මුළු ලෝකයට ම ඇහෙන්න කෑගහලා කියන්න දෙයක් තියෙනවා | සිළුමිණ

මුළු ලෝකයට ම ඇහෙන්න කෑගහලා කියන්න දෙයක් තියෙනවා

පනස් එක්වැනි ආසියානු කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලියේ දී ඒෂියා මිස්ටර් කිරුළ සමඟ සමස්ත ශුරතාව දිනා ගත් ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ් ශ්‍රී ලංකාවේ හල්ක් ලෙසද ප්‍රකටය. ජාඇළ උපන් ලූෂන් වෑවල ශාන්ත සේවියර් සහ රාගම බැසිලිකා විද්‍යාලයන්හි අකුරුකර තිබේ. ඉතා වෙර වීර්යෙන් ජීවිතය ගොඩනඟා ගෙන ඇති ලූෂන්ට අනුව නම් මේ සියල්ල දෙවියන් වහන්සේ ගෙන් ලද දායාදයන්ය. ලාංකේය ශරීර පුම්බාගත් කායවර්ධන ක්‍රීඩාවට නව ගමන් මඟක් කියා දෙන්නට ලූෂන්ට 51 වැනි ආසියානු කායවර්ධන සහ ශරීරික යෝග්‍යතා තරගාවලියේ දී හැකි විය.

උප්පැන්න සහතිකයේ විදියට ඔබගෙ නම මොකක්ද?

බඹරැන්දගේ දොන් ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ්.

නිතර පාවිච්චිකරන්නේ?

ලූෂන් පුෂ්පරාජ්

අපේ රටේ ක්‍රීඩාවේ ලූෂන් පුෂ්පරාජ් කියන නම නිතර කියවෙනවාත් අඩුයි නේද?

ඔව්.

ඇයි ඒ?

2005 දී මිස්ටර් ශ්‍රී ලංකා දෙවැනියා වුණා. එතකොට කවුරුවත් මාව අඳුනන්නේ නෑ. ඊට අවුරුදු 7 - 8 කට විතර පස්සේ 2013 දී මිස්ටර් ශ්‍රී ලංකා වුණා. ඊට පස්සේ ජයග්‍රහණ කිහිපයක් හිමි වුණා. 2017 දී ආසියානු ශූරයා වගේම සමස්ත ශූරයා වුණා.

උපන් දිනය කවද්ද?

1982.09.10.

ඒ කියන්නේ අද? සුබ උපන් දිනයක්?

ඔව්. ස්තුතියි.

උස.

අඩි 5.11.

බර.

සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 113 - 114 ක් විතර වෙනවා. කිලෝ ග්‍රෑම් 100 ඉසව්වෙන් තරගකරනකොට කිලෝ ග්‍රෑම් 96.5 - 97 කට විතර හදා ගන්නවා.

ඔබ සාමාන්‍යයෙන් කොහොම කෙනෙක්ද?

සාමාන්‍ය විදියට ජීවත්වෙන කෙනෙක්. කාය වර්ධන ක්‍රීඩකයෙක් විදියට නෙවෙයි අවංක අයට උදව් කරන්න කැමැති කෙනෙක්. සාමාන්‍ය අයට ඕනෑම විදියට උදව් කරන්න කැමැතියි. මම හුඟක් දුප්පත්. ජීවිතයේ පතුලෙන් ම පටන් ගත්ත කිසි දවසක මුල අමතක නොකරන කෙනෙක්.

සාමාන්‍ය සමාජයේ ඔබ මොන වගේද?

නිහතමානි, කරුණාවන්ත කෙනෙක්. ලොකුකම් කියන දේවල් ඔලුවෙත් නෑ. හිතෙත් නෑ. සතුටින් ඉන්නවා.

ඔයාගේ පවුලේ?

අම්මයි - ආච්චියි. අක්කලා දෙන්නයි. ඒ අය බැඳලා. තාත්තා නෑ. මං පොඩි කාලයේදීම තමයි තාත්තා නැතිවෙලා තියෙන්නේ. තාත්තා ගැන විශේෂ මතකයකුත් නෑ.

