කසළවලින් බලගැන්වෙන කෙරවළපිටිය විදුලි බලාගාරය | සිළුමිණ

කසළවලින් බලගැන්වෙන කෙරවළපිටිය විදුලි බලාගාරය

 විධිමත් ලෙස මෙරට කුණු,කසළ කළමනාකරණය සිදු කිරීම සම්බන්ධව පසුගිය සමයේ ගැටලු රැසක් මතු විය. තමන් ජීවත් වන ප්‍රදේශයන් හී දිනපතා එක් රැස් වෙන කුණු ,කසළ නිසි ලෙස බැහැර නොකිරීම නිසා කුණු,කසළ වලින් හැමදාම හෙම්බත් වූ නාගරික ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවන්ට හා අසීරුතාවයන්ට පත් වූ අතර ඊට විසඳුම් ඉල්ලා කුණු,කසළ කළමනාකරණය දුර්වලව සිදු වූ නාගරික ප්‍රදේශ රැසක රජය අපහසුතාවයන්ට පත් වූ උද්ඝෝෂණ රැල්ලක් පවා නැගී ආවේය.

මෙම කුණු,කසළ ගැටලුව රජයට හිසරදයක් වෙමින් මෝදු වෙත්දී ඒ සදහා විසදුම් ලබා දීම බාර වූයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශය වෙතයි. එම අමාත්‍යාශය ඒ අනුව කසළ කළමනාකරණය විධිමත් ලෙස සිදු කිරීම සම්බන්ධව කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැළසුම් රැසක් සකස් කළ අතර කසළ වලින් විදුලිය නිපදවීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට මුල් තැනක් ලබාදීමට තීරණය කෙරුණි.

ඒ අනුව මීතොටමුල්ල, බ්ලූමැන්ඩල් වැනි කුණු කඳු නිර්මාණය කරමින් මෙතෙක් අවිධිමත් ලෙස සිදු වූ කුණු,කසළ කළමනාකරණය වඩා විධිමත් කරමින් මෙට්‍රික් ටොන් ගණනින් දිනපතා ගොඩ ගැසෙන එකී කුණු,කසළ සඳහාද වටිනාකමක් ලබා දෙමින් රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික ආයතන දෙකක් විසින් රුපියල් බිලියන 27 ක් ආයෝජනය කර වාර්ෂිකව මෙගාවොට් 240 විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරන නව විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුත්ත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෙරවළපිටියේදී ආරම්භ විය. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හී දිනපතා එකතුවන කැලි කසළවලට ස්ථිර විසඳුමක් ගෙනෙමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාශය මගින් ක්‍රියාත්මක කෙරෙන කසල මෙට්‍රික් ටොන් 700 ක ධාරිතාවක් ඇති මෙම අති දැවැන්ත ව්‍යාපෘතිය කොරියානු සමාගමක් සමඟ එක්ව දියත් කිරීමට පුරෝගාමී වූයේ ජී එස් පී වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම සහ ඊ එම් එල් කන්සල්ටන්ට් පෞද්ගලික සමාගමයි. මෙම සමාගම් දෙකම තිරසාර සංවර්ධනය සහ පරිසරය ආරක්ෂණය පිළිබඳ දේශීය හා විදේශීය සම්මාන දිනාගත් ආයතන වන අතර ඔවුන් ලොව වඩාත්ම භාවිත වන හා ලොව වඩාත්ම පිළිගත් තාක්ෂණය යොදාගනිමින් මෙම සුවිශේෂ විදුලි බලාගාරය ඉදිකිරිමට සැලසුම් කර තිබේ.

කොළඹ මහා නගර සභාව විසින් දෛනිකව රැස් කරන මෙට්‍රික් ටොන් 600ක කසළ හා ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ දෛනිකව රැස් කරන කසළ මෙම බලාගාරය වෙත ගෙන එන අතර අනතුරුව ඒවා මෙම බලාගාර ගොඩනැගිල්ලේ ඇතුළත පිහිටි කසළ බහාලුම් රඳවනයේ ගබඩා කිරීමට කටයුතු කෙරේ.ඉන් පසු සෙල්සියස් අංශක 850ක පමණ උෂ්ණත්වයක් යටතේ එම කසළ දැවීමක් සිදු කෙරෙන අතර එලෙස කසළ දහනය කිරීමේදී අළු බවට පත්වන කොටස් ගොඩනැගිලි කර්මාන්තය සඳහා අවශ්‍ය විවිධ ගඩොල් වර්ග නිපදවීම සදහා යොදා ගැනීමටද නියමිතය.ප්‍රධානතම කටයුත්ත වන විදුලිය උත්පාදනය වන්නේ කසළ දහනයේදී හටගන්නා වායුව බොයිලේරුවක් තුළින් ගමන් කිරීමට සලස්වා එහි ඇති ජලය වාෂ්ප බවට හරවා එමඟින් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීමෙනි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ නිමා කිරීමට අපේක්ෂිත අතර මෙමඟින් රැකියා අවස්ථා 75කට වඩා බිහිකිරිමටද නියමිතය. බලාගාරය ඉදි වී විදුලි ජනන මෙහෙයුම් ආරම්භ වූ පසු කොළඹ නගරයේ දැනට පවතින උග්‍ර කසළ ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි ගණන් බලා ඇත.මෙම යෝජිත බලාගාරයෙන් පිටවන වායු මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත්කර ඇති රෙගුලාසි හා නියමයන්ට අනුව ඉහළ තාක්ෂණික ක්‍රමවේදයකින් පරිසරයට මුදා හැරෙන අතර කිසිදු අපද්‍රව්‍යයක් බලාගාරය අවට පරිසරයට මුසු නොකිරීමටද සැලසුම් කර තිබේ.

චන්දිමා එදිරිමාන්න
ඡායාරූපය - සුදත් මලවීර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.