ගුටි නොකන වැඩපිළිවෙළක් සඳහා මහේල යෝජනා...ගේ | සිළුමිණ

ගුටි නොකන වැඩපිළිවෙළක් සඳහා මහේල යෝජනා...ගේ

ප්‍රශාන්ත ඇල්පිටිය

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත් විය. එය දෙරට අතර පැවැති ටෙස්ට් තරගවලදී බංග්ලාදේශයේ ප්‍රථම ජයග්‍රහණයත් වේ.

මේ අතර එංගලන්තය සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලට කඩුලු 05 ක විශිෂ්ට ජයක් අත් වූයේය. එය හේතු දෙකක් නිසා වැදගත් වේ. ඒ කොදෙව් දූපත් මෙම ජය ලැබුවේ දෙවන ඉනිමේදී හෙවත් තරගයේ සිවුවන ඉනිමේදී ලකුණු 322 ක් රැස් කිරීමෙන් වීමය. එමෙන්ම ඔවුන් එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජය ගනු ලැබුවේ වසර 17 කට පමණ පසුව වීමත්ය.

මෙම ද්විත්ව ජයග්‍රහණ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඉතාම වැදගත් ප්‍රතිඵලයන්ය. එනම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම සිටින දෙරටක් පරාජය වීම නිසාය. කලක් ක්‍රිකට් ලොව ආධිපත්‍යයය තිබුණේ කොදෙව්වන් සතුවය. එහෙත් එහි පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර විවිධ අර්බූද නිසා එහි ක්‍රීඩාව බිඳ වැටුණි.

කෙසේ හෝ මේ වන විට තාවකාලිකව එම අර්බූද විසඳී තිබේ. ඒ අනුව පසුගිය කාලයේදී ක්‍රීඩා නොකළ ප්‍රබල ක්‍රීඩකයන් ඉදිරියේදී යළිත් වතාවක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත. එමඟින් නියත වශයෙන්ම කොදෙව් ක්‍රීඩාව ප්‍රබල මට්ටමකට පත් වනු ඇත.

90 දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ඉතා ප්‍රබල මට්ටමකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පත් වී සිටියේය. අද වන විට එම තැනට පත් වී තිබෙන්නේ තවත් දකුණු ආසියානු කලාපීය රටක් වන බංග්ලාදේශයයි. ඒ සඳහා සැපයිය හැකි ආසන්නතම නිදසුන පසුගියදා කැන්ගරු දේශය හමුවේ ඔවුන් ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයයි.

මෙසේ දෙරටක් ප්‍රබල ආකාරයට ඉදිරියට යමින් සිටින විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රබල පසුබැසීමකට පත්ව තිබේ. සංචාරක ඉන්දියාව හමුවේ සම්පූර්ණ ටෙස්ට් තරගමාලාවම ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේය. පසුව පැවැති එක්දින ජාත්‍යන්තර තරගමාලාවත් තරග 5 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

මේ සඳහා විවිධ හේතු බලපෑවේය. ප්‍රබල ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීම, ඇතැම් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම, ක්‍රිකට් පරිපාලනයේ ගැටලු, පළමු පෙළ ක්‍රිකට් සවිමත් නොවීම සහ ක්‍රීඩකයන් දස්කම් අතර නොසිටීමත් ඊට අයත්ය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දරුණු පරාජයන්ට ලක්වීමයි. එය කෙතරම් බලපෑමක් කළේ ද යත් ඇතැම් තරග අතරතුරදී නරඹන්නන්ගේ බාධා කිරීම් ද වාර්තා විය. මෙවැනි වාතාවරණයක් ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබීම කනගාටුදායකය.

කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බූදය එක්වරම මතු වූවක් නොවේ. ඒ පිළිබඳ විවිධ සාධක කාලයක සිටම පැවතිණි. ඊට විවිධ ප්‍රතිඵල ඉදිරිපත් වුවත් ඒවා ක්‍රියාත්මක වූයේත් නැත. එහි ආසන්නතම නිදසුන 2015 වසරේදී වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සාර්ථක කර ගැනීමට දේශිය ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 වසරේදී පත් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව විසින් හිටපු සුපිරි ක්‍රීඩකයකුට භාර දුන්නේය. ඒ අන් කවරෙක් හෝ නොව හිටපු නායකයකු වන මහේල ජයවර්ධනටය. එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සිදත් වෙත්තිමුනි මහතාය. මහේල එම සැලැස්ම සකස් කරමින් ක්‍රිකට් අතුරු කමිටුවට භාර දුන්නේය. එය සකස් කිරීමේදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශීිය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා විචාරකයන්ගේ අදහස් ද එක් කර ගනිමින් සකස් කර තිබේ. එය නම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුතු වනුයේ ගණනට නොව ගුණාත්මකභාවයට බව මහේලගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වේ.

මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලසුමේ යෝජනා.

* අවුරුදු 24 න් පහළ පළාත් තරගාවලියක් පැවැත්වීම. ඊට අවුරුදු 20 න් පහළ ක්‍රීඩකයන් දෙදෙනකු හෝ තිදෙනෙකු අයත් විය යුතුය.