මට අවුරුද්දක් විතර වෙනකොට තමයි තාත්තාගේ සෙනෙහස නැති වෙලා තියෙන්නේ. මගේ අම්මගේ ආරේට තමයි මම ගිහින් තියෙන්නේ. අම්මාගේ පැත්තේ අය දේහධාරී කට්ටිය. පවුලේ අයත් මං වගේම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.

කැමැති දේවල් එහෙම මොනවාද?

තනියම ඉන්න, හුදකලාවේ ඉන්න ආසයි. පුහුණුවීම්වලට කැමැතියි. උයන්නත් හරි ආසයි.

කටට රහට උයන්න එහෙම පුළුවන්ද?

ඔව්. මම තනියම තමයි මගේ කෑම වේල පවා හදා ගන්නේ. මට ඕනෑ විදියට මගේ කැම වේල හදා ගන්නවා.

එතකොට අකමැති දේවල්?

කවුරුවත්, කාවවත් විවේචනය කරනවාට, කවුරුවත් කාටවත් ගරහනවාට අකැමැතියි.

පරමාදර්ශී චරිතය?

ලොකු අම්මා.

ඇයි?

මම ජීවිතයේ වැටිච්ච කොල්ලෙක්. මගේ ලොකු අම්මා තමයි මාව හැදුවේ. අම්මා අවුරුදු 15 ක් විතර රට හිටියේ. මගේ ජීවිතයේ හැම දෙයක්ම වගේ ලොකු අම්මා තමයි.

උත්සාහය, උනන්දුව, කැපවීම තිබෙන අයට ගමනක් යන්න පුළුවන්ද?

මේ දේවල් නැතුව ගමනක් යන්න බෑ තමයි. ඒ වගේම තමන්ගේ ගමන ගැන විශ්වාසයක් තියෙන්නත් ඕනෑ.

ඉස්කෝලේ කාලේ අමතක නොවනම සිද්ධිය මොකක්ද?

මම අද කායවර්ධන ක්‍රීඩාවෙන් ඉදිරියට ආවට ඒ දවස්වල මලල ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. අවුරුදු තුනක් හොඳම මලල ක්‍රීඩකයා වුණා. එකපාරක් මීටර් 800 දි වැටිලත් පළමුවැනියා වුණා. ඒක නම් කවදාවත් මට අමතක වෙන්නේ නෑ.

එතකොට කැමතිම විෂයය වුණේ?

සිංහල. හැබැයි මට කැමැති ම විෂයය පැත්තෙන් නම් ඉස්සරහට යන්න බැරි වුණා. ඒ/ඹ් වලට ඕ එකක් තිබ්බා. මම සිංහල නම් අමතක කරන්නේ නෑ. අපිට ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන කොට ඉංග්‍රීසි නැතුවම බෑ. මට අරාබි භාෂාව පවා පුළුවන්.

ඔයාට ඔයාගේ ඉසව්වේදී ඇත්තට ම මොනවාද කරන්න තියෙන්නේ?

මගේ මාංශ පේශීන් පෙන්වන්න ඕනෑ. ප්‍රදර්ශනය කරන්න ඕනෙ. බැලන්ස් කරන්න ඕනා. මගේ උසට සහ බරට සමානව මේ හැම දෙයක්ම ප්‍රදර්ශණය කරන්න ඕනා.

මේ ගැන ඔබ හැම වෙලාවේදිම හිතනවද? නැත්නම් තරගයකදී විතරද?

හැම වෙලාවෙම හිතනවා. ඕෆ් සීසන්වල පවා මේ ගැන හිතනවා. කෑමකට කඩයකට ගියත්, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ගැන පවා හිතනවා.

ඔයාගේ වගේ ඇඟක් හදා ගන්න ඕනෑද? ඉබේ හැදෙනවාද?

හදාගන්න ඕනෑ.

ඔයා ඒකට මොන තරම් මහන්සි වෙනවාද?

මම මං වෙනුවෙන් ම මැරෙන්න ඕනෑ. උපරිමයෙන් ම ඒ වෙනුවෙන් ම මහන්සි වෙනවා.

