සුලභ සතුන් පාලනය හා දුලබ සතුන් සංරක්ෂණය | සිළුමිණ

සුලභ සතුන් පාලනය හා දුලබ සතුන් සංරක්ෂණය

 නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බළන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පළ කළ අදහසක් අන්තර්ජාලය පුරා වයිරල් වෙමින් පවතින්නේ ඔහු ආනන්තර්ය පාපකර්මය කිරීමේ වරදට දඬුවමක් මෙනි. පරණවිතාන තම ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනකට අනුව ඔහු එම රැස්වීමේදී පවසා ඇත්තේ සුලභ සතුන්ගේ බෝවීම පාලනය කළ යුතු බවත්, දුලභ සතුන් සංරක්ෂණය කළ යුතු බවත්ය. දේශපාලනඥයකු ලෙස පරණවිතාන කර ඇති එම ප්‍රකාශය අගය කළ යුත්තකි.

එහෙත් එම ප්‍රකාශය විග්‍රහ කරමින් ඔහු පවසා ඇති සමහර කරුණු ආන්දෝලනාත්මක බව පැවසිය යුතුය. අලිඇතුන්, වඳුරන්, කිඹුලන්, රිළවුන්, ඌරන්, මොනරුන් හා අයාලේ යන බල්ලන්, ගවයන් ගහනය වැඩි වී ඇත් නම් පරණවිතානගේ ප්‍රකාශය අතිශයින්ම වැදගත්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ සතුන්ගෙන් මිනිස් සමාජයට එන හිරිහැරය හා පීඩාව වැඩි වී ඇත්තේ එම සතුන්ගේ ගහනය වැඩිවීම නිසා ද නැත් නම් එම සතුන්ගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කර ඇති නිසාදැයි පැහැදිලි නොවීමය. එහෙත් පරණවිතානම පවසන පරිදි ඔහු මේ අදහස පළ කරන්නේ නිරීක්ෂණයක් ලෙස මිස පර්යේෂණයක ප්‍රතිඵල මත නොවේ. එනිසා එම අදහස අවසන් තීරණය නොවූවත් පර්යේෂණයකට ලක් කළ යුතු හොද පර්යේෂණ මාතෘකාවකි. ඒ අර්ථයෙන් එවැනි අදහසක් නිරීක්ෂණ මත ඉදිරිපත් කිරීමට මහජන නියෝජිතයකු පෙලඹීම අගය කළ යුතුය.

මේ සතුන්ගේ ගහනය රටේ වනාන්තරවලට ඔරොත්තු නොදෙන තරමට වැඩී වී තිබේදැයි පර්යේෂණාත්මකව සොයා බැලීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එහෙත් සමාජයේ නිරීක්ෂණය වන්නේ මේ සතුන් කරන හානිය නිසා මිනිස් සමාජයට බරපතළ පීඩාවකට මුහුණ දෙන්නට සිදු වී ඇති බවය. එසේ හානි කරන්නට මේ සතුන්ගේ පෙලඹීම සමාජයේ වින්දිතයන් විසින් නිරීක්ෂණය කරන්නේ මෑත කාලය තුළ ඔවුන්ගේ ගහනය වැඩිවීමක් ලෙසය.

අලි මිනිස් ගැටුම ද බරපතළ තත්ත්වයක පවතී. එතරම් සංවාදයට ලක් නොවූවද අනෙකුත් සතුන්ගෙන් එල්ල වන පීඩාව ද බරපතළ සිද්ධීන් ඇති කර ඇත. විශේෂයෙන් වඳුරන්, රිළවුන්, මොනරුන්, මීමින්නන්, ඌරන්, ඉත්තෑවුන් විසින් බෝග වගාවන්ට කරන්නා වූ හානිය අතිමහත්ය. වෙනදා ග්‍රාමීයව තිබූ මේ ගැටලුව මේ වන විට නගරාශ්‍රිතවද නිරීක්ෂණයට ලක් වේ. එය බරපතළ ප්‍රශ්නයක් වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා එමඟින් වන හානිය තක්සේරු කිරීමේදීය. බොහෝ ප්‍රදේශයන්හි සුළු පරිමාණ කෘෂිකාර්මික කටයුතු අත්හැර දැමීමට තරම් මේ ගැටලුව උග්‍ර වී ඇත.

