ඩෙන්මාර්කය වාර්තා තබමින් බැඩ්මින්ටන් කිරුළු දිනයි | සිළුමිණ

ඩෙන්මාර්කය වාර්තා තබමින් බැඩ්මින්ටන් කිරුළු දිනයි

 ප්‍රශාන්ත ඇල්පිටිය

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර දී පැවැති 2017 බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියේ කේවල (තනි) ශූරිය ජපානයේ නොෂොමි ඔකුහාරා සහ ශූරයා ලෙස ඩෙන්මාර්කයේ වික්ටර් ඇක්සල්සෙන් පත්වූහ. මෙවරත් වැඩිම පදක්කම් ගණනක් හිමිකර ගත් චීනයට සමස්ත පදක්කම් සටහනේ මුල් තැනය.

මෙවර පැවැත්වූයේ 23 වැනි ලෝක ශූරතාවලියයි. සුපුරුදු පරිදි එය මෙහෙයවූයේ බී. ඩබ්. එෆ්. හෙවත් බැඩ්මින්ටන් ලෝක සම්මේලනය විසිනුයි. මෙවර පදක්කම් හිමිකර ගත් රටවල් මෙසේය.

 

රන් රිදී ලෝකඩ එකතුව

(1) චීනය 02 02 03 07

(2) ජපානය 01 01 02 04

(3) ඉන්දුනීසියාව 01 01 - 02

(4) ඩෙන්මාර්කය 01 - 01 02

(5) ඉන්දියාව - 01 01 02

(6) (සම) එංගලන්තය - - 01 01

හොංකොං - - 01 01

දකුණු කොරියාව - - 01 01

 

මෙවර කේවල ශූරතා හිමිකර ගත් වික්ටර් සහ නොෂොමිගේ ජයග්‍රහණ සුවිශේෂිතය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් බැඩ්මින්ටන් ලෝක ශූරතාවලීන්හිදී කේවල ශූරතාව ජය ගත් තෙවැනි ක්‍රීඩකයාත් වික්ටර්ය. එමෙන්ම ඩෙන්මාර්කයට මෙම ජයග්‍රහණය අත්වූයේ විසි වසරකට පමණ පසුවය. මීට පෙර 1977 ෆ්ලෙමිංන්ග් ඩෙල්ෆ්ස් සහ 1997 දී පිටර් රැස්මුසෙන් විසින් එරට වෙනුවෙන් බැඩ්මින්ටන් කේවල ලෝක ශූරයන් වී තිබේ. මෙම සෑම ජයග්‍රහණයක්ම විසි වසරක කාල පරතරයන්හිදී වාර්තා වීම තවත් විශේෂත්වයකි.

මෙවර කේවල ශූරිය වූ නොෂොමි විසින් කිසිදා බිඳ දැමිය නොහැකි වාර්තාවක් පිහිටුවූවාය. එනම් බැඩ්මින්ටන් කේවල ලෝක ශූරතාව ජය ගත් ප්‍රථම ජපන් ජාතිකයා වීමෙනි. මීට ක්‍රීඩකයන් ද අයත්ය.

කාන්තා කේවල

නොෂොමි ඔකුහාරාට තරග වට 2 - 1 ක ජයකි. ලකුණු 21 - 19, 20 - 22, 22 - 20 කි. අවසන් තරගයේදී පරාජය වූයේ ඉන්දියාවේ පුසාර්ලා වෙන්කාටා සින්දුය. ඇය ලොව අංක 04 ක්‍රීඩිකාවයි. නොසොමිට 12 වන තැනය.

මෙම දෙදෙනාම 22 හැවිරිදිය. එමෙන්ම ඔවුන් ක්‍රීඩා කරන්නේ දකුණතිනි. නොසොමිගේ උස අඩි 5 අඟල් එකක් පමණි. සින්දු අඩි 5 අඟල් 10 ක් උසැතිය.

නොසොමිට 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම හිමිය. එහිදී රිදී පදක්කම හිමිකර ගත්තේ සින්දුය. නොෂොමි මීට පෙර කනිෂ්ට ලෝක ශූරතාවලියේදි 2012 රන් සහ 2011 ලෝකඩ පදක්කම් දිනාගෙන තිබේ. මේ අතර සින්දු මීට පෙර ලෝක ශූරතාවලියන්හිදී ද්විත්ව ලෝකඩ පදක්කම් හිමිකර ගත්තාය. ඒ 2013 සහ 14 වසරවලදීය.

මෙවර ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ ඉන්දියාවේ සෙයිනා නෙහ්වාල් සහ චීනයේ චෙන් යුෆෙයි විසිනි. 27 හැවිරිදි සෙයිනා වත්මන් ලොව අංක 16 ක්‍රීඩිකාවයි. ඇය මීට පෙර 2012 ඔලිම්පික් ලෝකඩ සහ 2015 ලෝක ශූරතාවලියේ රිදී පදක්කම් හිමකර ගෙන තිබේ. චෙන් ලොව අංක 10 ක්‍රීඩිකාවයි. ඇගේ වයස තවමත් අවුරුදු 19 කි.