ඔයා කැමතිද ඔයාගේ කෑම වේලක් ගැන කතා කරන්න?

ඔව්, දවසකට වාර හතකට මගේ කෑම වේල් ප්‍රමාණය හදාගෙන තියෙනවා. ඒ කාලයේදී කැලරි 5000 ක් විතර ගන්නවා. බිත්තර සුදුමද 10 - 12 ක්, කහමද 2 - 3 ක්, මස් කිලෝ ග්‍රෑම් 1.5 ක් විතර දවසකට මට ඕනා.

කොස්, දෙල්, අල, බතල කාලා මේ ක්‍රීඩාව කරන්න පුළුවන්ද?

බෑ. මේවා කාබෝහයිඩ්‍රේට් ආහාර. කාබෝහයිඩ්‍රේට් කාලා මේ ක්‍රීඩාව කරන්න බෑ. ප්‍රොටීන් වර්ග පවා ඕනෑ. හැම දෙයකින් ම පිරිපුන් ආහාර වේලක් තමයි අපි වගේ ක්‍රීඩකයන්ට ඕනෑ.

ඇඟ හදාගෙන විතරක් ම හරියන්නේ නැහැනේ. මේක පවත්වාගෙන යන්න ඕනා. හරියට මේන්ටේන් කරන්න ඕනා. ඔයා මොනවද කරන්නේ?

ඇඟ සැහැල්ලු කරගන්නත් ලෙහෙසියි. ශක්තිමත් කර ගන්නත් ලෙහෙසියි. හැබැයි මේන්ටේන් කරගන්න තමයි අමාරු. කැපවෙන්න ඕනෑ. කැප කිරීම් කරන්න ඕනෑ. විවේකය හරිම වැදගත්. ආහාර සම්බන්ධයෙන් සීයයට සියයක්ම හිතනවා.

මේ හැම දෙයක් ඇතුළේම දොස්තර කෙනකුට වෙන්කරලා තියෙන වෙලාව?

නිතරම වගේ දොස්තර කෙනෙක් හම්බ වෙන්න වගබලා ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක පසුබිමක් තියෙන ක්‍රීඩාවක්. කෑම බීම වගේම අනිත් හැම අංගයක් ගැන ම සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙන්න ඕනා.

ඔයාගේ පෙනුමට නම් ඕනා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද ඔයා චන්ඩියෙක් කියලා?

අනිවාර්යයෙන්ම හිතෙන්න පුළුවන්.

ඇත්තටම ඔය ඇඟ ඇතුළේ ඉන්නේ චන්ඩියෙක්ද? උත්සාහවන්ත මනුෂ්‍යයෙක්ද?

ගොඩක් උත්සාහවන්ත මනුෂ්‍යයෙක්. ජීවිතය දිනන්න ට්‍රයි කරන කෙනෙක්.

කායවර්ධන ක්‍රීඩකයෙක් කියන්නේ නිකම්ම නිකන් ඇඟ පුම්බ ගත්ත කෙනෙක්ද?

ලංකාවේ මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ නම් එහෙම තමයි. කායවර්ධන ක්‍රීඩකයෙක් කියන්නේ හැම දෙයකින්ම පිරිපුන් කියන්නෙක්. වෘත්තිය ක්‍රීඩකයකුගේ ඕනෑම ප්‍රශ්නයක් ඇහුවොත් එයා හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනෑ.

ඔයාගේ මේ හැම දෙයක් අස්සෙම හැංඟිච්ච රහසක් එහෙම තියෙනවද?

ඔව්, දෙවියන් වහන්සේ තමයි මගේ රහස. මාව මගේ අම්මා මේ ලෝකයට ගෙනත්, ලොකු අම්මා හැදුවට මම මේ තත්ත්වයට ආවේ දෙවියන් වහන්සේ නිසා.

මට ඒක මුළු ලෝකයට ම ඇහෙන්න කෑගහලා කියන්න ඕනා. මම මෙහෙන් ඕමාන්වලට යනකොට කිසි දෙයක් තිබුණේ නෑ. මගේ තාත්තා දෙවියන් වහන්සේ කිව්වත් වැරැදි නෑ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.