* දැනටත් පවතින අන්තර් සමාජ එක්දින තරගාවලිය තවදුරටත් පැවැත්වීම.

* දැන් පවතින අන්තර් සමාජ තුන් දින තරගාවලිය තවදුරටත් පවත්වාගෙන යාම.

* අන්තර් පළාත් සිවු දින, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි පැවැත්වීම. මෙම තරගාවලි ශ්‍රී ලංකාවේ පළාත් 05 කට වෙන්කර ස්ථිර පදනමක් මත පැවැත්වීම. එය වාර්ෂිකව නිශ්චිත කාලසීමාවකදී පැවැත්විය යුතුය. තවද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැඟීම උචිතය.

ඉහත සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පළාත්වල තිබෙන කණ්ඩායම් මෙන්ම එම පළාත්වල පාසල් කණ්ඩායම් ද අනුයුක්ත කළ යුතුය.

* ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෙවීම් කළ යුතු ආකාරයත් මෙම සැලැස්මට අයත්ය.

ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 30 කට සීමා කළ යුතුය. පළාත් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රමයක් ද මහේල යෝජනා කළේය. ඒ අනුව ඒ, බී, සී සහ ඩී වශයෙන් ක්‍රීඩකයන් වර්ගකරනු ලැබිණි.

'ඒ' - වසර දහයකට වැඩි කාලයක් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ හතරක් ගෙවිය යුතුය.

'බී' - වසර පහකට වැඩි කාලයක් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයකුට වාර්ෂිකව ගෙවිය යුතු මුදල ලක්ෂ 03 කි.

'සී' - වසර තුනකට වඩා ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ 02 ක් ගෙවිය යුතුය.

'ඩී' - අනෙකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුය.

මීට අමතරව වාර්ෂකව ලබා දෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිවුදින තරගයකට රුපියල් 80,000 ක්, එක්දින තරගයකට රුපියල් 25,000 ක් සහ 20 - 20 තරගයකට රුපියල් 15,000 ක් බැගින් ගෙවීමට ද යෝජනා කර තිබේ.

මෙම වැඩපිළිවෙළ මඟින් මෙරටේ දක්ෂ ක්‍රීඩකයන් විදේශගතවීම වළක්වා ගැනීමට හැකියාවක් ලැබිමට ඉඩ තිබේ. එමෙන්ම මෙමඟින් මෙරටේ ප්‍රධානම තරගාවලියන්ට ක්‍රීඩා කිරීම සඳහා මෙම ක්‍රීඩකයන්ට පිළිගැනීමක් සහ දිරිගැන්වීමකුත් සිදු වේ.

* ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යූහගතකළ යුතු බව මහේල යෝජනා කර තිබුණි. එම තරග වයස අවුරුදු 20 න් පහළ දක්වා පැවැත්විය යුතුය. එමඟින් ක්‍රීඩා සමාජවලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරි ලෙස ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ.

එමෙන්ම පාසල් තරග ප්‍රමාණය තරග 16 කට සීමා කිරීම, අවුරුදු 20 න් පහළ තෙදින හෝ සිවුදින පළාත් තරගාවලියක් සහ එක්දින තරගාවලියක් පැවැත්වීම.

* ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සිදු විය යුතු ආකාරය පිළිබඳත් මහේල සිය සැලැස්ම තුළින් යෝජනා කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණයට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළ යුතුය. ඊට අයත් විය යුතු වන්නේ දේශපාලනයට හෝ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොවූ ස්වාධීන පුද්ගලයන්ය.

ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණ නිරීක්ෂණය කිරීම මෙන්ම එහි විධායක කමිටුවේ තීරණ සම්බන්ධයෙන් නිශේධ බලයත් එම කමිටුවට හිමිවිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාමාජිකයන් 10 කට සීමා කිරීම, සභාපති ධූරය දෙවසරකට වරක් වෙනස් කිරීම, වසර අටකට වැඩි කාලයක් විධායක කමිටුවේ කටයුතු කිරීමට නොහැකි වීම මෙන්ම පළාත් ක්‍රිකට් සභාපතිවරුන් විධායක කමිටුව නියෝජනය කිරීම ද අයත් ය.

මහේල ජයවර්ධනගේ සැලැස්ම ක්‍රියාත්මක කරන බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තිමුනි මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් 2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට තිලංග සුමතිපාල මහතා ප්‍රමුඛ නව නිලධාරි මඩුල්ලක් පත් විය.

එමඟින් මහේල ජයවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වූයේ නැත. නව පරිපාලනය ප්‍රකාශ කළේ "ඊටත් එහා ගිය" නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

මහේල ජයවර්ධනගේ සැලැස්ම සියයට සියයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසුවනු ඇත. නමුත් වත්මන් පරිපාලනය විසින් සිදුකළ යුතුව තිබෙන්නේ මහේලගේ සහ වෙනත් යෝජනා ද ඇතුළත් නව සැලැස්මක් වහාම සකස් කරමින් මෙරටේ ක්‍රිකට් දියුණුවට එය ක්‍රියාත්මක කිරීමයි.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.