදාව ඉවත් කරන්න ඕන කියල. ඒත් ඒ සේරම තමන්ගේ වාසියට හදා ගත්ත කතාවල්. අද වෙනතුරු කිසිම දේශපාලඥයෙක් අපට ආධාර කරල නැහැ. අඩුම ගානේ මේ වෙනකොට වතුර ටිකවක් අපට ලබා දෙන්න කටයුතු කරල නැහැ. යුද්දෙ නිසා අපේ ජීවිත නැතිවුණා ඒ විතරක් නෙමෙයි. මේ දේශපාලඥයො අපේ ඉතිරි ටිකත් වනවසවා. බොහෝ දේශපාලඥයන් කියන්නේ මේ උතුරේ ජනතාවගේ මතය නෙමයි. එයාලට දේශපාලන බලය ලබා ගන්න ඕන කරන දේ කරනවා. කියනවා. අපට ඕන කරන්නේ එකම දෙයයි. ඒ සාමයෙන් සමගියෙන් ඉන්න විතරයි.“

මයිලඩි ඉදල යන්තම් පණ බේර ගෙන කඳවුරට ගිය සත්තිරන්ටත් අත් වුණ් ඒ ඉරණමයි.එයාත් අවරුදු 27ක්ම කෝලකුලම් අනාථ කඳවුරේ හිටිය. එයාටත් දැන් සතුටුයි ගෙයක් ලැබුණට.

‘මම ඒ කාලෙ තල් රා මදින එක තමයි ජීවත් වෙන්න රස්සාව හැටියට කෙළේ. මට දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා නාන්න ගිහින් මුහදේ ගිලිලා නැතිවුණා. ඒකත් හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගෙයි.‘

අපේ අලුත් තරුණ පරපුර හරි මේ අතීත දේවල් ගැන හිතල පාඩමක් ඉගෙන ගන්න ඕන.

කවදාවත් කිසිම දෙයක් යුද්ධයෙන් ජය ගන්න බැහැ. අන්තිමට යුද්දය නිසා අපට නොවද ඉතිරිවුනේ. අඩුම ගාණේ අපට ඉන්න හිටින්න තැන් පවා නැති වුණා. අපේ තරුණ කාලේ නැතිවුණා. ජීවිත නම් කීයක් නැතිවුණාද? මේ ටිකවත් තේරුම් ගත්තොත් අපට සදාමයෙන් ඉන්න පුළුවන්‘

පලාලි ගුවන්තොටුපොල පාරේ හිටපු සරස්වතීට දැන් අවුරුදු 70ක් වෙනාව. එයාගෙත් තරුණ වසය පහුවෙනකොට අනාථ කවුරට ගිහින් ජීවත් වෙන්න සිද්ධ වුණා. ඒ ජීව්තේ කවදාවත් අමතක කරන්න පරි බවත් හරි හම්බ කර ගත්දේ දමා යාමට සිදුවූයේ බවත් ඇය පවසයි. තමන්ට යුද හමුදාවෙන් නිවාස තනා දුන්නද ප්‍රාදේශීය සභාවෙන් ජලය ලබා දීමට කටයුතු නොකළ බවත් ඇය පවසනවා.

ජෙයා උපත ලබා ඇත්තේද කෝලකුලම් අනාථ කඳවුරේදීය. ඇය දැන් මවක් වී කීරමලේ පදිංචිව දිවි ගෙවන්නීය.

‘නේවි එකෙන් ඇවිත් ජල නළ එළල ගියා. මට හිතෙන්නෙ කවදාවත් අපි ගැන මේ ප්‍රාදේශීය සභා බලන එකක් නැහැ. දෙයියනේ කියල කාල ඇදල ඉන්නවත් අපට හරි හමන් තැනක් ලැබුණෙත් හමුදාව නිසයි. නැත්නම් ඒකත් නැහැ. පහුගිය කාලේ සුළි සුළගින් අපේ ගෙවල්වලටත් හානි සිද්ධ වුණා. කිසිම දේශපාලඥයෙක් ආවේ නෑ. අපට එදා කෑම එක පවා ලැබුණෙ ආමි කෑම්ප් එකෙන් ‘

නිවාස 133ක් පර්චස් 15ක් බැගින් මේ ජනතාවට හිමිව ඇත. එහෙත් ඒ ජනතාවගේ ඉදිරි ජිවිතය හෝ සරු කර ගැන්මට පළාතේ අයගෙන් උපකාර ලැබිය යුතු ය. ඒ තම තමන්ගේ බඩ වඩා ගැනීමට නොව පොදු ජනතා යහපතටය.

යුද හමුදාවෙන් සලසනු ලබන සේවාවන් හැරෙන්නට අඩුම තරමින් පානීය ජල පහසුකම් ලබ දෙන්නටවත් පළාත් පාලන ආයතන විසින කටයුතු නොකිරීම තුළ ජනාතව කෙරහි ඔවුන් කෙරෙහි ඇති ප්‍රසාදය ප්‍රතිචාරය ගැන සිතා ගැන්මට අපට පුළුවන.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ හැකි උපරිම ආකාරයෙන් මේ ජනතාවට පමණක් නොව අවශ්‍ය සියලු දෙනාටම පහසුකම් සපයනු ලබන බවයි. පාසලක උත්සව පවත්වන අවස්ථාවලදී පවා හමුදාවේ සහාය ඉල්ලා සිටින බව ආඥාපතිවරයා පවසනවා.

වසර 27ක් අනාථ කඳවරු වල දුක්විඳි ජනතාමට තවත් දුක් නොවිදිමට අදාළ ආයතන විසින් කටයුතු කළ යුතු වෙනවා. මේ වන විට යාපනයේ සිටින බහුතර වයෝවෘද්ධ අය අපමණ දුක් කන්දරාවක් විදි අය බව අමුතුවෙන් කිය යුතු නොවේ. උතුරේත් දකුණේත් මේ සියලු දෙනා එක්ව සමගියෙන් කටයුතු කළ යුතු බව ඔවුන්ගේ හැගීමයි. අපට වඩා ඔවුන් අපමණ දුක් කන්දරාවක් විදි අය බව අමුතුවෙන් කිව යුතු නැත. වසර 27ක් කදවුරුවල දිවි ගෙවීම ගැන සිතා ගැන්මටවත් පුළුවන්ද?

අතීතය දැන් ගෙවී ගොසිනි. හෙට දවස ගැන අප සියලු දෙනාම සිතිය යුතුය. ඒ සිතිවිල්ල නිවැරැදි වුවහොත් පමණක් අප සැමට ඒකීය රටක් යටතේ සහයෝගයෙන් සාමයෙන් දිවි ගෙවිය හැකි වනු ඇත.

(යාපනයේ සංචාරයකින් පසු)

තාරක
සේයාරූ - සමන්ත වීරසිරි

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.