පිරිමි කේවල

වික්ටර් ඇක්සෙල්සෙන් අවසන් තරගයේදී වට 2 - 0 කින් චීනයේ ලින් ඩැන්ව පරාජය කළේය. ලකුණු 22 - 20, 21 - 16 කි. 23 හැවිරිදි වික්ටර් අඩි 6 අඟල් 4 ක් උසැතිය. දකුණතින් ක්‍රීඩා කරයි. හෙතෙම මීට පෙර 2016 ඔලිම්පික් සහ 2014 ලෝක ශූරතාවලියන්හිදී ද්විත්ව ලෝකඩ පදක්කම් හිමිකර ගෙන තිබේ. තවද 2016 යුරෝපීය ශුරයාය. එමෙන්ම 2010 වසරේ කනිෂ්ඨ ලෝක ශූරයාය.

බැඩ්මින්ටන් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයා ලෙසට සලකනු ලබනුයේ 33 හැවිරිදි ලින් ඩැන්ය. ඔහු මෙවර උත්සාහ කළේ බැඩ්මින්ටන් කේවල ලෝක ශූරතා හයක් හිමිකර ගත් ප්‍රථමයා වීමටයි. අඩි 5 අගල් 10 ක් උසැති ලින් ක්‍රීඩා කරන්නේ වමතිනි. ඔහු 2008 සහ 12 ඔලිම්පික් ශූරයාය. එමෙන්ම 2006, 07, 09, 11 සහ 13 වසරවල ලෝක ශූරයාය. තවද 2005 අනුශූරයාය.

මෙවර ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ දකුණු කොරියාවේ සන් වැන් හෝ සහ චීනයේ චෙන් ලොන්ග්ය. 29 හැවිරිදි සන් වත්මන් ලොව අංක 01 ක්‍රීඩකයාය. 28 හැවිරිදි චෙන් 2016 ඔලිම්පික් ශුරයාය. 2014 සහ 15 ලෝක ශූරයාය.

කාන්තා යුගල

චීනයේ චෙන් කුයින්ග්චෙන් සහ ජියා යිෆැන්ට ශූරතාව හිමිවිය. ඔවුන්ට තරග වට 2 - 1 ක ජයකි. ලකුණු 21 - 18. 17 - 21, 21 - 15 කි. මෙවර අනුශූරියෝ වූයේ ජපානයේ යුකි ෆුකුෂිමා සහ සායාකා හිරෝටාය.

20 හැවිරිදි චෙන් මෙවර මිශ්‍ර යුගල අනුශූරතාවත් හිමිකර ගත්තාය. 20 හැවිරිදි ජියාගේ ප්‍රථම ප්‍රධාන ජයත් මෙය වේ. 24 හැවිරිදි යුකි සහ 23 හැවිරිදි සායාකාගේ ප්‍රථම ප්‍රධාන පදක්කම් මෙය වේ.

මෙවර ලෝකඩ පදක්කම් ජපානයේ මිසාකි මට්සුටෝමෝ - අයාකා ටකහාෂි සහ ඩෙන්මාර්කයේ කාමිලා රුටර් - ක්‍රිස්ටිනා පෙඩර්සන්ටය.

පිරිමි යුගල

චීනයේ ලියු චෙන්ග් සහ ෂැන්ග් නැන්ට මෙවර ශූරතාවයයි. ඔවුන්ට තරග වට 2 - 0 ක ජයකි. ලකුණු 21 - 10, 21 - 17 කි. අනුශූරතාව ඉන්දුනීසියාවේ මොහොමඩ් අහ්සාන් සහ රියාන් අගුන්ග් සාපුට්රෝටය.

25 හැවිරිදි ලියු මීට පෙර ලෝක ශූරතාවලියන්හිදී 2015 රිදී සහ 2014 ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ මිශ්‍ර යුගල ඉසව්වෙනි. ෂැන්ග් 27 හැවිරිදිය. 29 හැවිරිදි මොහොමඩ් මීට පෙර 2013 සහ 2015 වසරවල පිරිමි යුගල ලෝක ශූරයාය. රියාන් 27 හැවිරිදිය. මෙවර ලෝකඩ පදක්කම් ජපානයේ ටකේෂි කමුරා - කෙයිගෝ සොනෝඩා සහ චීනයේ චායි බායෝ - හොන්ග් වෙයිටය.

මිශ්‍ර යුගල

ඉන්දුනීසියාවේ ටොන්ටොවායි අහ්මඩ් - ලිලියානා නට්සිර්ටය. ඔවුන් අවසන් තරගයේදී වට 2 - 1 කින් චීනයේ ෂෙන්ග් සිවෙයි-චෙන් කුයින්ග් චෙන්ග් පරාජය කරන ලදහ. 30 හැවිරිදි අහ්මඩ් 2016 ඔලිම්පික් සහ 2013 ලෝක ශූරතා හිමිකරගෙන තිබේ. ඒ මිශ්‍ර යුගල අංශයෙන්මය. 31 හැවිරිදි ලිලියානා මීට පෙර 2016 ඔලිම්පික් සහ ලෝක ශූරතා ත්‍රිත්වයක් දිනා ගත්තේ ද මිශ්‍ර යුගල තරගවලිනි.

මෙවර ලෝකඩ පදක්කම් හිමි වුයේ එංගලන්තයේ ක්‍රිස් - ගැබී ඇඩ්කොක් සහ හොංකොහි ලී චුන් හෙයි - චායු හොයි වාහ්ය. මින් 28 හැවිරිදි ක්‍රිස් සහ 26 හැවිරිදි ගැබී අඹු සැමියන් වීම විශේෂත්වයකි. ඔවුන් 2017 යුරෝපීය මිශ්‍ර යුගල ශූරතාත් ජය ගත්හ.

 

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.