එසේම අයාලේ යන සුනඛයන්ගේ හා ගවයන්ගේ ගහනය වැඩිවීමද නගරාශ්‍රිතව දකින්නට ඇති ප්‍රශ්නයකි. වෙනදා අයාලේ යන සුනඛයන් අල්ලා මරාදමන ක්‍රමයක් තිබුණද දැන් එම ක්‍රමය අත්හැරදමා ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසය. මේ වන විට සුනඛයන් බෝ වීම පාලනය කරන ක්‍රමයක් ඇතත් එය සාර්ථක ද යන ගැටලුව පැන නගින්නේ අයාලේ යන සුනඛයන් දකින්නට ලැබෙන නිසාය. සමාජ පීඩාකාරි සතුන් ගහනය අඩු කිරීමට යම් පියවරක් ගන්නා සැම මොහොතකම ආගමික අර්ථයෙන් ඊට එරෙහි වීම ආසියානු රටවල ලක්ෂණයකි. ආගම රාජ්‍ය පාලනයේදී යොදාගැනීම ප්‍රායෝගික නොවන්නේ එබැවිනි. එහෙත් සමාජය ශිෂ්ටාචාරගත වීමට සමාන්තරව එවැනි සත්ව ගහනයන් පාලනය සදහා ශිෂ්ට ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව නම් සත්‍යයකි.

සමාජය මුහුණ දෙන ප්‍රශ්නයකදී මහජන නියෝජිතයකු වශයෙන් කරුණාරත්න පරණවිතාන නොබියව අදහස් පළ කිරීම අගය කළ යුත්තේ සමාජ සම්මුතීන්ට එරෙහිව යන මත පළ කරන්නන් අද වන විට ඇත්තේ අතේ ඇඟිලි ගණනට බැවිනි. ඔහු මහජන නියෝජිතයකු ලෙස පළ කර ඇත්තේ නිරීක්ෂණ මත වූ අදහසකි. එය අවශ්‍යයෙන්ම අවසන් තීරණය නොවේ. උදාහරණයකට අලි ගහනය වැඩි නම් පන්සල්වලට ඒ අලින් භාරදීම කිසි සේත්ම පිළිගත නොහැකි යෝජනාවකි. ඒත් මහජන නියෝජිතයකු ලෙස පළ කර ඇති ඔහුගේ අදහස් විද්වතුන් විසින් සලකා බලා පර්යේෂණීය මත ලෙස පළ කළ පසුව ඒවා ක්‍රියාත්මක කළ හැකිය. එනිසා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගෙන් මස් රාත්තලම ඉල්ලීම හාස්‍යයට කරුණකි.

වමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ ඇන්ඇම් පෙරේරා හැත්තෑවේ දශකයේදී පළ කළ අදහසක් මේ අන්දමින්ම හාස්‍යයට ලක් කළ අයුරු ජනමාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පසුගියදා මතක් කර තිබිණි.

නීති විරෝධී මත්පැන් හා නීත්‍යනුකූල මත්පැන්වලට යොමු වීම අවම කිරීම සඳහා සෑම කෙනකුටම කිතුල් ගස් දෙකක් මදින්නට අවසර දී රා පෙරාගැනීම නීත්‍යනුකූල කළ යුතුයැයි ඇන්ඇම් පෙරේරා එදා පළ කළ අදහසක් සමාජයේ යම් යම් කොටස් හාස්‍යයට ලක් කළේය. එහි ඇති සමාජීය ගැඹුර ගැන විශ්ලේෂණයකින් තොරව හුදෙක් ඇන්ඇම් පෙරේරාට අපහාස කිරීම මත පදනම් වෙමින් එල්ල කළ විවේචන නිසා අදටත් කිතුල් රා මැදීම තහනම්ය.

සමාජයකට අලුත් අදහස් ඉදිරිපත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත්ව ඇත්තේ මේ සමාජය ඇති තරම් ගෝත්‍රික බැවිනි. එවැනි සමාජයක් නිතරම සූදානම් වන්නේ ගතානුගතික අදහස් මතින් ජීවත් වන්නටය. කෙසේ වෙතත් සුලභ වන සතුන්ගේ බෝ වීම පාලනය කිරීමටත් දුලභ වන සතුන් ආරක්ෂා කිරීමටත් ඔහු පළ කර ඇති අදහස් ප්‍රශස්ත බව කිව යුතුය.

අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.